2020 ජනවාරි 25 වන සෙනසුරාදා

හඳහනේ මොනවද තියෙන්නේ

 2020 ජනවාරි 25 වන සෙනසුරාදා, ප.ව. 12:31 273

රටේ ජනප්‍රිය චරිතයක් වෙනවා කීවා...

නිලන්ති ඩයස්

ඇත්තම කිව්වොත් අපි එහෙම හඳහන කියන දේ එතරම්ම විශ්වාස කරන්නේ නැහැ. අපි කතෝලික ආගමේ. ඒ නිසා ඒතරම් විශ්වාස කරන්නේ නැතිකම නිසාම හඳහනේ මොනවගේ දේවල් ලියවිලා තියෙනවාද කියලා හරියටම දන්නේ නැහැ. හැබැයි වැඩිවියට පත්වුණාට පස්සේ වෙලාව බලපු වෙලාවක “රටේ ජනප්‍රිය චරිතයක් වෙනවා. කියලා කිව්වා කියලා අම්මා මට කියනවා මතකයි. ඒ හැර හඳහන ගැන ලොකු විශ්වාසයක් අපේ නැහැ.

අනාගතයේදී මට හුඟාක් ජයග්‍රහණ ලැබෙනවා..

උදයකුමාරි රණසිංහ

මගේ හඳහන පොඩි කාලේ බලපු වෙලාවක “කැපී පෙනෙන චරිතයක් වෙනවා. කියලා තිබුණා. ඒක ඒ කාලේ නම් අම්මා ඒතරම් ගණන් අරගෙන තිබුණේ නැහැ. හැබැයි ටිකක් පහුවෙද්දී ඒ කතාවෙත් මොකක්දෝ පොඩි හෝ ඇත්තක් තියෙනවා කියලා හිතන්න පුළුවන්නේ. මමත් හඳහන විශ්වාස කරනවා. මෑත කාලයේදී මම හඳහන බැලුවා. අදට වඩා අනාගතයේ දී ජයග්‍රහණ තියෙන බව ඒ හඳහනේ ලියවිලා තිබුණා. ඒ හැමදේම වෙනුවෙන් අධිෂ්ඨානය ඇති කරගන්න කියලයි කිව්වේ. පහුගිය කාලයට වඩා ඉදිරියට හොඳයි කියලයි කිව්වේ. 2020 වසරේදී රටේ හැම තැනම වගේ ලොකු වෙනසක් තියෙනවානේ. ඉතින් ඒ වෙනසත් එක්ක මගේ වෘශ්චික ලග්නයට හරිම හොඳයි කියලයි ඒ හැමෝම කිව්වේ. අපි බලමු... ඒ හැමදේත් එක්කම උත්සහයත්, අධිෂ්ඨානයත් මට තියෙනවා.

කියපු දේ ඇත්ත... ඒත් ලොකුවට ඔළුවට ගන්නේ නෑ...

ලෝචනා ඉමාෂි

මගේ හඳහන බලපු වෙලාවක “කලාව පැත්තට නැඹුරු වුණු දරුවෙක් කියලා පොඩි කාලේදී අම්මලාට කියලා තිබුණා. ඒ දේ මම දැනගත්තෙත් මේ කලාවට සම්බන්ධ වුණාට පස්සේ අම්මා කිව්ව නිසාමයි. මමත් හඳහන විශ්වාස කරනවා. හඳහන බලනවා හැබැයි එහෙමයි කියලා හඳහනම ලොකුවට ඔළුවට අරගෙන ඒ මත්තේම මගේ ජීවිතේ ගෙනියන්න උත්සහ කරන්නේ නැහැ. ඒ හඳහනේත් මොකක්දෝ ඇත්තක් තියෙන බව මට හිතෙනවා.

ජනප්‍රිය වෙනවා කියලා කවදාවත් කියලා නෑ..

චමීර ලියනගේ

අනේ... ඇත්තම කිව්වොත් මගේ හඳහනේ මම ජනප්‍රිය චරිතයක් වේවී කියලා ලියවිලා තිබුණේ නැහැ. එහෙම ලියවිලා තියෙනවා කියලා මට කවදාවත් මගේ අම්මලා කියලා නැහැ. දැන් තමයි මටත් ඒක හිතෙන්නේ. මම දන්න විදිහට මම අහලා තියෙන විදිහට එහෙම විශේෂ චරිතයක් වෙන බවට පොඩි හෝ ඉඟියක් හඳහනේ ලියවිලා නැහැ. ඇත්තටම තාමත් මම එහෙම ලොකු ජනප්‍රිය චරිතයක් නෙමේ. හැබැයි කලාවට සම්බන්ධ වෙනවා කියලවත් ඒ කොතනකවත් සඳහන් වෙලා නැහැ. ඇත්තම කිව්වොත් අම්මලා මගේ හඳහන් අරගෙන ගිහින් බැලුවොත් මිසක් මම එහෙම හඳහන් අරගෙන ගිහින් කවදාවත් බලලාවත් නැහැ. පසුගිය කාලේදී මගේ හඳහන බලලා ඇවිත් “ඔයාට අපලයි... පරිස්සම් වෙන්න කියලා කිව්වා. ඉතින් එහෙම පරිස්සම් නොවුණු වෙලාවල ටිකක් අනතුරු වුණු වෙලාවලුත් තිබුණා. ඒ නිසා හඳහන බොරු කියලා අපිට බැහැර කරන්නත් බැහැ. ඒත් මම ඒ හඳහන මත්තේම මගේ ජීවිතය ගෙනියන්නේ නැහැ.

කොළ කෑල්ලකට ජීවිතේ පාලනය කරන්න දෙන්නේ නැහැ...

සුරේෂ් ගමගේ

මගේ ක්‍රිස්තියානි ධර්මයට අනුම මම කවදාවත් හඳහනක් බලලාවත්, පාවිච්චි කරලාවත් නැහැ. මම ඒ දේ විශ්වාස කරන්නේවත් නැහැ. මට හිතෙන විදිහට ඒවා නිකම් කාලය නාස්ති කිරීමක් වගෙයි. මම පොඩි කාලේදීවත් මගේ මව්පියෝ මගේ හඳහන බලලා නැහැ. ඒ අයත් ඒක විශ්වාස කරන්නේ නැහැ. ඒ අය හැමවෙලේම මට කිව්වේ හඳහන කියන්නේ ජීවිතේ නෙමෙයි. හඳහනට වඩා අපි ශක්තිමත්. “මේ ලෝකේ උතුම් මනුස්සයා බුදුන්වහන්සේ, ජේසුස් වහන්සේත් මනුෂ්‍යයෙක් ඒ කවුරැවත් හඳහන පස්සේ දිව්වේ නැහැ... අපේ ආත්මවිශ්වාසය හා අධිෂ්ඨානය, උත්සහයයි මත තමයි හැමදේම තීරණය වෙන්නේ කියලා. කොළ කෑලිවලට තමන්ගේ ජීවිතය පාලනය කරන්න කිසිම මොහොතක ඉඩ දෙන්න එපා..*

හඳහනේ කියපු දේවල් ඇත්තටම සිදුවුණා...

චිලී තිවංක

පොඩි කාලේ මගේ හඳහන බලපු වෙලාවක මම කවදා හරි ජනප්‍රිය කෙනෙක් වෙනවා කියලා ලියවිලා තිබුණා කියලා අම්මා කිව්වා. මම හඳහන විශ්වාස කරනවා. හැබැයි කවදාවත් ඒ මත්තේම ජීවත් වෙන්නේ නම් නැහැ. මගේ පෞද්ගලික අදහස වෙන්නේ ඒකෙත් යම්කිසි ඇත්තක් තියෙනවා කියලයි. හඳහනේ ලියවුණු ඇතැම් දේ මගේ ජීවිතයට සිදුවෙලා තියෙනවා. ඒ නිසා ඒක බොරු කියන්නත් බැහැ.

හඳහන ඇත්ත... ඒත් සමහර ජ්‍යොතිෂවේදීන් බොරු කියනවා...

රොෂාන් පිලපිටිය

මගේ හඳහන බලපුවාම අම්මා ඇවිත් එක එක දේවල් කියනවා. හැබැයි මම නම් ඇහැට දැකලා නැහැ. මම ඉගෙන ගැනීමට දක්ෂයි වගේම, මොන යම් හෝ පැත්තකින් දක්ෂ කෙනෙක් වෙනවා කියලා ඒකේ ලියවිලා තිබුණා. ඒ ගැන ඒ කාලේ අම්මා මට කියලා තිබුණා. හැබැයි මට ඒ හඳහන කියන දේ බොරු කියන්නත් බැහැ. මම ඒක දැකලා නොතිබුණාට මගේ ජීවිතේ සිදුවුණු සමහර දේවල් එක්ක බලද්දී හඳහනේ ලියවිලා තිබුණ ඒ දේවල්වල ඇත්තක් ඇති කියලත් හිතෙනවා. හැබැයි අද වෙද්දී ජ්‍යොතිෂවේදීන් අතරින් බොරු මවාපෑම් කරන අයද ඕන තරම් ඉන්නවා. ඒ අය කියන බොරු කතා නිසාම සමහරු මේ ජ්‍යොතිෂ්‍යවේදය සම්බන්ධව වැරදි ආකල්පයක් තමයි දරන්නේ. මට හිතෙන විදිහට හඳහනේ ලියවිලා තියන දේ අපිට බොරු කියලා කියන්නත් බැහැ. නමුත් ජීවිතය ගෙවන්න අපි හඳහන මත්තේම එල්බගෙන ඉන්න ඕනේ නැහැ.

හඳහනකුත් නෑ... විශ්වාසයකුත් නෑ...

වසන්ත කුමාරවිල

මට හඳහනක් නැහැ. ඒ ගැන විශ්වාසයක් මට නැහැ. හැබැයි ධර්මය පිළිබඳ විශ්වාසයක් මට තියෙනවා. මම කතෝලික ආගමේ. මගේ දරුවන්ටවත් හඳහනක් හදලා නැහැ. මේක බොරුවක් කියලා තර්ක කරන්න මට ඕනේ නැහැ. සමහර විට ඒ හඳහනේත් යම් සත්‍යයක් තියෙන්නත් ඇති. නමුත් මගේ පෞද්ගලික මතය තමයි හඳහන කියන දේ මම විශ්වාස කරන්නේ නැහැ කියලයි. හැබැයි හඳහන ගැන දැඩි ලෙස විශ්වාස කරන මගේ යාළුවෝ ඕනතරම් මම දැකලා තියෙනවා. ඒක ඒ අයගේ විශ්වාසය. මේක මගේ විශ්වාසය. ඒ හැමදේටම වඩා අපේ ආත්මවිශ්වාසයත්, උත්සාහයත් මම දැඩි ලෙස විශ්වාස කරනවා. 
   

► Text - Dishani  /  Pic –Sumudu & Internet