2020 ජනවාරි 25 වන සෙනසුරාදා

වලසුන්-කොටියන් නිදහසේ ඉන්න තැනක්

 2020 ජනවාරි 25 වන සෙනසුරාදා, ප.ව. 12:30 123

වෙනස් විදිහේ අත්දැකීමක් විඳගන්න අපේ රටේ සතුන් වත්තකට තමා අපි මේ සැරේ ඔයාලව එක්ක යන්නේ. කෑගල්ල, රඹුක්කන, පින්නවල සත්ත්ව උද්‍යානයට අපි ගියේ නිදැල්ලේ ඉන්න මුවන්, ගෝනුන්, කුරැල්ලන්, කොටියන්, වලසුන්, කිඹුලන් බලන්න. කූඩු නොකරපු විශාල බිම්කඩක නිදහසේ උන් ඉන්න අපූරුව ඇත්තටම බලන්නත් ආසයි. 

සත්ත්ව උද්‍යානයට ඇතුළු වන දොරටුව අභියසම හරිම නිදහසේ එහේ මහේ ඇවිදින තාරාවන් රංචුවක් ඉන්නවා. මුව පවුලේ නෑදෑ පවුල් කිහිපයක්ම රංචු පිටින් ඉන්න හැටි බලන්න අපූරුයි. ඒ අතරින් විශාල අං තට්ටු ඇති ගෝනුන් අං පොරයට වැටෙන හින්දා ඒ චණ්ඩිනම් ටිකක් ඈතින් ඈතට තමා තියලා තියෙන්නේ.

කළු වලසුන් හරිම නිදහසේ එහේ මෙහේ ඇවිදිනවා. කොටියනම් හොඳට දිග ඇදිලා නිදි. කිඹුල්ලු කිහිපදෙනෙක්ම අපිට එහෙදි හම්බුණා. කලාතුරකින් දකින්නට හම්බෙන උණහපුළු පැටියෙකුත් මේ සතුන් වත්තේ ඉන්නවා. අපි යද්දි එයා රටකජුවලින් බඩ පිරෙන්නම සප්පායම් වෙමින් තමයි හිටියේ.

දෙහිවල සතුන් වත්තේ වගේ සතුන් විශාල සංඛ්‍යාවක් මෙහි නොසිටියත් නිදහස් පරිසරයක නිදැල්ලේ සැරිසරන සතුන් බලලා නිවී සැනසිල්ලේ කාලය ගතකරලා එන්නත් මෙතන කියාපු තැන.
ඊට කිට්ටුවම පාරෙන් එහා පැත්තේ කටට රහට උණු උණුවේ යමක් කාලා සිසිල් පැන්, තේ ආදිය බීලා යන්න පුළුවන් තැනකුත් තියෙනවා.

ඉඩක් ලැබුණොත් ඔයාලත් ගිහින් බලලා විඳලා එන්න.

 

► Pic & text - Channa kassapa