2020 ජනවාරි 11 වන සෙනසුරාදා

හිතේ හයියෙන් කල එළිය සුදානම්

 2020 ජනවාරි 11 වන සෙනසුරාදා, ප.ව. 12:30 87

ඓතිහාසික කතා පුවත් රැසක් නර්තනයෙන් හා සංගීතයෙන් ප්‍රතිනිර්මාණය කෙරෙන උරුමයක පෙරහර රූප කාව්‍ය පෙබරවාරි මස දෙවැනිදා රාත්‍රී හතට කොළඹ නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේදී රංගගත කෙරේ. මේ අපූරු රූප කාව්‍යයට ශ්‍රී ලංකාවේ ඉතාමත් ජනප්‍රිය කලාකරුවන් කලාකාරියන් රැසල් සහභාගී වෙති. මෙම අපූරු රූප කාව්‍යයේ ප්‍රධානම නිර්මාණකරැවා වන්නේ ශ්‍රී ලාංකික නර්තන උරුමය ලෝකය පුරා රැගෙන යන රංගික ජීවන්තය. වෘත්තීය නර්තන කණ්ඩායමක ප්‍රධානියා වශයෙන් සිසු සිසුවියන් සුවිශාල සංඛ්‍යාවක් බිහි කරන්නට සමත්ව සිටින රංගික මේ වනවිට රිවේගා කලායතනය පවත්වාගෙන යමින් සිය සිසු සිසුවියන් සමඟින් ලෝකය පුරා සංචාරය කරමින් අපේ රටේ උරැමය විදෙස් නගර රැසක ප්‍රධාන වේදිකාවන්හි රඟදක්වමින් සිටී.

උරුමයක පෙරහර උපත ලබන්නේ 2018 අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවරදීය. 2017 වසරේදී අමෙරිකාවේ තානාපති කාර්යාලයෙන් මට හැත්තෑවන නිදහස සංවත්සරය වෙනුවෙන් නිර්මාණයක් කරන්න ආරාධනාවක් ලැබුණා. ඒ අනුව මගේ පිටපත් රචක ඩයස් එක්ක සහ මගේ සංගීත රචක නදීක එක්ක එකතු වෙලා උරැමයක පෙළහරේ කෙටි නිර්මාණයක් අපි අමෙරිකාවේ වේදිකාගත කළා. එතැනට ආපු සියලුම දෙනාගෙන්ම ලොකු ඇගයීමක් ලැබුණා. අමෙරිකාවෙත් පෙන්නූ එය ලංකාවේදී කවුරුත් දැකලා තිබුණේ නෑ. ඒ නිසා මේ නිර්මාණය ලංකාවේ වේදිකාගත කරන්න අපි පටන්ගත්තා. ඒ අනුව තමයි උරුමයක පෙරහර 2020–2-2 දවසේ අපි නෙළුම් පොකුණේ වේදිකාගත වෙන්නේ. යැයි උරුමයක පෙරහර ගැන එහි අධ්‍යක්ෂක රංගික ජීවන්ත පැවසීය.

මේ නිර්මාණය වෙනුවෙන් රංගික ජීවන්තගෙන් නර්තනය ඉගෙනුම ලබන දරු පිරිසට අමතරව රත්නා ලාලනී ජයකොඩි, දමිතා අබේරත්න, ධනංජය සිරිවර්ධන, උමාලි තිලකරත්න, ගම්‍යා විජේදාස, මේධා ජයරත්න, අශාන් ඩයස්, මාධව විජේසිංහ, ශම්මු, සචිනි කලාකරුවන්, කලාකාරියන් ලෙස නර්තනයෙන් දායක වෙති.

මේ උරුමය වේදිකාවට ගේන්න මම වගේ කලාකරුවෙක් එක්ක එකතු වුණ මේ හැම කලාකාකරියකටම ගොඩක් ස්තූති කරන්නම ඕන. උරුමයක පෙරහර වේදිකාගත වෙද්දී ප්‍රේක්ෂකයාට යක්ක, නාග ගෝත්‍රයේ සිට මහනුවර යුගය වනතුරු සියලු යුග ගමන් මාර්ගයේදී අපිට උරුමයක් විදිහට සංස්කෘතියට එකතු වුණ, අපි අපේ කරගත්තු දේවල් පෙරහරක් විදිහට වේදිකාවට ගෙනෙනවා. දැවැන්ත පසුතල නිර්මාණ, දැවැන්ත ප්‍රතාපවත් චරිත මෙන්ම එකසිය විසි දෙනකුගේ නර්තන කණ්ඩායමක් එදාට වේදිකාගත වෙනවා යැයි රංගික ජීවන්ත වැඩිදුරටත් පැවසීය.

උරුමයක පෙරහර රූප කාව්‍ය පිටපත කථිකාචාර්ය පී. ඩබ්ලිව්. ටී. ඩයස් විසිනි. උරුමයක පෙරහර පිළිබඳව ඩයස් අදහස් දැක්වූයේ මෙලෙසිනි.
ඉතිහාසයට පිටපතක් මොකටදැයි ඇතැමුන්ට චකිතයක් ඇති. මේ කියන ඉතිහාසය අපිට වෙනස් කරන්න බැහැ. නමුත් ඉතිහාසයේ තිබෙන කරුණුවලින් වේදිකාව එකට ගේන්නේ මොනවද කියලා අපි මතුකරගන්න ඕනේ. සියලුම සිදුවීම් මේ වේදිකාවට අපිට ගේන්න බැහැ. මේක අවුරුදු දෙකක් තිස්සේ සංස්කරණය වෙන පිටපතක්. අවසාන මොහොතේදීත් ඒ පිටපත බොහෝදුරට වෙනස් කරන්න ඉඩ තියෙනවා. අපිට තියෙන ලොකුම ගැටලුව වුණේ කලාත්මක තැන් මතු කරගන්නේ කොහොමද කියලයි.
දුටුගැමුණු එළාර සමයේදී එක්වරම අපගේ මතකයට නැගෙන්නේ විජිතපුර සටනයි. නමුත් පිටපතේ විජිතපුර සටන පිළිබඳව නිරූපණය නොවේ. නමුත් ඒ සටන පිළිබඳව ප්‍රේක්ෂකයාට මතකයට නංවන්නේ පසුබිමෙන් ඇසෙන නදීකගේ සංගීතයෙනි. උරුමයක පෙරහර ඔස්සේ ඔවුන් මතුකරලන්නට උත්සාහ කරන්නේ දුටුගැමුණු රාජ්‍ය සමයේ රුවන්වැලි සෑය සාදා ධාතු නිධානොත්සවය අවස්ථාවයි. ඇහැලේපොළ කුමාරිහාමි ලෙස මෙහි රඟපාන්නේ දමිතා අබේරත්නයි. ඇහැලේපොළ ඛේදවාචකයේ ප්‍රධාන චරිතය වන්නේ මද්දුම බණ්ඩාර වීරයයි. නමුත් උරුමයක පෙරහර රූප කාව්‍යයේදී මද්දුම බණ්ඩාර නිරූපණය නොවේ. ඒ මද්දුම බණ්ඩාර වීරයගේ මරණය ප්‍රේක්ෂකයාට පෙන්නුම් කරන්නේ නදීකගේ සංගීතයෙනි. රූප කාව්‍යයේ ප්‍රධාන චරිතය වුණු ඇහැලේපොළ කුමාරිහාමිව මරණ දර්ශනය නිරෑපණය කරයි. ඒ චරිතයෙන්  අභීත කාන්තාවනගේ අභිමානය පෙන්නුම් කරයි. ඇය තම පතිවත විකුණන්නේ නැත. ඒ නිසාම ඇයට මරණයට යන්න සිදුවේ. මෙය උරුමයක පෙරහර ඔස්සේ කතා කරයි.
ඇහැලේපොළ කුමාරිහාමිගේ කුඩා ළදරුවාට මෝල් ගහෙන් තලනකොට ඒ මවකට ඇතිවන වේදනාව අපි සංගීතය ඕස්සේ පසුතලෙන් ප්‍රේක්ෂකයාට දැනෙන්නට උත්සාහයක් ගන්නවා.මේක රූප කාව්‍යයක් ඇතුළේ ශබ්දයෙන් බොහෝ දෙයක් කරන්නට වෑයම් කරනවා. දේවල් අත්හදා බලමින් අලුත් අලුත් දේවල් කරන්නට උත්සාහ කරපු නිර්මාණ කටයුත්තක්. යැයි උරුමයක පෙරහර රෑප කාව්‍යයේ සංගීත අධ්‍යක්ෂක නදීක වැලිගොඩපොළ පැවසීය.

මේ දැවැන්ත නිර්මාණ කටයුත්ත සඳහා මේ වනවිටත් අනුග්‍රාහකයෙක් නොමැති වීම කණගාටුවට කරුණකි. විවිධ මාධ්‍ය ඔස්සේ ඉදිරිපත් කරන රියැලිටි වැඩසටහන් වෙනුවෙන් මෙන්ම බොහෝ ප්‍රසංග වෙනුවෙන් අනුග්‍රාහක ආයතන තම අනුග්‍රහකත්වය ලබා දෙන්නට පෙළගැසෙද්දී අභිමානවත් ඓතිහාසික සංස්කෘතික උරුමයකට හිමිකම් කියන අපේකම පෙන්වන මෙවැනි නිර්මාණ කටයුත්තක් වෙනුවෙන් රංගික ඇතුළු පිරිසට අදටත් අනුග්‍රාහකකයෙක් නොමැත. එපමණක්ම නොව ඉතා කාර්යබහුල කාලයක විවිධ නිර්මාණ කටයුතුවලට දායක වෙමින් මෙම උරුමයක පෙරහරට අපේ ආදරණීය කලාකරුවන් කලාකාරිණියන් සිය දායකත්වය ලබා දෙන්නේද කිසිදු මූල්‍යමය බලාපොරොත්තුවකින් තොරවය. එයද අගය කළ යුතුමය. එමෙන්ම සචින්ත ද සිල්ලා ප්‍රමුඛ Beat Drummers බෙර වාදන කණ්ඩායම ලබාදෙන සහයෝගය ද සිහිපත් කළ යුතුය. 

අනුග්‍රාහකයන් නොමැතිව වුවද මේ අපේ උරුමය රූප කාව්‍යකින් පෙබරවාරි දෙවැනිදා වේදිකාගත කරන්නට රංගික ඇතුළු පිරිසට හිතේ හයියක් ඇත.

 

► Text - Dishani  /    Pic – Sumudu