2020 ජනවාරි 11 වන සෙනසුරාදා

සිරිමැඳුරෙ තියෙන්නෙත් ඒ අවුලවපු ගින්න

 2020 ජනවාරි 11 වන සෙනසුරාදා, ප.ව. 12:30 148

Art එකේ කැරට්ටුව..

හඬ: පරාක්‍රම නිරිඇල්ල

ආයුබෝවන්... 
ලෙස්ටර්ගේ නිධානය ඇතුළට යන්න තමයි අද අපි හිතාගෙන ඉන්නෙ....

මේ අල්ල පනල්ලේ ලෙස්ටර් ගැනයි නිධානය ගැනයි මට මතක්කරලා දුන්නේ පරාක්‍රම... පරාක්‍රම කිව්වේ පරාක්‍රම නිරිඇල්ල.....

එනවද එයත් එක්ක නිධානය ගොඩදාන්න...
පරාක්‍රම කියනවා පරාක්‍රමගේ පපුවේ හරිමැදටම වැදුන කිහිපයක් නිර්මාණ අතරේ ලෙස්ටර්ගේ වැඩ ඉස්සරහින්ම තියෙනවලු. ලෙස්ටර්ගේ වැඩ ගැන අහන ගමන් පරාක්‍රම එක්ක නිධානය ගැන පිටුවකට හරියන්න කතාකරන්න හිතුණේ ඒකයි.... 

නිධානයට කිට්ටුවෙන්න කලින් පරාක්‍රම නිරිඇල්ල ඉදිරියේදී කරන්න හදන අලුත් වැඩ ගැන ටිකක් අහලා ඉමුද..?  
සාමාන්‍ය පරිදි වැඩකටයුතු කරගෙන යනවා... විශේෂයෙන්ම කරන වැඩේ තමයි මගේ නවතම සිනමා නිර්මාණයට මම මේ දවස්වල ලැහැස්ති වෙනවා.

සරලව කෙටියෙන් එයා එහෙම උත්තරයක් තමයි දුන්නෙ...
පරාක්‍රම නිරිඇල්ල ගැන මම අමුතුවෙන් කියන්න ඕනෙද...? එයාගේ නම අහපු ගමන්  එයාව දැක්ක ගමන් කවුරුත් දන්නවා මෙයා කවුද මොනවද කරන්නෙ කියලා... ඒ තරමට ඔහු නිර්මාණ මිනිස්සුන්ට ළඟයි... සිනමාවෙන් සිරිමැදුර, ටෙලි නාට්‍යයෙන් යශෝරාවය, වේදිකාවෙන් සෙක්කුව මේ නිර්මාණ තුන ඇති නේද මෙයා ගැන තක්සේරුවකට එන්න...   හරි... වැඩිය යමක් නිරිඇල්ල ගැන නොකියා... එයා කියන්නෙ මොනවද කියලා අහලා බලමුද?
මෙච්චරම පරාක්‍රමගේ හිතයන්න තරම් නිධානයේ තිබෙන විශේෂත්වය මොකක්ද? පොඩ්ඩක් කියන්නකෝ ඒ ගැන...

මෙහෙමයි... එක්දාස් නමසිය හැත්තෑ එක වගේ කාලේ තමයි මමත් චිත්‍රපට නිර්මාණකරණයට එන්න සිහින දැක්ක කාලේ.. ඒ කාලේ තමයි මම නිධානය චිත්‍රපටය දැක්කේ.. එක්දාස් නමසිය හැත්තැ දෙකේ... ජී.ඩී.එල්. පෙරේරා මහත්මයා ආරම්භ කරපු පලාපෙළ සිනමාකරණ පාඨමාලාව හැදෑරුවා... ඒ කාලේ කැමරා ශිල්පී සුමින්ද වීරසිංහව, තිස්ස අබේසේකර, සුනන්ද මහේන්ද්‍ර වගේ ගොඩක් නිර්මාණ ශිල්පීන් වගේම සංස්කරණ ශිල්පීන් ගොඩදෙනෙක්ව මට ඇසුරු කරන්න ලැබෙනවා.. මූලික අධ්‍යයන කටයුතුවල ප්‍රධාන වශයෙන් පාදක කරගත්තේ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ නිධානය කියන සිනමා කෘතිය. ඒ වෙනකෙට ක්ෂේත්‍රය තුළත් සෑහෙන විචාරයට ලක්වුණු චිත්‍රපටයක් තමයි නිධානය... සිනමාකරණයේදී අත්පොත් වශයෙන් තමයි මම නිධානය හඳුන්වන්නෙ. ලෙස්ටර්ගේ ගම්පෙරළියට වඩා නිධානයට මම ගොඩක් ඇලුම්කරනවා. විශේෂයෙන්ම නිධානය පිටපත මම ගොඩක් අධ්‍යයනය කළා. ඒ අධ්‍යානයේදී මට තේරැම් ගියේ මේ තිරනාටකය සාහිත්‍යමය තිරනාටකයක් බව. පිටපතේ තිබෙන හැම අවස්ථාවක්ම වගේ චිත්‍රපටයට නගලා තිබුණා. මම මේ චිත්‍රපටයට කැමතිවෙන්න ගාමිණී ෆොන්සේකාගේ විශිෂ්ඨ රංගනයත් සෑහෙන දුරට බලපෑවා. විලී අබේනායකගේ භූමිකාව තමයි ගාමිණී රඟ දැක්කුවේ... මාලනී ෆොන්සේකා එවකට නවක නිළියක්. නමුත් ඇගේ රංගනයෙන් මම දැක්කෙ නෑ ආධුනික බවක්. ඇයත් විශිෂ්ඨ විදියට ඇගේ භූමිකාව ඉෂ්ඨ කළා. නිධානය කියන්නෙ අපූරු සිනමාත්මක අත්දැකීමක්.. මගේ මතකය හැටියට... ඒ කාලෙ ලෝකයේ හොඳම නිර්මාණ සියය ඇතුළේ නිධානය තිබුණා. සරලවම කිව්වොත් මගේ චිත්‍රපටය කලාවේ මුල් යුගයේ මාව ආකර්ෂණය කරපු... සිනමා කලාවට මාව ප්‍රවිශ්ඨ කරන්න දොරටුවක් විවර කරපු නිර්මාණයක් තමයි නිධානය. මේ නිර්මාණය ලෙස්ටර්ගේ ජයග්‍රහණයක් වගේම තිර පිටපත ලියපු තිස්ස අබේසේකරගෙත් ජයග්‍රහණයක්.

මේ චිත්‍රපටයේ වස්තු විෂය ඉතා සරල එකක්. ජී.බී. සේනානායකගේ කෙටි කතාවක් ඇසුරින් තමයි තිස්ස මේ චිත්‍රපටයේ තිර පිටපත ලියන්නෙ. කෙටියෙන් මම ඒක කියන්නම්... විලී අබේනායක කියන වලව් පැලැන්තියේ මනුස්සයා සාත්තරයක් බලන්න යනවා. සාත්තරෙන් කියැවෙනවා මුහුණෙ ලප තුනක් තියෙන කාන්තාවක් බිලිදුන්නාම නිධානයක් ලැබෙනවා කියලා. ඔහු ඒ වෙනකොට ඔහුගේ ව්‍යාපාරවලින් සෑහෙන පහළට වැටිලා තමයි ඉන්නෙ. ව්‍යාපාරවලින් ගොඩඒමේ  විසඳුමක් වශයෙන් මේ පුද්ගලයා එවැනි කාන්තාවක් හොයනවා. හරියට කුස රජ්ජුරුවන්ට පබාවතිය හොයනවා වගේ.... එවැනි ලප තියෙන කාන්තාව මොහුට මුණගැසෙනවා. පසුව ඒ තරුණියව මොහු විවාහකර ගන්නවා. මේ තරුණිය ශ්‍රියා කාන්තාවක් වගේ ලස්සනයි. විලීට මේ තරුණිය ගැන ආදරයක් ඇතිවෙනවා... නමුත් විවාහ ජීවිතය ඇතුළේ ඇය කන්‍යාවක් ලෙස තමයි ඉන්නෙ. විලීට නිධානය ගන්න අදහස යටපත් වෙනවා.. කාලයත් එක්ක නැවතත් ආර්ථික අපහසුතාවට පත්වෙලා නැවතත් නිධානය ගැනීමට උවමනා වෙනවා. අවසානයේ මොහුට සිද්ධවෙනවා නිධානය ගැනීමට මේ තරුණියව මරන්න. මේ කතාව ප්‍රේක්ෂකයාව කම්පනය කරන සුළුයි. ඉතා බිහිසුණුයි....

මෙච්චරම ඔබ ආසා නිධානය චිත්‍රපටයේ කැමතිම චරිතයක් ඇති නේද?
අපොයි ඔව්... මම කලිනුත් කිව්වා වගේ මම ගොඩක්ම කැමති ගාමිණී රඟන විලී අබේනායකගේ චරිතයට. ගාමිණී හරි අපූරුවට විලී අබේනායකට ආරූඪ වෙනවා.. අති විශිෂ්ඨ ගණයේ රංගනයක ගාමිණී නිරතවෙනවා... ආයි ඒක විවාදයක් නෑ. මේ සමස්ථ නිර්මාණය පුරාම රංගනයෙන් දායකවුණු අනිකුත් ශිල්පීනුත් දක්ෂ ලෙස ඔවුන්ගේ කාර්යයන් කරනවා.

නිධානය චිත්‍රපටය නරඹද්දී ඔබව සංවේදී කරපු රූපරාමුවක් මතකද?
මම ගොඩක්ම කැමතිම දර්ශනය තමයි විලී අබේනායක සහ ඇගේ බිරිඳ ප්‍රේමයෙන් ඉන්න අවස්ථා. ඒකට හේතුව තමයි විලී අබේනායක කියන ගාමිභීර ආඩරම්බරකාර පුද්ගලයා අර තරුණිගේ ආදරය නිසා පොඩි දරැවෙක් බවට පත්වෙනවා. ඒ දර්ශන හරිම ආකර්ෂණීයයි. පුදුම දක්ෂකමක් තියෙන්නෙ ඕනෙ.... ගාමිණී කියන චරිතයෙන් මිදිලා විලී අබේනායක වගේ ගාම්භීර චරිතයක් කරන්න. ඊටත් වඩා දක්ෂ වෙන්නෙ ඕනෙ ඒ ආඩම්බර පුද්ගලයා ආදරයෙන් මුසපත්වන විදිය රංගනයෙන් ඉදිරිපත් කරන්න. අන්න ඒ දර්ශන මගේ හිතට තදින් කාවැදුණා...

දැනට කී වතාවක් මේ නිර්මාණය ඔබ නරඹලා තියෙනවද?
දැනට මම දහපාරකට වඩා මේ නිර්මාණය බලලා තියෙනවා. 

මෙවැනි නිර්මාණ තුළින් ඔබගේ ජීවිතයට මොන වගේ දෙයක්ද එකතු කරගත්තෙ...?
ඇත්තටම... මේ නිර්මාණයේ නිර්මාණාත්මක ගුණයන් තමයි මම අත්වින්දේ. ඒ අත්දැකීම්වලින් මගේ නිර්මාණවලටත් යම් යම් දේවල් අඩු වැඩි වශයෙන් උපයෝගී කරගත්තා....

නිධානය චිත්‍රපටයේ අවසාන රූපරාමුව නිමවෙනකොට.... ඔබට මොනවගේ හැඟීමක්ද දැනුණේ.... ඒ හැඟීම වචනවලට පෙරළමුද?
ඇත්තටම මට හිතුනේ මම චිත්‍රපටයක් කරනවනම්... මමත් කරන්නෙ ඕනෙ මෙවැනි චිත්‍රපටයක් කියලා මට හිතුණා... මගේ නිර්මාණයක් වන සිරිමැදුර චිත්‍රපටයේ වලව්වක කතාව කරන්න මට බලපෑවේ.... නිධානය චිත්‍රපටයෙන් ඒ අවුලවපු ගින්න වෙන්න ඇති....

 

► Text - Danushka Wijesiri   /   Pic -  Internet