චිංගීස් ආයිත්මාතව්ගේ ගුරු ගීතයේදී හමුවූ දුයිෂෙන් ආයෙමත් මගේ හිත ළඟට ඔහු කැටුව ආවා එකෝමත් එක දවසක. ඇයි දුයිෂෙන්ලා කලාතුරකින්වත් පාසලකදී සරසවියකදී මුණ නොගැහෙන්නේ යළිත්.... මම ඇහුවා මගෙන්ම විෂම බාග බැලුව දවසෙ තමයි මට එහෙම හිතුණේ. ජාත්‍යන්තර සම්මාන සහ නිර්දේශ 70කින් සම්මානනීය ඇගයීමට පාත්‍ර වූ ශ්‍රී ලංකාවේ ප්‍රථම සමාජ සත්කාරක සිනමා කාව්‍ය වු විෂම බාග සිනමාපටය ඔහුගේ .....
ඔහු ලලිත්....
ලලිත් මේ දවස්වල මොනවද වෙන්නෙ කියලා දැනගෙන ඉමුද?
මේ දවස්වල මගේ විෂම භාග චිත්‍රපටය තිරගත වෙනවා. ඊට අදාළ යම් යම් කටයුතුවලට තමයි මූලිකත්වය හිමි වෙලා තියෙන්නෙ. ඊට අමතරව අලුත් තිරපිටපතක් ගැනත් හිතමින් ඉන්නවා.. ඕවා තමයි ඉතින්..
ඔබගේ හදවත සියුම්ව ස්පර්ශ කරපු, පරිකල්පනයේ අතරමං කරපු නිර්මාණයක් මතකයට නගමුද...? හැබැයි ඒක ලලිත්ගෙම වැඩක් වෙන්න බෑ..
හරි.. ඔයා ඔය ප්‍රශ්නය අහපුගමන්.. එක පාරට මගේ මතකයට ආවේ සාජි එන්. කරුන් සිනමාවේදියා අධ්‍යක්ෂණය කරපු 1988 වර්ෂයේදී ඉන්දියාවේ තිරගත වුණු පිරවී (උපත) කියන අපූරැ චිත්‍රපටය.. මේ නිර්මාණය මට හරි විශේෂයි... මම බලපු ප්‍රථම කලාත්මක චිත්‍රපටය තමයි පිරවි.. මේ වෙනකන් මම බොහෝ විට නරඹා තිබුණේ දේශීය වාණිජ චිත්‍රපට විතරයි.. කලාත්මක චිත්‍රපටයක හැඩරුව හරිහැටි මට වැටහෙන්නේ පිරවි චිත්‍රපටය නැරඹුවට පස්සේ.. සිදුවිය නොහැකි දේවල්, භාවාතිශය රංගනයෙන් ප්‍රේක්ෂකයා සිහින ලෝකවල අතරමං කරන වාණිජ සිනමාවෙන් හෙම්බත් වෙලා හිටිය මට, සැබෑ මිනිසුන් හැසිරෙන, සිදුවිය හැකියැයි විශ්වාස තබන්නට හැකි සිදුවීම්, යථා ස්වභාවයෙන් ඉදිරිපත් කරමින්, යථාර්ථවාදී රංගනයක යෙදෙන රංගන ශිල්පීන් වෙසෙන සිනමාවක් ලොව තිබෙන බව අවබෝධ වුණේ පිරවි චිත්‍රපය නැරඹීමෙන් පස්සේ. “පිරවී” මගේ මුළු ජීවිතයටම විශාල බලපෑමක් ඇති කළා. ඒ නිසා අද මම පිරවි ගැන කතා කරන්නම්..
මේ සිනමා පටයේ කතා තේමාව හරිම සංවේදියි. ප්‍රධාන චරිතය වන රඝවා චක්‍යාර් සහ ඔහුගේ බිරිඳට දරුවන් දෙදෙනෙක් ඉන්නවා. ටිකක් වයසට ගිහින් තමයි රඝවා විවාහ වෙලා තියෙන්නෙ. දරුවන් ලොකු මහත් වෙනකම් බොහෝම ආදරයෙන් තමා රඝවා ඔවුන්ව බලාගන්නෙ. රඝු තමයි පිරිමි දරුවා. ගමෙන් ඈත නගරයක තියෙන ඉංජිනේරු විද්‍යාලයක තමා ඔහු අධ්‍යාපනය ලබන්නේ. රඝුගේ සහෝදරියගේ නම් ප්‍රසිද්ධ කිරීමේ උත්සවය සඳහා රඝු අනිවාර්යයෙන් පැමිණිය යුතුව තිබුණා. රඝු හැමදාම ගෙදර එයි කියලා වයසක පියා ලොකු බලාපොරොත්තුවක් හිතේ තියාගෙන මඟ බලාගෙන ඉන්නවා. හැමදාම බස් නැවතුම්පොළට ගිහින් ගමට එන අන්තිම බස් එකත් එනකම් මේ අහිංසක පියා නෙත් අයා බලාගෙන ඉන්නවා. ඒත් ඔහුගේ පුතා පැමිණෙන්නේ නෑ. අවසානයේ ඔහුට පුවත්පතකින් ආරංචි වෙනවා දේශපාලන හේතුන් මත රඝුව පොලිසිය විසින් අත්අඩංගුවට අරගෙන කියලා. මේ පුවත් සැලවීමත් සමඟ වයෝවෘධ පියා පුතාව සොයාගන්න අපමණ වෙහෙසක් දරනවා. පුතා වැටී තිබෙන කරදරයෙන් බේරගන්න උත්සාහ කරන සංවේදී සහ අනුවේදනීය කතාවක් තමයි මේ චිත්‍රපටයෙන් දිගහැරෙන්නේ. පිරවි චිත්‍රපටය පීතෘත්වය, දාරකත්වය, සමාජ අසාධාරණය වැනි හැඟීම් සමුදායක් සිත් තුළට කාවද්දන විශිෂ්ඨ සිනමා කෘතියක්.
මේ නිර්මාණ ඇතුළේ ලලිත්ගේ කැමැත්ත වැඩිපුරම හිමිවුණ චරිතයකුත් ඇති නේද?
ඔව්.. එහෙම චරිතයක් ඉන්නවා.. රඝවා චක්‍යාර් නැමති භූමිකාවට තමයි මම වඩාත් කැමති. ප්‍රේම්ජී අර්චනා නැමති රංගන ශිල්පියා විසින් තමයි ඒ වයෝවෘද්ධ පියාගේ චරිතය නිරූපණය කරන්නෙ. මට ගොඩාක්ම දැනුණේ ඒ පියාගේ චරිතය. ඒ තරම් ඒ චරිතය දැනෙන්නෙ මගේ යම්කිසි ජීවන අත්දැකීම් නිසා කියලයි මට හිතෙන්නේ. 88,89 කාලෙ පවතුණු පාලනයට එරෙහිව තරුණ කණ්ඩායම් නැගී සිටිනකොට මටත් අවුරුදු 15ක විතර ඇති. මම කෙලින්ම එකී දේශපාලනයට සම්බන්ධ නොවුණත් එදා පැවතුණු භීෂණය ඉතා කිට්ටුවෙන් ස්පර්ශ කරන්නට ලැබුණු කෙනෙක්. ඔය කාලේ මගේ වැඩිමහල් සහෝදරයෝ තුන්දෙනාත් අත්අඩංගුවට ගත්තා. පැයකින් ආපහු ගෙනත් ඇරලවනවා කියලා තමයි එයාලව එක්කරගෙන ගියේ. නමුත් දවසක් ගෙවුණා, ඒගොල්ලො ආවෙ නෑ. දින දෙක, තුන, හතර වෙද්දී එයාලා හොයාගන්න මගේ තාත්තා නොගිය තැනක් නෑ, අම්මා නොගිය දේවාලයක් නෑ, දේශපාලනඥයෝ ලොකු නිලධරයෝ ඉදිරිපිට තාත්තා වැඳ වැටුණා. රඝවා හරහා මට මගේ තාත්තව පෙනෙන්න ගත්තා. ඒ නිසාම තමයි මගේ හදවත මේ සිනමා කෘතිය තදින් ස්පර්ශ කරන්නෙ.
පිරවි සිනමා සිත්තම ඇතුළේ ඔබව සංවේදී කරපු තැනක් දෙකක් මතක් කරමුද?
කෙනෙක් අතිශය සංවේදී නම් ඔහු හෝ ඇය නැවත වතාවක් පිරවි බලන එකක් නෑ... ඒ තරමට ඒ චිත්‍රපයට ප්‍රේක්ෂකයාට කතාකරනවා. සමස්තයක් විදියට ගත්තාම සම්පූර්ණ චිත්‍රපටයම හරිම සංවේදීයි.. ඒ සංවේදී දර්ශන ඇතුළෙත් වඩාත්ම මම සංවේදී වුණු, මට දැනිච්ච තැනක් තියෙනවා. මේ චිත්‍රපටයේ අවසාන රෑපරාමුවේදී මහ මොරසූරන වැස්සක් වහිනවා. මේ වැස්සෙත් තාත්තා බස් නැවතුමට වෙලා බලාගෙන ඉන්නවා පුතා එනකන්. අවසාන බස් එකත් එනවා. බස් එකේ ආපු සියලු දෙනා බැහැලා යනවා. නමුත් එදත් පුතා ආවේ නෑ. සියල්ල බැස ගිය බස් රථයට මේ පියා ගොඩවෙනවා. ඔහු අඳුර අතරින් පෙනෙන හිස් අසුන දෙස බලලා රඝූ යනුවෙන් තම පුතුට අමතනවා. ඒ වෙලාවේ මගේ හදවත කඩාවැටුණා.. පුදුම වේදනාවක් මට ඇති වුණේ.. ඒ සිද්ධිය මට කවදාවත් අමතක වෙන්නෙ නෑ.
ලලිත් ඔබට මේ නිර්මාණය මුණගැහෙන්නෙ කොහොමද.. දැනට ඔබ කී වරක් මේ චිත්‍රපටය බලලා තියෙනවාද?
මගේ මතකය හැටියට 90 දශකයේ මුල තමයි මම පිරවි බැලුවේ. ඒ කාලේ එල්ෆින්ස්ටන් රඟහලේ ඉන්දීය සිනමා උළෙලක් තිබුණා. ඒ කාලේ මගේ වයස මට අවුරුදු විසි දෙකක් විසි තුනක් විතර ඇති. එතනදි තමයි මට පිරවි මුලින්ම බලන්නට ලැබුණේ. ඉන්පසුව මම යළිත් පිරවි බලලා නැහැ. නමුත් මෑතකදී මම YouTube එකේ සෝදිසි කරලා බලනකොට පිරවී එහි තිබෙනවා මම දැක්කා. ආසාවට තැන තැන බැලුවට මම එය නැවතත් දීර්ඝව බලන්න අදහසක් නෑ.
මේ නිර්මාණය තුළින් ඔබේ ජීවිතයට එකතු වුණේ මොනවගේ දෙයක්ද?
පිරවි තුළින් පෞද්ගලිකව මගේ ජීවිතයට ගොඩක් දේවල් එකතු වුණා.. මගේ ජීවිතය වෙනස් කරන්න පිරවි බලපෑවා කියලා. මට ඒත්තු ගිය කාරණා කිහිපයක් තියෙනවා.. සැබෑ මවුපියන් හා දරැවන් අතර ඇති බැඳීම කෙතරම් ශක්තිමත් බන්ධනයක් ද, දූෂිත හා අසංවේදී රජයක් විසින් දිරිමත් කරන ලද දූෂිත සමාජයක අප ජීවත් වනවා සේම කිසිවිටෙකත් එය අපට පාලනය කළ නොහැකි බව, එනිසාම අපිට සම්පූර්ණයෙන්ම අවංක ජීවිත ගත කළ නොහැකි බව, සිනමාව නම් දෘශ්‍ය කලාවක්ය යනවග, එකී නොකී බොහෝ දේ මට ප්‍රත්‍යක්ෂ වුණා. සමස්තයක් විදිහට පිරවි කියන්නෙ අපේ ජීවිතය. අටලෝ දහමින් නොසැලී යුතු ජීවිතය ගැන පාඩම් මාලාවක්ම මේ කෘතියෙන් අපිට දීලා තියෙනවා.
මේ නිර්මාණය අවසානයේ ලලිත්ට ඇතිවෙච්ච හැඟීම වචනවලට පෙරළමුද?
මම මුලින්ම කතන්දර ඇහුවෙ තාත්තගෙන්. ඒ කාලෙ මම හිතුවේ කතන්දර කියන්න පුළුවන් හොදම ක්‍රමය කටහඬින් කතා කීම කියලා. පස්සෙ පොතපත කියවන කොට මට තේරුණා අකුරුවලින් මොන තරම් කතා කියන්න පුළුවන්ද කියලා, විශිෂ්ට ලේඛකයන්ගේ පොත්වල කෙතරම් විශිෂ්ඨ දෘශ්‍ය රූප ලියැවිලා තියෙනවද කියලා.. මම පුදුම වුණා. ඒ කථා කියවන අතරේ මම රූප මනසේ චිත්‍රණය කළා.., නමුත් රූප පෙන්නලා කතා කියන ක්‍රමය, කතන්දර කියන්න හොඳම ක්‍රමය කියලා මම ඉගෙනගත්තෙ පිරවි චිත්‍රපටයෙන්. ඉතිං ඒ ගැන මම කොහොමද අකුරුවලින් කියන්නේ....
► Text - Danushka Wijesiri / Pic - Internet