2017 මාර්තු 25 වන සෙනසුරාදා

සින්දු මල්ලිලාෙගන් පට්ට... වැඩක්

 2017 මාර්තු 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 124

කලාකරුවන් සහ පොදුවේ මිනිසුන් මුදලම මූලික කරගෙන  කටයුතු කරනවා කියලා කෙනෙක් චෝදනා කරන්න පුළුවන්. ඒක සනාථ කරන්නත් උදාහරණ හිඟ නෑ. හැබැයි පහුගිය සතියක රොමේෂ් සුගතපාල, චාමර වීරසිංහ, රයිනි චාරුකා, රූනි කියන අය තමුන් මුදල්වලට වඩා මනුස්සකමට තැනක් දෙන කලාකරුවන් පිරිසක් කියලා ඔප්පු කළා. ඒ ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පැවති කල්පිතයෙන් එහා ප්‍රසංගයේදි. ප්‍රසංගය සිදු කරන්න තිබුණු මාර්තු 14 වැනිදා අධික වර්ෂාව නිසා ප්‍රසංගය සිදු කරන්න බැරි වුණත් මනුෂ්‍යත්වය මුදල් නෝට්ටුවලට වඩා සුන්දර බව ඔප්පු කරමින් මේ කට්ටිය පහුවැනිදා ප්‍රසංගය කරලා තිබුණා. ඇත්තටම ඒ මනුස්සකම සුන්දරයි සහ ප්‍රසංශනීයයි.

රොමේෂ් සුගතපාල

මොකක්ද මේ ෂෝ එක?

කල්පිතයෙන් එහා කියලා ජ,පුර කැම්පස් එකේ මැනේජ්මන්ට් එකේ දෙවැනි වසරේ  ශිෂ්‍යයෝ තමා සංවිධානය කරලා තිබුණේ. සාමාන්‍යයෙන් කැම්පස්වල ගොඩක් මේ වගේ ෂෝ කරන්නෙ ගාන්ධර්ව ප්‍රවීණ සෙට් එකක්නෙ. මේ ළමයින්ට ඊට වෙනස් දෙයක් කරන්න ඕනවෙලා තිබුණා. ඉතින් ඒකට තමා මටයි මගේ ටියුන්ස් බෑණ්ඩ් එකටයි ඉන්වයිට් කළේ ෂෝ එක කරන්න. 

එදා ෂෝ එකේ තව කවුද ප්‍රසංගයට සහභාගි වුණේ?

චාමර වීරසිංහ, රයිනි චාරුකා, රූනි. ඇත්තටම ලස්සනට වෙනස් වැඩක් කරන්න අපි හිතාගෙන හිටියේ. ඒත් එදා ලංකාවේ හිටපු කෙනෙක් නම් දන්නවා කොහොමද එදා වැස්සෙ තරම කියලා. අපි පැය ගාණක් බලාගෙන හිටියා වැස්ස පායයි කියලා. සවුණ්ඩ් ඔක්කොම හදලා ස්ටේජ් ගහලා ඉවරයි. ඒත් වැස්ස චුට්ටක්වත් අඩු වුණේ නෑ. ඉතින් එදා කොහොමටවත් ෂෝ එක කරන්න පුළුවන් තත්ත්වයක් තිබුණේ නෑ.

ඊට පස්සෙ? 

මේ ළමයි නොමිලේ තමා ෂෝ එක පෙන්නන්නෙ. ආපහු දවසක් ෂෝ එක කරන්න සල්ලිත් නෑ. අපි දන්නවනෙ යුනිවර්සිටි ස්ටුඩන්‍ට්ස්ලා කොච්චර අමාරුවෙන්ද ජීවත් වෙන්නෙ කියලා. අනික ඒ කොල්ලො ටික නියමෙට වැඩේ ඕගනයිස් කරලා තිබුණා. අපිව පිළිගත්ත විදිහ අපිට සංග්‍රහ කරපු විදිහත් එක්ක ඇත්තටම මට මාර අප්සෙට් ගියා ෂෝ එක කරන්න බැරි වෙන එකට. අපිට ඒ ෂෝ එක ගොඩක් වටිනවා. මොකද අපේ සින්දු අහපු නැති කෙනෙක් ඉන්නවනම් මේ ෂෝ එකෙන් පස්සෙ සින්දු අහන්න පෙළඹෙනවානෙ. ඒ කොල්ලො ටික මාර කට්ටක් කාලා ලක්ෂ ගාණක් වියදම් කරලා කරන්න හදපු ෂෝ එක. ඒවා ඔක්කොම වතුරෙ යනවනෙ. ඒ ගොල්ලො කිව්වා තව මාස දෙකකින් ෂෝ එක කරමු කියලා. මම කිව්වා නෑ මල්ලි, අපි හෙට ෂෝ එක කරමු. සල්ලි සතපහක්වත් එපා කියලා.

අනික් කට්ටිය කැමති වුණාද?

ඔව්. චාමර, රයිනි, රූනි තුන්දෙනාම ඕකේ වුණා නොමිලේ සිං කරන්න. සවුණ්ඩ්ස් මමමයි බුක් කළේ. ඒකෙ අයිතිකාරයා රෝයින් පෙරේරා. මම කිව්වම ෂෝ එක හෙට කරන්න වෙනවා මෙහෙම තත්ත්වයක් කියලා මගෙ වචනෙට එයා කැමති වුණා. එතන සවුණ්ඩ්වල වටිනාකම ලක්ෂ දෙකක්. සේවකයෝ දහදෙනෙක් ඉන්නවා. ඒ ඔක්කොටම එයා පහුවෙනිදා නිකම් පඩි ගෙව්වෙ. මේ වෙලාවෙ ඒ කට්ටිය වගේම මගේ ටියුන්ස් බෑණ්ඩ් එකේ සෙට් එකත් මතක් කරන්න ඕනි. ඒ ගොල්ලොත් නිකම් ප්ලේ කළේ. අපි ආපු ට්‍රාන්ස්පෝට් එකට බෑණ්ඩ් එකේ අය එකතු කරලා තමා සල්ලි ගෙව්වේ.

කොහොමද කැම්පස් එකේ ළමයින්ගෙ ප්‍රතිචාර?

ඉතා ඉහළයි. අපි එදා රෑ කැම්පස් එකේ හිටියෙ. ඒ ළමයින්ගෙ පීඩනය නැතිවෙන්න අපි එදා රෑ සින්දු කිව්වා. ඒ ළමයි ඇත්තටම ගොඩක් සතුටු වුණා.

පහුවැනිදා ප්‍රසංගය කොහොමද කළේ?

එදත් වැස්සා. පැය දෙකක් විතර ෂෝ එක නවත්තලා තමා ආපහු ප්ලේ කළේ. අපි රූ එකොළහ මාර වෙනකල් ප්ලේ කළා. ඇත්තටම මම ප්ලේ කරපු හොඳම ෂෝ එක ඒක කියලා තමා මට හිතුණේ. 

ඒ ඇයි?

ඒ තරම් චියර් එකක් කවදාවත් ලැබිලා නෑ. දහස් ගාණක් සහභාගි වෙච්ච ෂෝ එකක්. හූවක් චියර් එකක් නැතුව කිසිම සින්දුවක් පටන් ගත්තෙ නෑ. බෑණ්ඩ් එකේ අයත් සින්දු කියනවනෙ. ඒ හැම සින්දුවකටම ඒ ළමයි චියර් කළා. එහෙම වෙද්දී අපිටත් ගොඩක් ආසයි. ඒගොල්ලො කතාවක් කළා. ඒ කතාවෙදීත් කිව්වා රොමේෂ් අයියා මේ කරපු උදව්ව අමතක වෙන්නෙ නෑ කියලා.

සමාජජාල වලින් මේ සඳහා ලොකු ප්‍රතිචාරයක් ලැබිලා තිබුණා නේද? 

අම්මෝ ඔව්. මම මාර විදිහට සර්ප්‍රයිස් වුණා ඒ පෝස්ට් එක දැකලා. මම ජීවිතේට මගේ ගැන එහෙම හොඳක් අහලා නෑ. ඇත්තටම මම ඒ වගේ පෝස්ට් එකක් බලාගෙන නෙවෙයි මේ දේ කළේ. ඒක මට ලක්ෂ වාරයක් කියන්න පුළුවන්. මට ඕනි වුණේ අපිව රෙකමණ්ඩ් කරලා ගෙන්නපු ඒ මිනිස්සුන්ට උදව්වක් කරන්න. මගෙ වචනෙට තමා හැමෝම නොමිලේ ෂෝ එක කරන්න කැමති වුණේ. ඒ පෝස්ට්වල මගෙයි චාමරගෙයි නම් විතරක් දාලා තිබ්බට රයිනි රෑනි දෙන්නත් මෙතන ඉන්නවා. හැබැයි ඒ පෝස්ට් අතරෙ මාර අප්සට් පෝස්ට් එකකුත් තිබුණා.

ඒ මොකක්ද?

මේ ෂෝ එකට මම සහභාගි වුණේවත් නෑ. ඉඳුනිල් අන්ද්‍රමාන්නයි, චාමර වීරසිංහයි තමා මේක කළේ කියලා තිබුණා. ඇත්තටම මට මාර දුක හිතුණා ඒකට නම්. ඒ වගේ වැඩ හරි කැතයි. මම ප්‍රසිද්ධ වෙන්න දඟලන මිනිහෙක් නෙවෙයි. මම මේ වගේ වැඩ ඕනිතරම් කරලා තියෙනවා. අමරදේව සර්ගෙ මිනියට වැඳලා ෆොටෝ ගහලා දාපු ජාතියෙ කෙනෙක් නෙවෙයි මම. ඉතින් මේ වගේ දේවල් දැක්කම ලොකු කලකිරීමකුත් ඇති වුණා මට. 

පහුවෙනිදා දාගත්තු වැඩවලට මේ ප්‍රසංගය නිසා ප්‍රශ්නයක් ඇති වුණාද?

පහුවැනිදා අපිට ලොකු වැඩක් තිබුණා. ඒ කියන්නෙ ටුවර් එකක් යන්න වීසාවලට දාන දවස එදා. සමහර විට අපිට ඒ ටුවර් එක නැති වෙන්නත් පුළුවන්. ඒක අවුලක් නෑ. අපි බාරගත්ත වැඩේ අපි කරන්න එපැයි. ඒ සතුට අපිට තියෙනවා. 

කොහොමද මේ වැඩේ ගැන දැනගත්තම අනිත් අයගෙ ප්‍රතිචාර? 

මට ගායක ගායිකාවො කවුරුත් නම් කතා කළේ නෑ. හැබැයි මාධ්‍යවල ඉන්න ප්‍රධාන පුද්ගලයො ගොඩක් කතා කරලා අගය කළා. ලංකාවේ පළවෙනි වතාවට තමා මෙහෙම දෙයක් සිද්ධ වෙලා තියෙන්නෙ. ඇත්තටම මට පුදුම සතුටක් තියෙන්නෙ මේ දේ කරන්න ලැබුණු එක ගැන. 

චාමර වීරසිංහ 

එදා අපි ෂෝ එක කරන්න හිතාගෙන හිටපු විදිහට නෙවෙයි කරන්න වුණේ. ආටිස්ලා හතරදෙනාම ස්ටේජ් එකට නැගලා ප්ලේ කරන්න හිටියෙ. වැස්ස ඒකට බාධා වුණා. කැම්පස් එකේ මල්ලිලා කතා වුණේ තව මාස දෙකකින් ෂෝ එක කරන්න. රොමේෂ් කිව්වා සවුණ්ඩ් ඔක්කොම හයි කරලා තියෙන නිසා ෂෝ එක පහුවෙනිදා කරමු කියලා. අපි කට්ටියම ඉතින් කැමති වුණා.

කොහොමද ප්‍රතිචාර? 

ගොඩක් ඉහළයි. ඒ මල්ලිල මහන්සි වෙච්ච තරමට ෂෝ එක වුණා. සෙනඟ හිටියා හොඳටම. වෙන ෂෝ වල ක්‍රවුඩ් එකක් වගේ නෙවෙයි. කට්ටිය ඔක්කොම සෙට් වෙලා සින්දු කිව්වා. හොඳ චියර් එකක් තිබුණා. අනික් ෂෝවල එක කට්ටියක් විතරනෙ සෙට් වෙන්නෙ. මේකෙ එහෙම නෑ. ඔක්කොම ළමයි එකට සෙට්වෙලා සතුටු වුණා. වෙනම ගතියක් තිබුණා.

රයිනි චාරුකා

මගේ ෂෝස් ඔක්කොම හැණ්ඩ්ල් කරන්නෙ මගෙ හස්බන්ඩ්. මේකත් එහෙමයි වුණේ. එදාත් ෂෝ එකට ආරාධනා ලැබිලා  ගියා. පළවෙනි දවසෙ පැය හතරක් විතර හිටියා. වැස්ස හින්ද ෂෝ එක කරගන්න බැරි තත්ත්වයක් තිබුණේ. කැම්පස් එකේ ළමයි මගෙන් ඇහුවා හෙට එන්න පුළුවන්ද කියලා. මට ෆැමිලි එකේ පොඩි වැඩක් තිබ්බා පහුවැනිදා. මම ඒකත් පැත්තකින් දාලා පහුවෙනිදා ආවා. මොකද ඒ ළමයි ගොඩක් පව්. හුඟක් මහන්සිවෙලා ෂෝ එක ඕගනයිස් කරලා තිබුණේ. ඒ ළමයින්ගේ ලොකු සපෝට් එකක් තිබුණා. දෙවැනි දවසෙත් ටිකක් වැස්සා. හැබැයි අපි ෂෝ එක කළා.

කොහොමද ප්‍රතිචාර? 

ඇත්තටම හුඟක් හොඳයි. අපි ෂෝ එකක් කරද්දී වහිනවද නැද්ද කියන එක ප්‍රේක්ෂකයාට වැදගත් නෑනෙ. වහිද්දි අපිට හූ කියයිද සින්දු පරක්කු මොකද කියලා කෑ ගහයිද කියලා අපිට බය හිතුණා. හැබැයි එහෙම වුණේ නෑ. මේ ළමයි පුදුම සපෝටින්. අපිට ගොඩක් ආස හිතුණා. ඒ ළමයි පෆෝම් කරපු විදිහ දැක්කම. වැස්ස මැද්දේ ඒ ළමයි ඔක්කොම අපිත් එක්ක සින්දු කිව්වා. මට ඇත්තටම පෞද්ගලිකව ගොඩක් ආස හිතුණා. ඒ හිටපු පැය 4/5 පාඩු නෑ කියලා හිතුණා. ඒ වගේ දේකට සහභාගි වෙන්න ලැබිච්චි එක මට ලොකු ගෞරවයක් කියලා මට හිතුණේ. අපි කැමති හැමෝම අපිත් එක්ක සිං කරනවට. අපිට ඒ වගේ අය හම්බවෙනව ගොඩක් අඩුයි. මාත් යුනිවර්සිටි ස්ටුඩන්ට් කෙනෙක්. ඔය වගේ ෂෝ එකක් කරන්න කොහොම කට්ටක් කන්න ඕනිද කියලා මම දන්නවා. ඒගොල්ලො හරි ලස්සනට වැඩේ කළා. අපිත් ගොඩක් සතුටු වුණා.

රූනි

මට එදා 14 ෂෝ එකට එන්න කියලා ආරාධනා ලැබුණා කැම්පස් එකෙන්. මම රෑ නමයහමාර වෙද්දි ගියා. හැබැයි ෂෝ එක කරගන්න බැරිතරම් වැස්ස. ඇත්තටම මම ගොඩක් සංවේදී වුණා ඒ ළමයින්ට ෂෝ එක කරගන්න බැරි වෙච්ච එක ගැන. මොකද ඒ ගොල්ලො ගොඩක් හොඳට වැඩේ සංවිධානය කරලා තිබුණා.. ඊට පස්සෙ කට්ටිය ඔක්කොම ෂෝ එක පහුවෙනිදාට දාගෙන තිබ්බා. මට පහුවෙනිදා මෙගාස්ටාර් සෙමි ෆයිනල් එක. මම ඒත් කිව්වා හරි ඔයාලා කරගෙන යන්න මම රෑ නමයහමාර වෙද්දී එනවා කියලා. ඒ කිව්වා වගේම මම ගියා.

කොහොමද ප්‍රතිචාර? 

ගොඩක් හොඳයි. ලොකු ක්‍රවුඩ් එකක් හිටියා. මම තමා අන්තිමට සිං කළේ. මම සින්දු පහක් කිව්වා. ඒ ගොල්ලොත් ගොඩක් සතුටු වුණා. ඇත්තටම වැඩේ ලස්සනට වුණා.

ගායකයෙක් විදිහට මේ අත්දැකීම කොහොමද දැනුණේ?

මෙහෙමයි එදා ඒ වැස්ස අනපේක්ෂිත දෙයක්නෙ. ඒ ළමයින්ට කරන්න දේකුත් නෑ. ඉතින් ඒ හින්දා පහුවෙනිදා ඇවිත් ෂෝ එක කරන්න අපි කැමති වුණා. මම ඒ ළමයින්ට කිව්වා මට සල්ලි ප්‍රශ්නයක් නෑ. මම එන්නම් කියලා. ඉතින් අපි හතරදෙනාම පහුවෙනිදා සහභාගි වෙලා සින්දු කිව්වා. ඒ ගොල්ලන්ගෙ ප්‍රතිචාර හුඟක් ඉහළයි. මමත් හරිම කැමැත්තෙන් තමා ඒ ෂෝ එකට සහභාගි වුණේ.