අද කියන්න හදන සිද්ධිය වෙන්නේ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මණ්ත‍්‍රණ ශාලා පරිශ‍්‍රයේ. මෙතන එක එක විදිහේ ටෙන්ට් ගහලා තියෙනවා. නානාප‍්‍රකාර විලාසිතාවලින් සැරසුණු වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවන් මෙතන කඩි ගුලක් ඇවිස්සිලා වගේ තම තමන්ට නියමිතව තියෙන රාජකාරීන්වල නිරතවෙලයි ඉන්නේ. කට්ටියම සූදානම් වෙන්නේ වෛද්‍ය විද්‍යාව ගැන පැවැත්වෙන ප‍්‍රදර්ශනයකටයි. ඔන්න එක පාරටම මොර සූරන වැස්සක් කඩා වැටෙනවා. හැමෝම නොතෙමී ඉන්න තැනක් හොයාගන්න එහේ මෙහේ දුවනවා. ඒ අතරේ සුන්දර සිනාවකින් මුව සරසාගත්ත හැඩකාර කෙල්ලෙක් තමන්ගෙ යාළුවො කට්ටියක් එක්ක ටෙන්ට් එකක් යටට දුවනවා. වැඩි වෙලාවක් ඔවුන්ට ටෙන්ට් එක යට ගිහින් ඉන්න වුණේ නැහැ. ටෙනට් එක කඩා වැටෙනවා. වැස්සෙන් බේරෙන්න මෙතන හිටිය සැවොම හිස් ලූලූ අත දුවනවා. ඒත් එක කෙල්ලෙක්ට විතරක් ටෙන්ට් එකෙන් එළියට එන්න වෙන්නේ නැහැ. හිත් පිත් නැති යකඩ බාර් එකක් ඇවිත් එයාගේ හිසේ වදිනවා.
මොහොතකට හැමදේම නිහඬ වෙනවා. වැඩි වෙලා ගියේ නැහැ. ඇම්බියුලන්ස් හඬ කන් කීරි ගස්සවගෙන විදුලි වේගෙන් මෙතනට ආවා. අනතුරට පත්වූ ඇය රෝහලට ගෙනියනවා. දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබන ඇයට ටික දිනක් ගියාට පස්සේ සිහිය එනවා. ඒත් එහේ මෙහේ දුව පැන ඇවිද්ද ඇයට අැගේ ඉනෙන් පහල සොලවා ගන්නත් අපහසුයි.
ඒ කතාව මීට අවුරුදු ගාණකට කලින් සිදුවුණු එකක්. අවුරුදු කිහිපයකට කලින් වුණු මේ සිදුවීම ගැන නොදන්න කෙනෙක් මේ ශ්‍රී ලංකාද්වීපයේ ඉන්න විදිහක් නැහැ. මොකද මේ සිදුවීම ගැන මාධ්‍ය ආයතන හැම එකක්ම වගේ වාර්තා කළා. ඉතින් මේ කතාවේ කතා නායිකාව වෛද්‍ය සමිතා සමන්මලී තමයි අද Yes I can විෂේෂාංගයට එකමුතු කරගත්තේ. අපි ඔබගේ කුඩා කාලයේ ඉඳන් කතාව ආරම්භ කරමු.
මගේ පවුලේ ඉන්න මමයි අක්කයි අම්මයි තාත්තයි. තාත්තානම් දැනට ජීවතුන් අතර නැහැ. එකම අක්කත් විවාහකයි. එයයි එයාගේ සැමියයි බබලායි එක්ක තමයි මම දැනට ජීවත් වෙන්නේ. මේ අපේ ගම. පිලියන්දල මකුළුදූව තමයි අපේ ගම. මම කුඩා කාලයේ පාසැල් ගියේ මකුළුදූව කණිෂ්ඨ විද්‍යාලයට. ශිෂ්‍යත්වය සමත් වෙලා මම කොළඹ ගෝතමී බාලිකාවට ගියේ. අපේ තාත්තා නැතිවෙනකොට මට අවුරුදු 12යි. තාත්තා මැදපෙරදිග තමයි රුකියාව කළේ. අක්කා මට වඩා අවුරුදු 10ක් වැඩිමල්. අපේ අම්මා නිතරම කිව්වේ හොඳට ඉගෙනගන්න කියලා. මොකද ආර්ථික ප‍්‍රශ්නවලින් ගැලවෙන්න තියෙන එකම ක‍්‍රමය ඉගෙනගන්න එක කියලයි අපේ අම්මා අපිට නිතරම කිව්වේ. ඉතින් මම ඒලේවල් හොඳට සමත්වෙලා 2004 දී කොළඹ වෛද්‍ය පීඨයට තේරුණා. තුන්වැනි අවුරුද්දේදී තමයි ඔයා ඔය කලින් කිව්ව අනතුරට ලක්වුණේ. මගේ උපන්දිනය තියෙන්නේ පෙබරවාරි 16 වැනිදා. ඔය සිද්ධිය වුණේ පෙබරවාරි 15. මගේ වාසනාවට මොළයට අනතුරක් වුණේ නැහැ. මාස 06ක් මම හොස්පිටල් එකේ හිටියා. මාව සනීප කරන්න බැරි නිසා මට රෝදපුටුවකට හුරුවෙන්න ඕන කිව්වා. වැඩිදුර ප‍්‍රතිකාර ගන්න චීනයටත්, සිංගප්පූරැවටත් ගියා. සනීප වෙයි කියලා මට බලාපොරොත්තුවක් තිබුණා. මම කවදාවත් කිසිම වෙලාවක මගේ බලාපොරොත්තු අත්හැරියේ නැහැ.
ප‍්‍රාතිහාර්යයක් වෙලා හරි මම සනීපවෙයි කියලා මම විශ්වාස කළා. කාලය ගතවෙද්දී මම මගේ හිත හදා ගත්තා. එකට මා එක්ක හිටිය මගේ යාළුවෝ හැමෝම සහායක් වුණා. මම මට වුණු අනතුර මගේ ජීවිතයට බාර ගෙන ජීවිතේට මුහුණ දෙන්න තීරණය කළා. විශේෂයෙන් කියන්න ඕන ප‍්‍රභාත් යාපා මූලිකත්වය ගත්තා. එයාට සංජය, නදී සහ අනෙක් හැම යාළුවෙක්ම සහාය දුන්නා. මේ වෙද්දී ඒ යාළුවෝ ගොඩාක් දෙනෙක් ලංකාවේ නැහැ. වෛද්‍ය උපාධිය කරනවද නැද්ද කියලා මට තීරණය කරන්න වුණා. යාළුවෝ හැමෝම මාව මෝටිවේට් (අභිපේ‍්‍රරණය) කළා. මට යාළුවෝ වගේම කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයෙනුත් වෛද්‍ය උපාධිය කරන්න ලොකු සහායක් දුන්නා. මම 2011 වසරේදී වෛද්‍ය උපාධිය සම්පූර්ණ කළා වීල්චෙයාර් එකට හුරුවෙලා. මගේ යාළුවෝ මම වෛද්‍ය උපධිය කරනකම් මාත් එක්ක මට හයියක් වෙලා හිටියා. දැන්නම් එයලා විවාහ වෙලා බබාලා ඉන්නවා. දැන් නම් ඉතින් අපි ඉඳහිටලා තමයි කතා බහ කරන්නෙත්. ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ වැඩවලට මම මගේ වැඩවලටත් කාර්යබහුල වෙලා.
විශ්ව විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු කරන සමයේ ආර්ථික දුෂ්කරතාවයන්ටත් ඔබ මුහුණ දුන්නා කියලා දැනගන්න ලැබුණා..
ඔව්. එහෙම වුණා. අක්කගෙන් සල්ලි ඉල්ලන්නත් බැහැනේ. එයා එතකොට ඉගෙනගෙන අවසන් වෙලා විවාහ වෙලා හිටියේ. එයාලටත් ආර්ථික ප‍්‍රශ්න තියෙනවනේ. මට මහපොළ ශිෂ්‍යත්වය හිමිවුණා. මම කැම්පස් එකේ ඉද්දී ඉගෙනගන්න උදවු ගන්න ක‍්‍රමයක් හොය හොයා හිටියා. අන්න ඒ අතරේදී තමයි මම දැනගත්තේ කොලොන්නාවේ නන්දරතන හිමියන් දෙන ශිෂ්‍යත්ව ප‍්‍රදානයන් ගැන. උන්වහන්සේ උන්වහන්සේගේ දායක දායිකාවන් එකතු කරගෙන විශ්ව විද්‍යාලයේ ඉගෙනගන්න අයට ශිෂ්‍යත්ව වැඩසටහනක් සිදුකරනවා. ඒ ගැන දැනගෙන මමත් ඇප්ලයි කළා. මට ඒ ශිෂ්‍යත්වයත් හමුවුණා.
තරුණ කාලෙනේ. ඉතින් ඒ කාලේ පේ‍්‍රම සම්බන්ධතාවක් එහෙම තිබුණද? තිබුණනම් එදා හිටිය ඔහු අද ඔබගේ ගාව ඉන්නවද?
මම පාසැල් යන කාලෙවත් විශ්ව විද්‍යාලය තුළවත් අනවශ්‍ය දේට කාලය යොමු කළේ නැහැ. අපි ඉගෙනගන්න කාල සීමාව තුළ ඉගෙනගන්න ඕන. නිසි වෙලාවට නිසි දේ කරන්න ඕන කියන එකයි මම දරන මතය. ඉගෙනගන්න කාලෙදි හිතන්න ඕන ඉගෙනගන්න දේ ගැන විතරයි.
අනතුර සිදුවෙලා සිහිය ආව වෙලාවේ මොනවද හිතුණේ?
මට ඒ ටෙන්ට් එක කඩාගෙන වැටෙනවා මතක නැහැ. මම එළියට දිව්වා කියලා යළුවෝ කිව්වා. මම එළියට දිව්වත් එළියට එන්න කලින්ම බාර් එකක් ඇවිත් මගෙ ඔළුවෙ වැදිලා මට සිහිය නැති වෙලා තියෙනවා. මට මතක අයි.සී.යූ. එකේ ඉන්නවා විතරයි. මට දැනුණා මගේ කකුල් දෙක පණ නැහැ වගේ. ඒත් මාව බලන්න එන යාළුවෝ හැමෝම කිව්වේ මාසයක් දෙකක් යනකොට සනීප වෙයි කියලයි. මාස දෙකකට පස්සේ තමයි මගේ ඉනෙන් පහළ පණ නැති නිසා මට වීල් චෙයාර් එකකට හුරුවෙන්න වෙනවා කියලා ඩොක්ටර් කිව්වේ. එදා ඉතින් අක්කයි මමයි අම්මයි තුන්දෙනාම ඇඬුවා නොසෑහෙන්න. මේ වෙලාවේ මේ තත්ත්වයෙන් හෝ මගේ ජීවිතය බේරලා දුන්නේ ඩොක්ටර් නරේන්ද්‍ර පින්ටො ඒවගේම ඩොක්ටර් ලලිත් විජේතුංග සහ මගේ සර්ජරි එක කළ හිමේෂ් ගුණරත්න. ඒ සර්ලට ජීවිතේ හැමදාම මට ස්තූති කරනවා.
වෛද්‍ය විද්‍යාවට කරන්න නොහැකි දේවල් මහා ශක්තීන් තියෙන මිනිස්සුන්ට කරන්න පුළුවන් කියලා අපේ රටේ අය විශ්වාස කරනවනේ. ඔබට ඒ ගැන මොනවද කියන්න තියෙන්නේ?
අනතුර වෙන්න කලින් වෛද්‍ය විද්‍යාව ඉගෙන ගත්ත නිසාද කොහේද ඔය වගේ දෙවල් විශ්වාස කළේ නැහැ. ඒත් ඔයා දන්නවද මම අනතුර වුණාට පස්සේ සුපර් නැචුරල් පවර් තියෙන මිනිස්සු ඉන්නවා කියලා දැනගත්ත ගමන් ඒ අය හොයාගෙන ඒ අය ගාවටත් ගියා. ඒ වෙලාවේ හිටිය තත්ත්වය උඩ එහෙම දේකින් හරි මට සුවයක් සහනයක් ලැබෙයි කියලා බලාපොරොත්තුවක් තිබුණා. ඒත් එහෙම මම වගේ ආබාධයට ලක්වුණු අය සනීප කරවන්න පුළුවන් මහා බලසම්පන්න අය මටනම් හමුවුණේ නැහැ. හමුවෙන එකකුත් නැහැ. මම එහෙම කරන්න පුළුවන් අය ඉන්නවා කියලා විශ්වාස කරන්නෙත් නැහැ.
► Text — Chandana Waravitage