2020 ජනවාරි 25 වන සෙනසුරාදා

මාළු - බෝල්ලො, සාලයෝ

 2020 ජනවාරි 25 වන සෙනසුරාදා, ප.ව. 12:30 106

තරුණ කලා ශිල්පියෙක් එදා ෂූටින් ගිහින් නැහැ. තද උණකින් පෙළෙන බව අධ්‍යක්ෂකට කල් ඇතුව පණිවිඩයක් යවලා.
ඒත් ඔහු එදා යාළුවො කට්ටියක් එක්ක ගමනක් යන්න කලින්ම සැලසුම් කරලයි තිබුණෙ. දොස්තර මට කියලා තියෙන්නෙ දවස් දෙකක් ඇඳෙන්වත් බහින්න එපා කියලා, ඔහු අධ්‍යක්ෂකට කියලා තිබ්බෙ එහෙමයි.

එත් එදා ඔහු ගෙදරින් එළියට බැස්සා විතරයි, අධ්‍යක්ෂකගෙන් ඔහුට කෝල් එකක් ඇවිත්. කරකියාගන්න බැරුව ඔහු ළඟපාතක තිබුණු අතුරු පාරකට ගිහින් අතින් දුරකතනය වහලා කතා කළේ ‍ගෙදර ඉන්න බව අඟවන්නටයි.
ඒත් එක්කම සිදුවුණේ අනපේක්ෂිත සිද්ධියක්. ඔහු කතා කරමින් සිටි අතුරුපාරට මාළු වෙළෙන්ඳෙක් බයිසිකලෙන් පැමිණියේ මාළු - බෝල්ලො, සාලයෝ, කෙලවල්ලෝ කියමින්.
අධ්‍යක්ෂකවරයා දුරකතන ඇමතුම එසැණින් විසන්ධි කළා.

 

ඇඳගෙනද හිටියේ?

එක්තරා නවක කලා ශිල්පිනියකට පුවත්පතක ඇය පිළිබඳ ලිපියක් පළකර ගැනීමට වුවමනා වුණා.

හිතවත් මාධ්‍ය මිතුරකුට කතා කරලා ඇගේ සම්මුඛ සාකච්ඡාවක් දුරකතනයෙන්ම කරගත්තලු.
ඒත් පුවත්පතේ ආටිකල් එකට ඇගේ පින්තූරයක් ලබාගැනීම ප්‍රශ්නයක් වුණාලු.

ආවට ගියාට පින්තූර අරන් පත්තරේ දාන්න බැහැනෙ. මම හෙට යනවා යාළුවකුගෙ උත්සවයකට. මම අඳින සැලොන් එකට ඡායාරූප ශිල්පියෙක් එවන්න, පින්තූර දෙක තුනක් අරගන්න පුළුවන්, ඇය මාධ්‍ය හිතවතාට යෝජනා කළා.
දැන් අර මාධ්‍යවේදියා ඡායාරූප ශිල්පියාව ඒ උත්සවයට යවන්න කටයුතු කළා. 

මම ඉන්ටවිව් එක කළා. හෙට එයා හොඳට ඇඳගෙන එන නිසා එතනට ගිහින් පින්තූර දෙක තුනක් ගහගෙන එන්න, ඔහු ඡායාරූප ශිල්පියාට කිව්වලු.

ඉන්ටවිව් කරද්දී එයා ඇඳගෙනද හිටියෙ? ඡායාරූප ශිල්පියා ගත්කටටම ඇහුවලු.

 

නින්ද යන්නේ නැතෝ

ෂූටින් ඉවරවෙලා බොහෝ වෙලාවට කලා ශිල්පීන් ගෙදර එන්නෙ ගොඩක් රැවෙලා, නැත්නම් හිමිදිරි පාන්දර.
ඔය එන අතරතුර කලා ශිල්පීන් ශිල්පිනියන් තම තමන්ගෙ ගෙවල් ළඟට එනකම්ම කට කපලා නිදාගන්නවා.

ඒත් සමහර අයටනම් ඔහොම වාහනවල යන එනකොට මළාට නින්ද යන්නෙ නැහැලු.

ඔන්න එහෙම ශිල්පියෙක් ළඟදී ෂූටින් ඉවරවෙලා කොළඹ එන වෑන් එකක හිටියලු.
ඇයි ඔයාට වාහනවල යද්දී නින්ද යන්නෙම නැද්ද? සඟයෝ ඔහුගෙන් ඇහුවලු.

බස්වල, වෑන්වල තියා මට ප්ලේන්වලවත් නින්ද යන්නෙ නැහැනෙ. මොකද අපේ ඇස් පොඩ්ඩක් හරි පියවුණු ගමන් ඒවා එළවන කට්ටිය අපිව කොහෙ ගෙනියයිද දන්නෙ නැහැනෙ, ඒ ශිල්පියා කිව්වලු.

 

► Text - Mithra