කුංග්ෆු කිව්ව ගමන් කාටත් මතක් වෙන්නෙ බෘෘස් ලී තමා. හැබැයි බෘෘස් ලී නිසා ජනප්‍රිය වෙච්ච කුංග්ෆු සටන් කලාව අද වෙද්දි ගොඩක් දෙනෙක් ආසාවෙන් වැළඳගත්තු ජීවන කලාවක් බවට පත්වෙලා. නේපාලයේ හිමාල කඳු මායිමේ ජීවත්වෙන ඩෘප්කා බෞද්ධ භික්ෂුණීනුත් ඒ වගේ පිරිසක්. බෞද්ධාගමත් කුංග්ෆු සටන් කලාව එහෙමත් නැත්නම් ජීවන රටාව බද්ධ කරගත් අපූරු පිරිසක් විදිහට ඔවුන්ව හඳුන්වන්න පුළුවන්.
දකුණු ආසියාවේ අනිත් බොහෝ රටවල වගේම නේපාලයේත් කාන්තාවන්ට පිරිමි හා සම තැනක් නැහැ. ඒ නිසාම කුඩා වියේදීම එයාලට ගොඩක් ගැහැට කරදර විඳින්න සිද්ධ වෙන බව සඳහන්. ඩෘප්කා භික්ෂුණී ආශ්‍රමයේ ඉන්න අය කියන විදිහට භික්ෂුණීන්ට පවා නොයෙක් තාඩන පීඩනවලට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ නිසා තමා ආත්මාරක්ෂක සටන් කලාවක් විදිහට ප්‍රසිද්ධ කුංග්ෆු එයාලට උගන්වන්න පටන් අරන් තියෙන්නෙ. මීට අවුරුදු 12කට කලින් තමා මේ විදිහට භික්ෂුණීන්ට කුංග්ෆු උගන්වන්න පටන් අරගෙන තියෙන්නෙ. එහි ප්‍රතිඵලයක් විදිහට භික්ෂුණීන්ගේ ආත්ම විශ්වාසය සෑහෙන වර්ධනය වෙලා කියලත් සඳහන් වෙනවා.
අපි හැමදාම පාන්දර 3ට අවදිවෙනවා. ඉන්පස්සෙ භාවනා කරලා අපි බයිසිකල් පදිනවා. පැය තුනක් විතර කුංග්ෆු සටන් අභ්‍යාසවල නිරත වෙනවා. ඩෘප්කා ජීවන කලාව කම්මැලියන්ට නම් කොහෙත්ම ගැලපෙන්නේ නෑ. ගේමෝ නම් භික්ෂුණිය පවසනවා.
කඩු සහ රිටි අරගෙන කරන කුංග්ෆු සටන් අභ්‍යාසවලට අමතරව තමන්ගේ ශරීර යෝග්‍යතාව පවත්වාගන්න නිතරම ඇවිදීම සහ දිවීම වැනි ව්‍යායාමවල නිරත වෙන්නත් මේ භික්ෂුණීන් අමතක කරන්නේ නැහැ. ඔවුන්ගේ ශරීර යෝග්‍යතාව කොයිතරම් දියුණුද කිව්වොත් මෑතකදී නේපාලයට බලපාපු භූමිකම්පාවක් අතරතුර ආණ්ඩුවේ සහන සේවකයින් කාටත් කලින් අනතුර සිද්ධ වෙච්ච ස්ථානයට ගිහින් සහන සේවා කටයුතු කළේ මේ ඩෘප්කා භික්ෂුණීන්. එතැනින් පස්සෙ තමයි ගොඩක් දෙනෙක් මෙයාලා ගැන අවධානය යොමුකරන්න පටන්ගත්තෙත්.
ගේමෝ භික්ෂුණිය කියන විදිහට කුංග්ෆු සටන් කලාව හරහා භාවනා කරන්න වුවමනා කරන චිත්ත ඒකාග්‍රතාවත් එයාලට ලැබෙනවා. විද්‍යාත්මක
පර්යේෂණවලට අනුවත් කුංග්ෆු වගේ සංකීර්ණ සටන් කලා ප්‍රගුණ කිරීමෙන් මිනිස් සෞඛ්‍යයට ප්‍රයෝජන රැසක් අත්වෙනවා. විශේෂයෙන්ම සමබරතාව රැකගැනීම වගේම සියුම් මානව කුසලතා වර්ධනයටත් ඉන් විශාල පිටිවහලක් ලැබෙනවා. ඒ වගේම 2016 වසරේ කරපු පර්යේෂණයකට අනුව කුංග්ෆු නිසා රුධිර සීනි මට්ටම පවා පාලනය වෙන බව සොයාගෙන තියෙනවා.
මේ සෑම සියලු දෙයක් සමඟම නේපාලයේ කාන්තා අයිතිවාසිකම් ආරක්ෂා කරන්නත් ඔවුන් මැදිහත් වෙනවා. ගම් දනව් සිසාරා ඇවිද යමින් තමන්ගේ හැකියාවන් ප්‍රදර්ශනය කරන අතරේදීම කුඩා ගැහැනු ළමුන්ට ජීවිතයට වටිනාකමක් එකතුකරගන්න දිරිමත් කිරීමත් මේ භික්ෂුණීන්ගේ ජීවන ගමනේ එක් ප්‍රධාන අරමුණක්.
► Text - Suranga / Pic - Internet