ඔබේ ජන්ම දිනය වෙනුවෙන් අපූරු කටයුත්තක් සිදු කරන්නට සූදානම් වෙනවා කියලයි ආරංචිය..?
ඔව් මේ සිදුවීම් පෙළ සිදු කරන්නේ මගේ උපන් දිනයට සමගාමීවයි. මගේ උපන් දිනය යෙදිලා තියෙන්නේ ජනවාරි මාසේ විසිනව වැනිදායි. ඒ අනුව මේ මස විසිහය වැනිදා ඉරුදින මගේ ජීවිතේ සුවිශේෂී දිනයක් වෙනවා. විසිහය වැනිදා සවස 3ට ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේදී විශේෂ උත්සවයක් පවත්වන්නට කටයුතු යොදාගෙන තියෙනවා.
ඔබේ සංගීත දිවියට දැන් වසර කීයක් සපිරෙනවද..?
මගේ සංගීත දිවියේ සංගීතවේදියෙක් විදිහට ආරම්භ කරලා දැන් වසර හතළිස් හතරක් සපිරෙනවා. ඒ වගේම මම ගායකයෙක් බවට පත්වෙලා දැන් අවුරුදු තිස් අටක් සපිරෙනවා. මේ කාලය තුළදී විවිධාකාර වූ හැලහැප්පීම්වලට, නැගීම්, වැටීම් මෙන්ම විවිධාකාර වූ තැන්වලට මගේ ජීවිතේ ගමන් කරලා තියෙනවා. මේ සංගීත ජීවිතය තුළ මම බොහෝ අත්දැකීම් ලැබුවා. මේ කාලය තුළ ජීවිතේ බොහෝ පාඩම් ඉගෙන ගත්තා.
ඒ ජීවිත පාඩම අළලා ඔබේ ජීවිත කතාව පොතකට එකතු වුණා.. එහෙම නේද..?
ඔව්.. මගේ ජීවිත කතාව සුන්දර මියුරු සරක ආනන්දනීය චාරිකාව - කීර්ති නමින් පොතක් ලෙස මුද්‍රණය වුණා. මේ පොත ලිව්වේ උපාලි කුමාරවංශ නම් ලේඛකයායි. මේ පොත විසිහය වැනිදා තරංගනී ශාලාවේදී එළිදක්වනවා. මේ පොතේ මගේ ජනප්‍රිය ගීත තිහක් සහ එහි සංගීත ප්‍රස්තාර ඇතුළත් කරලා තියෙනවා. ඒ සංගීත ප්‍රස්තාරවලට අනුව ඒ ගීත MP3 තැටියක් ලෙස පොතත් සමඟ නොමිලේ ලබා දෙනවා.
තරංගනී ශාලාවේ එළිදැක්වීමට නියමිත DVD තැටිය පිළිබඳව යමක් සඳහන් කළොත්..?
ගිය වසරේ සැප්තැම්බර් මාසෙ නෙළුම් පොකුණ රංග ශාලාවේදී මගේ මනමාල හැන්දෑව නමින් ප්‍රසංගයක් පැවැත්වුවා. මේ ප්‍රසංගයත් ඉතා සාර්ථක වුණා. ඒක වෙනස් ආකාරයේ ප්‍රසංගයක් වුණා. මේ ප්‍රසංගයේ DVD තැටියත් විසිහය වැනිදා එළිදක්වනවා. සාමාන්‍යයෙන් මිනිස්සු DVD තැටියක තියෙන ප්‍රසංගයක් හෝ චිත්‍රපටයක් එක් වරක් දෙවරක් බලලා ඒක අයින් කරලා දානවනෙ. නිතර නිතර ඒ තැටිය බලන්නෙ නැහැ. මේ නිසාම ප්‍රසංගයේ ගීත සියල්ලම MP3 තැටියක් ලෙස මේ DVD තැටියත් සමඟ ලබා දෙනවා. මේ නිසා ඕනෑම මොහොතක නිවසේදී කාර්යාලයේදී වාහනයේදී මේ මනමාල හැන්දෑව ප්‍රසංගයේ ගීත ඇසීම කළ හැකි වෙනවා. මේ සියලුම කටයුතු සිදුවන්නේ විසිහය වැනිදා තරංගනී ශාලාවේදීයි. මනමාල හැන්දෑව සංගීත ප්‍රසංගයේ පැයක කොටසක් තරංගනී ශාලාවේ පුළුල් තිරයේදී දැකබලා ගන්න පුළුවන් වේවි.
මීට අමතරව ඔබේ උපන් දිනය දා සිදු කරනු ලබන කටයුත්ත ගැන කතා කළොත්..?
මම මීට පෙර ප්‍රාර්ථනා නමින් රුධිර පිළිකා රෝගයෙන් පෙළෙන රෝගීන්ට ඇටමිදුළු බද්ධ කිරීමේ ඒකකයක් ස්ථාපිත කිරීම සඳහා අරමුදලක් පිහිටෙව්වා. ඒ කොතලාවල ආරක්ෂක රෝහල වෙනුවෙන්. ඒ වෙනුවෙන් ඉතා විශාල මුදලක් අවශ්‍ය වෙනවා. නමුත් දැනට මම ගාව එකතුවෙලා තියෙන මුදල කඩිනමින් රෝගීන් වෙත ප්‍රතිකාර කිරීමට යෙදවීමේ අරමුණින් ඒ රුපියල් ලක්ෂ හැත්තෑ පහක මුදල මහරගම අපේක්ෂා රෝහලේ ඇටමිදුළු බද්ධ කිරීමේ ඒකකයට ප්‍රදානය කිරීමට බලාපොරොත්තු වෙනවා. එම කටයුතු සිදුවන්නේ මේ මාසෙ විසිනව වැනිදා බදාදා උදෑසන 9.30ට මහරගම අපේක්ෂා රෝහලේදීයි. ඒ සඳහා කොතලාවල ආරක්ෂක රෝහලේ බලධාරීන් සහ වෛද්‍යවරැන්ගේ ආශිර්වාදය හිමිවෙනවා. ඒ රෝහල වෙනුවෙන් එකතු කළ මේ මුදල අපේක්ෂා රෝහලට ප්‍රදානය කිරීමෙන් දැනට ක්‍රියාත්මක වෙන ඇටමිදුළු බද්ධ කිරීමේ ඒකකයට මාස දෙකක් ඇතුළත නව අංගසම්පූර්ණ කාමර හතරක් රෝගීන් වෙනුවෙන් ඉදිකරවන්නට හැකියාව ලැබෙනවා. ඒ නිසා මේ එකතු වුණු මුදල එදිනට අපේක්ෂා රෝහලට පරිත්‍යාග කරනවා.
මීට අමතරව එදින තවත් සොඳුරු දවසක් කිරීමටත් සූදානම් වෙනවා නේද..?
ඔව්.. මේ රෝහලේ ගීත ගායනයට ඉතා දක්ෂ රෝගීන් ප්‍රතිකාර ලබනවා. මේ රෝගීන්ව හඳුනාගෙන ඒ රෝගීන් එකතු කරගෙන එම රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන් උදෙසා ඔවුන්ගේ මානසික සුවය පතා සංගීතමය හෝරා කිහිපයක් අපේක්ෂා රෝහලේදී අපි ගත කරන්න බලාපොරොත්තු වෙනවා.
► Text - Dishani / Pic – Internet