එකගෙයි සොකරි තිරගත වෙන්නට සූදානම්. අකිල රඟපාපු එකගෙයි සොකරි කියන්නේ මොනවගේ නිර්මාණයක්ද..?
ජැක්සන් ඇන්තනී කියන්නෙ පර්යේෂණාත්මක අධ්‍යක්ෂකවරයෙක්. අප්පච්චි අධ්‍යක්ෂණය කළ ජුලියට්ගේ භූමිකාව, අබා, ඇඩ්‍රස් නෑ කියන චිත්‍රපටවලටත් වඩා වෙනස්, ඒ චිත්‍රපටවලට අදාළම නොවන වෙනස්ම වූ චිත්‍රපටයක් තමයි එකගෙයි සොකරි කියලා කියන්නෙ. මේ චිත්‍රපටයේ වීරත්වය, කුතුහලය, ආදරය, සොකරි, අධ්‍යාපනික වටිනාකම, ඉතිහාසය ආදී සියල්ලම එකතු කරලා අවසානයේදී තමන් හිතලාවත් නැති වෙනස්ම සතුටු හිතෙන හරි පහන් හැඟීමක් ඇතිවන තැනකට ප්‍රේක්ෂකයාව ගෙන එනවා. ඒ වගේ හැඟීමක් චිත්‍රපටයක මීට පෙර මම විඳලා තිබුණේ නැහැ. ඒ වගේම මම මගේ චිත්‍රපටයක් බලලා ඒ තරම්ම සතුටුවෙලත් නැහැ. ඒ තරමටම ඒ චිත්‍රපටය පුදුම තැනකට ප්‍රේක්ෂකයාට අරගෙන යනවා. මාවත් ඒ චිත්‍රපටයේ හොඳ ප්‍රේක්ෂකයෙක් බවට පත් වුණා.
එකගෙයි සොකරි ප්‍රේක්ෂකයාව ඈත ඉතිහාසයට ගෙන යන්නක්.. එහෙම නේද..?
ඔව්.. 1818 කැරැල්ල ඉවර වුණාට පස්සේ ලංකාවේ මිනිස්සු ඉංග්‍රීසි ආණ්ඩුවට යටත්වෙලා ජීවත් වුණා. ලංකාවේ සාමාන්‍ය ජන සමාජයේ තිබුණු දේවල් මේ ඉංග්‍රීසි ආණ්ඩුවේ නීතිරීතිවලට අනුගත වුණේ කොහොමද? ලංකාවේ මිනිසුන්ගේ තිබුණු සිතුවිලි මොනවද? යුද්ධයට යන්නෙ නැහැ කියලා හිතපු අය වගේම යුද්ධය කළ යුතුයැයි කියලා හිතන වීරයොත් මේ චිත්‍රපටයේ ඉන්නවා. ඒ වගේම ලංකාවේ හිටපු සාමාන්‍ය මිනිස්සුන්ගෙ සිතුම් පැතුම් වගේම 1818න් පසු කාලයේදී ලංකාව හොඳට ඒ නීතියට අනුගතවෙලා තිබුණු හැටි, ඒ කාලයේදීත් අපි ජීවත් වුණානම් ඒ ජීවිතය මොනවගේ වේවිද කියලා අත්දැකීමක් ලබාගන්න පුළුවන් චිත්‍රපටයක් විදිහට එකගෙයි සොකරි හඳුන්වන්න පුළුවන්. කියනවාට වඩා ඒක බලන්නම ඕනෙ.
අප්පච්චි වන ජැක්සන් ඇන්තනීව අධ්‍යක්ෂකවරයෙක් විදිහට අකිලට දැනුණෙ කොහොමද..?
අනිත් නිර්මාණවේදීන් අනිත් නළු නිළියන්ට සලකන ආකාරයටම ඒ උපදෙස් සැලකිලි අප්පච්චිගෙන් මටත් මල්ලිටත් ලැබුණා. අධ්‍යක්ෂකවරැ එක්ක කටයුතු කරද්දී මේ අධ්‍යක්ෂකවරයාගේ තියෙන වෙනස මොන වගේද කියලා වෙනත් රංගන ශිල්පියෙක්ට ශිල්පිනියකට දැනෙන දේම මටත් අප්පච්චි එක්ක වැඩ කරද්දී දැනුණා. මමත් අධ්‍යක්ෂකවරු ගණනාවක් එක්කම වැඩ කරලා තියෙනවා. හැබැයි මේ අධ්‍යක්ෂකවරයා කටයුතු කරන විදිය අතින් අධ්‍යක්ෂකවරුන්ට වඩා වෙනස්. අප්පච්චි පර් යේෂණාත්මක නිර්මාණවේදියෙක් නිසා හැම ප්‍රශ්නයකටම උත්තරයක් එයා ළඟ තියෙනවා. නළුවෙක් රඟපාන්න ගියාම ප්‍රශ්න ගොඩක් තියෙනවනෙ. උදාහරණයක් විදිහට ගත්තොත් යම් නිර්මාණයකදී ඔයා මෙහෙම වම් පැත්ත බලලා හිනාවෙන්නෙ ඇයි? ඒ හිනාව වැඩි කරන්න කියලා කිව්වොත් එහෙම කියන්න හේතුව මොකක්ද? කියලා ප්‍රශ්න ගොඩක් හිතට දැනෙනවනෙ. මේ හැමදේටම හේතුවක් තියෙන්නෙ ඕනෙ. ඒ ප්‍රශ්න අපිට හිර කරගෙන ඉන්න වෙලා තියෙනවා. නමුත් අප්පච්චි එක්ක අපිට ඒ හැමදේම විසඳගෙන රඟපාන්න පුළුවන් හැකියාවක් ලැබෙනවා. අප්පච්චි කවදාවත් හිත හදාගත්ත මනුස්සයෙක් නෙමේ. වැඩේ තමයි හදාගත්තෙ. මේ චිත්‍රපටයෙදී වුණත් ඒ මිනිස්සු ගැන, ඒ ජන සමාජය ගැන පරීක්ෂණ කරලා ඒ නිර්මාණය මිනිසුන්ට බලන්න ආස හිතෙන විදිහට එක විනාඩියෙන් විනාඩිය ගැටගහලා හදපු එකගෙයි සොකරි බලන්න දැන් කාලය ළඟයි. අප්පච්චි එක එක ජාතියේ චිත්‍රපට හදලා බලලා තියෙනවා. නමුත් එකගෙයි සොකරි හැම මනුස්සයාටම බලන්න ආස හිතෙන, ඒ පහන් හිත හැමවෙලේම මතු කරන, ආයෙ ආයෙත් බලන්න හිතෙන අපූරු නිර්මාණයක්. ඒ සැලැස්ම කරද්දී හැමදේම දැනගෙන තමයි අධ්‍යක්ෂකවරයා අපිව මෙහෙයවූයේ. අපිව අධ්‍යක්ෂණය කරපු ඒ අපූර්වත්වය මම වගේම නිර්මාණයට සහභාගි වුණු හැමෝටම එක වගේ දැනෙන්න ඇති.
එකගෙයි සොකරි චිත්‍රපටයට පාදක වුණු වටපිටාව සැබෑම පරිසරයක්. ඒ අත්දැකීම් ගැන කතා කළොත්...?
මේක රෑගත කළේ බිබිල ප්‍රදේශයේ. ඒ ප්‍රදේශය අතිශයින්ම ගැමි සුන්දරත්වය තියෙන අපූරු ගමක්. ඒ ප්‍රදේශය අපිට අවශ්‍ය කරන වටපිටාව අනුව වෙනස් කරන්න සිදුවුණු ප්‍රදේශයක් නෙමේ. ඒ ගම තමයි සැබෑම ගම. හරිම පිරිසුදු ගමක් තමයි අපි හොයාගෙන ගියේ. කවුරුවත් ඒකට ආපදාවක් කරලා තිබුණේ නැහැ. පේන තෙක් මානයක ලයිට් කණුවක්වත් තිබුණේ නැහැ. ඇතිලියන්කුඹුර ගම හරිම ලස්සන අපූරු ගමක්. අප්පච්චි ලංකාව වටේ එයාගේ කලා අධ්‍යක්ෂකවරුන් එක්ක ගිහින් සොයාගත්තු හරි අපූරු ගමක්. අපේ ගෙවල් දොරවල් ගහලා එතන සෙට් එක හදාගත්තේ නැත්නම් ඒක මිනිසුන් වැඩියෙන් ගැවසෙන්නේ නැති, හොඳ ලස්සන ගම්බද ප්‍රදේශයක්.
එකගෙයි සොකරි කවදා විතර බලන්න පුළුවන් වෙයිද..?
මම හිතන විදිහට සුනාමි චිත්‍රපටය පිටිපස්සෙන් එකගෙයි සොකරි චිත්‍රපටය එනවා.
දැන් අප්පච්චි කෙනෙක් වෙන්නත් ළඟයි නේද..?
ඔව් ඔව්.. ගොඩක් ළඟයි. දැන් අතේ දුරින්. අප්පච්චි වෙන්න මම හරි ආසාවෙන් බලාගෙන ඉන්නවා.
► Text - Dishani / Pic – Internet