2020 ජනවාරි 18 වන සෙනසුරාදා

මඟුල් පහක් කාලයි මම නංගිව අරන් ආවේ

 2020 ජනවාරි 18 වන සෙනසුරාදා, ප.ව. 12:31 1924

ලලිත්.. ඔයාට මුලින්ම මදූෂාව මුණගැහුණෙ කොහොමද..?
ඇත්තම කිව්වොත් මට නංගිව (තාමත් ලලිත් මදූෂාට කියන්නෙ නංගි කියලයි. මදූෂාත් ලලිත්ට කියන්නෙ අයියා කියලයි. ඉතින් අපිත් ඒ විදිහටම කියන්නම්) මුලින්ම මුණගැහුණෙ අන්තර්ජාලයෙන්. මුලින්ම ඉන්ස්ටර්ග්‍රෑම් එකෙන් හමුවෙලා මම නංගිට මැසේජ් කළා. ඉතින්.. මෙහෙම තමයි නංගිව මට මුලින්ම මුණගැහුණෙ.

මදූෂාට හිත යන්න තිබුණු සුවිශේෂීකම මොකක්ද..?
කාලයක ඉඳන් මගේ හිතේ තිබුණු හීනයක් තමයි කවදාහරි දවසක පිටරට ඉන්න ගැහැනු ළමයෙක්ට ආදරේ කරනවා කියලා. නංගි ඉතාලියේ පදිංචිවෙලා හිටියට මම හොයපු අහිංසකම, ඒ කොණ්ඩය එයාට තිබුණා. මොකක්දෝ හුරුපුරුදු ගතියක් මම එයාගෙන් දැක්කා. මම හිතන විදිහට ආදරයට කාලයක් අවශ්‍ය වෙන්නෙ නැහැ. නංගි එක්ක කතා කරලා ටික කාලයකින්ම එයාට මම මගේ යෝජනාව ගෙනාවා.

එයා එකපාරටම ඒ යෝජනාවට කැමැත්ත දුන්නද..?
නැහැ. මදූෂා මට එකපාරටම කැමැත්ත පෙන්නුවෙ නැහැ. එයා කිව්වෙ මුලින්ම එයාගේ අම්මලාගෙන් අහන්න කියලයි.
ඔන්න ඔහොම ලලිත් එයාගෙ ආදර කතාව කියන්න පටන් ගනිද්දී මෙච්චර වෙලාවක් නිහඬව අපේ කතාවට ඇහුම්කන් දීගෙන හිටපු මදූෂා එක්කත් කතා කරන්න අපි අමතක කළේ නැහැ.

මදූෂා.. ලලිත් ඔයා එක්ක මුලින්ම කතා කරද්දී මොකද හිතුණෙ..?
ඇත්තටම අයියා මාත් එක්ක කතා කරද්දී මම Super Dancer වැඩසටහන බලලා තිබුණෙ නැහැ. ඒ කාලෙදී මම එහෙම ලංකාවෙ වැඩසටහන් බලන්නෙ නැහැ. හැබැයි මගේ අම්මානම් ඒ වැඩසටහන හරිම ආසාවෙන් බලලා තිබුණා. ඉතින්.. ඉන්ස්ටර්ග්‍රෑම් එකෙන් අයියා මාත් එක්ක කතා කරද්දීවත් මෙයාව මම හඳුනාගෙන හිටියෙ නැහැ. හැබැයි එයා ගොඩක් හොඳ කෙනෙක් කියලා මට තේරුණා. මගෙන් ඇහුවට පස්සෙ මම කිව්වෙ අම්මගෙන් අහන්න කියලයි. අයියා වුණත් මට කිව්වෙ මම කැමතිනම් අයියා මගේ අම්මලාගෙන් අහන්නම් කියලයි. ඉතින්.. එයා ඒ කිව්වා විදිහටම අපේ අම්මලාගෙන් ඇහුවා.

ලලිත්.. එයාගෙ මව්පියන් මොකක්ද කිව්වෙ..?
මම ඒ අම්මලාගෙන් ඇහුවෙ ලංකාවෙ ඉඳලා ෆෝන් එකෙන්. මුලදී නංගි එක්ක වුණත් මම කතා කළේ වීඩියෝ කෝල්වලින්. මුල් දවස්වල මෙයා වීඩියෝ කෝල් ගනිද්දී ආන්සර් කළෙත් නැහැ. වැඩසටහනේ ඉන්නෙ මමයි කියලා දැනගන්නවත් වීඩියෝ කෝල් එකකට ආන්සර් කරන්න කියලා මමමයි එයාට කිව්වෙ. මම වැරදි කරලත් නැහැ. මම නංගිට ඇත්තටමයි ආදරේ කළේ. ඒ නිසාම මෙයා මට අම්මලාගෙන් අහන්න කියලා කිව්වාම මම කෝල් කරලා මෙයාගේ අම්මගෙන් ඇහුවා. ටික වෙලාවක් මාත් එක්ක කතා කරපු අම්මා තාත්තටත් කියන්න ඕනෙ කියලා කිව්වා. ප්‍රශ්නයක් නැහැ. තාත්තටත් කියන්න කියලා මම කිව්වා. ඊටපස්සෙ තාත්තා එක්කත් පැය දෙකක් විතර මම කතා කළා. මම ගැන හැමදෙයක්ම තාත්තට කිව්වා. ඉතාලියට එන්න පුළුවන්ද? කියලා තාත්තා මගෙන් ඇහුවා. ප්‍රශ්නයක් නැහැ. මම එන්නම් කියලා මම ඉතාලියට යන්නත් කැමති වුණා


ලලිත් ඉතාලියටත් ගියා එහෙනම්..?
ඔව්.. ඒ වෙද්දී මම රටවල් කිහිපයකටම ගිහින් තිබුණත් ඉතාලියටනම් ගිහින් තිබුණෙ නැහැ. ඉතින්.. මම නංගිව බලන්න ඉතාලියටත් ගියා. ඊට කලින් වීඩියෝ කෝල්වලින් නංගිව දැකලා තිබුණට මම මුලින්ම නංගිව හැබැහින් දැක්කෙ ඉතාලියේ ගුවන් තොටුපොළේදීයි. එදා මාව එයාර්පෝට් එකෙන් ගන්න ඇවිත් හිටියෙ නංගියි එයාගෙ තාත්තයි. මට තාම මතකයි එදා නංගි පොඩි බට්ටෙක් වගේ නිල් පාට ඩෙනිමකුයි ජර්සියකුයි ඇඳගෙන හිටියා. ඒ කාලෙ ඉතාලියට හොඳටම සීතලයි. මම හිතපු මම ආදරය කරපු ඒ රූපය එදා එයාර්පෝට් එකේදි මම දැක්කා. 

ලලිත්ව මුලින්ම දකිද්දී මදූෂාට මොකක්ද හිතුණෙ..?
ඇත්තටම ගෙදරින් එයාර්පෝට් එකට යද්දීත්, එයාර්පෝට් එකේදීත් මම බයෙන් හිටියෙ. මම මෙයාව දැකලවත් තිබුණෙ නැහැ. හැබැයි හැබැහින් දකිද්දී අයියා හරි ලස්සන හිනාවකින් අපි ඉස්සරහට ආවා. එයා හරිම සුහදව මාත් එක්ක, මගේ තාත්තා එක්ක කතා කළා.

ලලිත්.. ගෙදර ගියාට පස්සෙ අම්මා තාත්තගෙන් අවසර ලැබුණා. එහෙම නේද..?
ඔව්.. කොහොමත් මම විවෘතව කතා කරන කෙනෙක්. මම පුංචි කාලේ කපුරැ බෝල විකුණපු දවසේ ඉඳලා අද වෙනතුරු ජීවිතය ගලාගෙන ගිය හැටි ඒ අම්මාටයි තාත්තටයි කිව්වා. මට හංගන්න තරම් බොරුවක් මගේ ජීවිතේ තිබුණෙ නැහැ. ඒ මව්පියො එක්ක මගේ අම්මා තාත්තා කතා කරනවට වඩා මගේ අයියා තමයි මුල ඉඳන්ම එයාලා එක්ක මම සම්බන්ධව කතා කළේ. මගේ අයියයි මම සම්බන්ධව ලොකු වගකීමක් ගත්තෙ. ඉතින් මමත් ඉතාලියට ගිහින් මම ගැන, මගේ ජීවිතය ගැන කිසිම දෙයක් හංගන්නෙ නැතිව ඒ දෙන්නා එක්ක කතා කළා. මගේ කතාව ඒ අම්මයි තාත්තයි ගොඩක් හොඳින් අහගෙන හිටියා. මම ලොකු සල්ලිකාර කොල්ලෙක් නෙමෙයි. මම දුප්පත් තැන ඉඳන් බොහොම අමාරැවෙන් කාටවත් කරදරයක් නැතිව මේ ගමන ආපු කෙනෙක්. හැබැයි ඒ අම්මයි තාත්තයි නංගිව බලාගත්ත විදිහටම ආදරෙන් මටත් එයාව බලාගන්න පුළුවන් කියන විශ්වාසය මම ළඟ එදත් තිබ්බා. අදත් තියෙනවා. ඒ විශ්වාසය හෙටත් තියේවි. නංගිට ආදරේ නිසාම තමයි මම ඒ මව්පියන්ව මුණගැහෙන්න ඒ රටට ගියේ. ඒ නිසාම මාව හොඳින් තේරැම් ගත්ත ඒ අම්මයි තාත්තයි මට නංගිව දෙන්න කැමැත්ත දුන්නා. ඒ දෙන්නගේ ආශිර්වාදය අපි දෙන්නටම ලැබුණා. මම දවස් දාහතරක් ඉතාලියේ හිටියා. ඒක අපූරු කාලයක්. අපි හරිම සතුටින් ඒ කාලය ගත කළා. ජීවිතේ මුල්ම වතාවට මට නංගිව මුණගැහුණු ඒ ඉතාලි ගමන හරිම සුන්දරයි.

මදූෂා.. දුරකතනයෙන් කතා කරනවාට වඩා මුණගැහුණු ලලිත් මොනවගේ කෙනෙක්ද..?
එහෙම ලොකු වෙනසක් මම දැක්කෙ නැහැ. කොහොමත් අයියා ඉතාලි එන්නත් කලින්ම මට හැමදේම කියලයි තිබුණෙ. පළවැනි පාරට කතා කරපු දා ඉඳලා එයා හරිම විවෘතව මට හැමදේම කිව්වා. එයා කැමති දේවල් වගේම අකමැති දේවල් පවා එයා මට කිව්වා. ඉතින් ඒ දේවලුත් එක්ක මම හිතාගෙන හිටපු කෙනාම තමයි ඉතාලියටත් ආවෙ. එයා ගොඩක් හොඳ කෙනෙක්.

මදූෂා ඉපදුණෙත් ඉතාලියෙම කියලයි ආරංචිය..?
ඔව්.. මම ඉපදුණේ ඉතාලියේ. ඒ නිසා මම ඉගෙන ගත්තෙ, හැදුණෙ වැඩුණෙ ඉතාලියෙමයි. මම පවුලේ වැඩිමලා. මට තව නංගි කෙනෙක් ඉන්නවා. ඉතාලියෙ මායි තාත්තයි අම්මයි නංගියි තමයි හිටියෙ. විවාහ වුණාට පස්සෙ මම ලංකාවට ආවා. අපේ වෙඩින් එකට පවුලේ හැමෝම ලංකාවට ආවා. අපේ නෑදෑයෝ ලංකාවෙ ඉන්නවා. ඉතින් අපි මීට කලිනුත් නිවාඩු කාලෙදී ලංකාවට වරින් වර ඇවිත් ගියා. දැන් ඉන්නෙ ලංකාවෙ. කොහොමත් ඉතාලියේ ඉඳිද්දී ලංකාවට එන්න මගේ ලොකු ආසාවක් ඇතිවුණා. එහෙම හිතුවට මෙහෙම විවාහවෙලා ලංකාවෙ පදිංචි වෙන්න පුළුවන් වෙයි කියලනම් හිතුවෙ නැහැ. ඒත් මට බොහෝ දේවල් තාමත් හුරු නැහැ. හැබැයි හෙමි හෙමිහිට මම ඒ දේවල් පුරුදු වෙනවා.

මව්පියන්ගේ ආශිර්වාදය ලැබිලා පොඩි කාලසීමාවකින්ම ඉක්මනට විවාහ උත්සවයක් ගන්න හිතුණෙ ඇයි..? ඒකත් දින පහක උත්සවයක්..?
විවාහ වෙන්න මේ හොඳම කාලය කියලා හිතුණා. නංගිත් ඒකට කැමති වුණා. මට මගේ ජීවිතේ සිහින තියෙනවා. ඒ දේවල් මම මගේ ළඟම අයට පවා කියලා තියෙනවා. නංගිට ලොකු දැනුමක් තියෙනවා. මගේ වැඩවලට ඒ රටේ ඉඳන් නංගි මට උදව් කළා. මට නංගිව බලාගන්න පුළුවන් කියන විශ්වාසය මම ළඟ තියෙනවා. මගේ වෙඩින් එකට බොහෝ දෙනා අනුග්‍රාහකත්වය ලබා දුන්නා. මට ඕන වුණේ ටිකක් වෙනස් විදිහේ උත්සවයක් ගන්න. අන්තිම දවසේ මම පැදුරු පාටියක් දැම්මා. ගමේ මම ඒ කාලේ වැලි ගොඩදාපු මනුස්සයගේ ඉඳලා ඉහළම රැකියාවක් කරන කෙනා දක්වා මගේ වෙඩින් එක කිව්වා. තුන්වැනි දවසේ මට මගේ හැම ගෝලයෙක්ටම එන්න කියලා විවෘත ආරාධනාවක් කරලා උත්සවයක් ගත්තා. ඒ උත්සවයට මම කාටවත් කාඩ් දුන්නෙ නැහැ. මගේ ගෙදර උත්සවයටත් මම කාඩ් බෙදුවෙ නැහැ. ගමේ හැමෝටම එදාට එන්න කිව්වා. ඒ හැමෝම එදා ගොඩක් සතුටු වුණා.

මදූෂා.. වෙඩින් එකට ගෙදර කට්ටියම ආවා..?
ඔව්.. වෙඩින් එකට කට්ටියම ආවා. හැබැයි ඒ අයට ගොඩක් කාලයක් ලංකාවෙ ඉන්න බැහැ. ඒ අය ආයෙත් ඉතාලියට ගියා. පුංචි කාලේ ඉඳන්ම මම හිටියෙ මගේ අම්මයි තාත්තයි නංගියි එක්ක. ඒ තුන්දෙනා එක්ක ඉඳලා ඒ තුන්දෙනා මාව ලංකාවෙ තියලා ආයේ ඉතාලියටම යද්දී ගොඩක් දුක හිතුණා. හැබැයි අයියා මට ඒ දුක දැනෙන්න තිබ්බෙ නැහැ. අයියා ඉන්න නිසා මට පාළු නැහැ. අදටත් මම අම්මා තාත්තා නංගි එක්ක හැමදාම කතා කරනවා. මට අයියාව විශ්වාසයි. ඒ ආදරය මට විශ්වාසයි.

විවාහ වුණාට පස්සෙ දෙන්නා වෙනම පදිංචි වුණා..?
ඔව්.. නංගිගේ තාත්තගෙන් අපිට ගෙයක් ලැබුණා. දැන් අපි ඉන්නෙ පාදුක්කෙ ගලගෙදරයි. නංගිට තවම එච්චර ලංකාවෙ කෑම උයන්න අමාරැයි. ඒක මට ප්‍රශ්නයක් නෙමෙයි. එයා හෙමිහිට ඒ හැමදේම ඉගෙන ගනීවි. අපේ ගෙදර අපේ ගෝලයො කිහිප දෙනෙක් හැමවෙලේම ඉන්නවා. ඒ නිසා නංගිට පාළුවක් නැහැ. අපේ අම්මා තාත්තා, නංගිගේ ආච්චිලා අපේ ගෙදර නිතර නිතර එනවා. ඒ නිසා පාළුවක් දැනෙන්නෙ නැහැ.

මදූෂාට නටන්න පුළුවන්ද..?
මම සාම්ප්‍රදායික නර්තනය ඉගෙන ගත්තා. කලඑළි දැක්මකුත් කළා.

ඒ කියන්නෙ නර්තනයෙදීත් ලලිත්ට හොඳ සහකාරියක් ලැබිලා වගෙයි..?
නැහැ. නංගි එහෙම නර්තනයනම් කරන්නෙ නැහැ. ඩාන්සින් ෂෝ එකක් කරලා ගෙදර එද්දී දෙන්නම මහන්සිවෙලා ඉඳිද්දී ඒක පවුල් ජීවිතේට ලොකු බාධාවක් වෙයි කියලා මම හිතනවා. ඒක මගේ අදහසක් විතරයි. කොහොමත් නංගිට මම රස්සාවක් කරන්න දෙන්නෙ නැහැ. එයා ගොඩක් බුද්ධිමත් කෙනෙක්. භාෂා කිහිපයක්ම එයාට පුළුවන්. නමුත් එයා රැකියාවක් කරන්නෙ නැහැ. හැබැයි මගේ වැඩවලට පුළුවන් උපරිමයෙන් සහයෝගය ලැබේවි.

අද ගෙවන ජීවිතේ ගැන මොකද හිතන්නෙ..?
ඇත්තටම මගේ ජීවිතේ ගැන මම සතුටු වෙනවා. පුංචි කාලේ මම පට්ට දුකක් විඳපු කොල්ලෙක්. ඒ දුක් විඳපු කෙනා අද ඉන්න තැන ගැන ගොඩක් සතුටුයි. නංගි ජීවිතේට ළංවෙලා ඒ සතුට තවත් වැඩි කළා.

 

► Text - Dishani   /  Pic – Sumudu