2020 ජනවාරි 18 වන සෙනසුරාදා

දෙන්නෙක්..... ඒත් එක්කෙනෙක්

 2020 ජනවාරි 18 වන සෙනසුරාදා, ප.ව. 12:30 127

නිවුන් දිනය සමරන්නට රඟ මඬලක්

මුලින්ම ඔබ දෙපළ ආරම්භ කළ නිවුන් සංවිධානය ගැන කතා කළොත්..?
මෙම ශ්‍රී ලංකා නිවුන් සංවිධානය ආරම්භ කළේ අපි දෙන්නා එකතුවෙලයි. අධ්‍යාපන ශිෂ්‍යත්ව, නර්තන කටයුතු, ගායන වාදනවලින් සපිරුණු සංවිධානයක් විදිහට අපේ මේ නිවුන් සංවිධානය හඳුන්වන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි අපි ඉතා සතුටින් කියන දෙයක් තමයි ලෝකෙ රටවලින් නිවුන් නර්තන කණ්ඩායමක් තියෙන්නෙ අපේ රටේ මේ නිවුන් සංවිධානයට පමණයි. දක්ෂතා තියෙන ප්‍රවීණ උපදේශකයන් යටතේ පවත්වන මෙම ඉගැන්වීම් කටයුතු සියල්ලම සිදු කරනු ලබන්නේ නොමිලේ. 
 
ඔබ සංවිධානය මගින් ගිනස් ලෝක වාර්තාවක් තියන්න දැන් සියල්ල සූදානම්. අපි ඒ සම්බන්ධව කතා කළොත්..?
ඔව්.. අපේ නිවුන් සංවිධානය මගින් 2020 ජනවාරි මස විසි වැනිදා කොළඹ සුගතදාස  ගෘහස්ත ක්‍රීඩාංගණයේදී ගිනස් ලෝක වාර්තාවක් තියන්න බලාපොරොත්තු වෙනවා. ලංකාවේ විවිධ පළාත්වලින් නිවුන් බොහෝ පිරිසක් මේ වන විටත් අප හා අත්වැල් බැඳගෙන ඉන්නවා. තවමත් අප හා එක්වුණේ නැති නිවුන් පිරිසක් සිටීනම් මෙදිනට කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයට උදෑසන 9.00ට පැමිණ මෙම නිවුන් ගිනස් ලෝක වාර්තාව බිහි කරන්න අප හා අත්වැල් බැඳගන්න කියලා අප ඒ හැමදෙනාටම ආරාධනා කරනවා.
 
 
 
අද වන විට කොපමණ පිරිසක් චමලි - උපුලි හා එක්ව සිටිනවද..?
අප මේ සංවිධානය ආරම්භ කළේ 1993 වසරේදී. ඉතා කුඩා පිරිසකගෙන් ඇරඹුණු මේ ගමනට අද වනවිට විසිඅට දහසක් පමණ නිවුන් පිරිසක් එකතුවෙලා ඉන්නවා. දවසින් දවස මේ පිරිස අප හා අත්වැල් බැඳගත්තා. මෙම සංවිධානයට එක්වීමට ඇති එකම සුදුසුකම වන්නේ නිවුන් වීමම පමණයි. ඒ සඳහා කිසිම සාමාජික මුදලක් අය කරන්නෙ නැහැ. ජාති භේදයකින් තොරව සිංහල, දමිළ. බර්ගර්, මුස්ලිම් සියල්ලෝම මේ සංවිධානයට එකතුවෙලා ඉන්නවා. දිවයින පුරා විසිරුණු විශාල පිරිසක් අද වනවිට අපේ සංවිධානයේ සාමාජිකත්වය ලබාගෙන තියෙනවා. ජාතික තලය දක්වා වැඩසටහන් ගණනාවක් මේ වන විටත් ව්‍යාප්ත කරලා තියෙනවා.
 
ඒ අතරින් සුවිශේෂී අංග කිහිපයක් ගැන කිව්වොත්..?
නිවුන් සාමාජිකයන් තුන්දහසක් පමණ පිරිසක් සහභාගි කරගෙන අපි නිවුන් අවුරුදු උත්සවයක් පැවැත්වුවා. ඒක ලෝකෙ පළමු වතාවට නිවුන් පිරිසක් එක්ව කළ අවුරුදු උත්සවය ලෙස හඳුන්වන්න පුළුවන්. ඊට අමතරව අපි නිවුන් පාගමනක් පැවැත්වුවා. නිවුන් ප්‍රජාව වෙනුවෙන් අධ්‍යාපන ශිෂ්‍යත්ව පිරිනැමුවා. ඊට අමතරව නිවුන් නර්තන කණ්ඩායමක්, නිවුන් වාදක කණ්ඩායමක්, නිවුන් ගායන කණ්ඩායමක්, නිවුන් ක්‍රීඩා සංගමයක් වගේම නිවුන් චිත්‍ර සංසදයක් ආරම්භ කළා.
 
දරිද්‍රතාවයෙන් පෙළෙන අසරණ පවුල් වෙනුවෙන් ඔබ දෙපළ ඇතුළු නිවුන් සංවිධානය බොහෝ වැඩ කටයුතු සිදුකරනවා..?
ඔව්.. මීට පෙර මේ වගේ නිවුන් සංවිධානයක් ආරම්භ කරලා තිබුණෙ නැහැ. නමුත් අපි දෙන්නට මේ වෙනුවෙන් යමක් කරන්න ඕන වුණා. ඒ නිසාමයි 1993 වසරෙදී කිහිප දෙනකු එකතු කරගෙන මෙම නිවුන් සංවිධානය ආරම්භ කළේ. අද වන විට අප සංවිධානයට නිවුන්, තුන් නිවුන්, පස් නිවුන් අය පවා එකතුවෙලා තියෙනවා. මේ අයගෙන් ඇතැමුන් ඉන්නෙ ඉතා දරිද්‍රතාවයෙන්. පවුලට එකවර දරුවන් තුන්දෙනෙක් ඉපදුණා කියලා පියාගේ වැටුප තුන් ගුණයකින් වැඩිවෙන්නෙ නැහැ. නිවුන් දරැවන් එකම ආකාරයේ ඇඳුම් පැළඳුම් අඳින්න විතරක් නෙමේ සියලුම දේ එකම විදිහට කරන්න කැමතියි. බොහෝවිට ඔවුන්ගෙ රුචිකත්වය එක හා සමානයි. මෙයාලා මවගේ කුස තුළ වර්ධනය වෙන්නෙ එකම විදිහටයි. බිහිවෙන්නෙ දණගාන්නෙ වැටි වැටී නැගිටින්නෙ එකම ආකාරයටයි. නමුත් ඇතැම්විට මව්පියන්ට මේක එකවර දරාගන්න අමාරු වෙන්නත් පුළුවන්. කුඩා දරුවන්ට තම මව්පියන්ගෙ ආදායම් තත්ත්වය ගැන හරි අවබෝධයක් නැහැ. මේ නිසා මේ දරුවන්ගෙ අසරණ මව්පියන් වෙනුවෙන් යමක් කරන්න අපට අවශ්‍ය වුණා.
 
ඒ වෙනුවෙන් ඔබ සංවිධානයට උදව් උපකාර කරන පිරිසක් ඉන්නවද..?
ඔව්.. අද වනවිට අප සංවිධානයේ නිවුන් වෛද්‍යවරුන්, නිවුන් නීතිඥවරුන්, නිවුන් ව්‍යාපාරිකයන් ඇතුළු බොහෝ රැකියාවල නිරත පිරිසක් ඉන්නවා. ඇතැම්විට ඔවුන් බොහෝ වත්කම් ඇති පිරිසක් නොවෙන්න පුළුවන්. නමුත් ඒ බොහෝ පිරිසක් මේ අසරණ නිවුන් දරුවන්ට පිහිටවෙලා තියෙනවා. මේ දරුවන් නිසාම තමයි ජාත්‍යන්තර අවධානය ලබාගැනීම සඳහා ජනවාරි විසි වැනිදා උදෑසන 9.00ට ලෝක ගිනස් වාර්තාවක් වෙනුවෙන් අපි සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයට එක්රැස් වෙන්නෙ. එදිනට උප්පැන්න සහතිකේ අනුපිටපත් දෙකක් සහ ජාතික හැඳුනුම්පතේ පිටපතක් ද රැගෙන එන්න. නිවුන් දරුවන් වෙනුවෙන් උප්පැන්න සහතිකේ අනුපිටපත් දෙකට අමතරව මව්පියන්ගේ ජාතික හැඳුනුම්පතේ පිටපතක් රැගෙන එන්න. එදා ලෝකයේ වැඩිම නිවුන් පිරිසක් එකතු වුණු දවස වේවි. ඒ තුළින් ජාත්‍යන්තර වශයෙන් මේ දරුවන් වෙනුවෙන් අවධානය යොමුවේවි කියලා අපි විශ්වාස කරනවා. ඒ නිසා දිවයින පුරා විසිරී සිටින නිවුන් පිරිස සියල්ලම විසි වැනිදා අප හා අත්වැල් බැඳගන්න කියලා ඉල්ලා සිටිනවා.
 
දුරකතන - 0774158282
        0778510282
 
►Text - Dishani  /    Pic – Internet