2020 ජනවාරි 25 වන සෙනසුරාදා

සමහරු මට තාත්තා මරාපු පුතා කියලත් කිව්වා

 2020 ජනවාරි 25 වන සෙනසුරාදා, ප.ව. 12:31 249

- Life බුද්ධි වික්‍රම

ඔබේ ළමා කාලය ගෙවුණේ දකුණු පළාතෙ.. අපි එතැන් සිට මේ කතාබහ පටන්ගමු..?
ඔව්.. මම දකුණෙ මනුස්සයෙක්. ගාල්ලෙ හීනටිගල කියන ගමේ තමයි මම හැදුණෙ වැඩුණෙ. හීනටිගල කුඹුරු තියෙන හරි සුන්දර අපූරු ගමක්. අපේ මහගෙදර අවටත් අපිට කුඹුරු තිබුණා. මම පුංචි කාලෙ කුඹුරේ මිනිස්සු වැඩ කරද්දී ඒවා බලන්න කුඹුරට ගියා. වත්තේ මිනිස්සු පොල් කඩද්දී ඒවා බලන්නත් ගියා. මෙහෙම කුඹුරුවලට යද්දී සමහරදාට ගොවීන්ගෙන් බැණුම් අහලත් තියෙනවා. කුඹුරට යද්දී ගොවීන්ට ආවේණික වුණු චාරිත්‍ර වාරිත්‍ර තිබුණා. ඒ කාලේ ගොවීන් වී ගොඩට වැන්ඳා. වී එලන පැදුරට වැන්ඳා. ඒ තරමටම ඒ හැමදේටම ගෞරව කළා. අපේ ගෙදර කරත්තයක් තිබුණා. ගොඩක් වෙලාවට මම කුඹුරට ගියෙත් කරත්තෙන්. සමහරදාට කරත්ත දක්කන මනුස්සයාගෙන් ඉල්ලගෙන මම කරත්ත පැදලත් තියෙනවා. මට ඒ වගේ අපූරැ සුන්දර ළමා කාලයක් තිබුණා.

බුද්ධිගේ පවුලේ විස්තර කතා කළොත්..?
මට අයියා කෙනකුයි නංගිලා දෙන්නකුයි ඉන්නවා. මම පවුලේ දෙවැනියා. මගේ තාත්තා සේවය කළේ තැපැල් දෙපාර්තමේන්තුවෙ. තාත්තාට මාරුවීම් ලැබෙනකොට අපිත් තැන්තැන්වලට ගියා. තාත්තා නැතිවුණාට පස්සෙ මහගෙදර අම්මයි අපියි මාමලා දෙන්නයි ආච්චියි තමයි හිටියේ. ඒක ලොකු වත්තක තිබුණු තට්ටු දෙකේ ගෙයක්. ඒ කාලේ අපි බොහොම සතුටින් හිටියා. මගේ තාත්තා නැතිවෙනකොට මම ගොඩක් පොඩියි. තාත්තා ගැන මට ඒ තරම් මතකයක් නැහැ. අපේ වත්තේ ලොකු ඔංචිල්ලාවක් තිබුණා. ඒ ඔංචිල්ලාවේ ලෑල්ල මගේ නළලේ වැදුණා. එතකොට දවල් දොළහට විතර ඇති. මගේ නළලෙන් ලේ ගොඩක් ගියා. නළල දිගේ ගලාගෙන යන ලේ දැකපු තාත්තා අපොයි කියලා එකපාරටම හුස්ම ඉහළට අරගෙන තිබුණා. තාත්තා හාන්සි පුටුවේ හාන්සිවෙලා පැයක් දෙකක් යද්දී මියගිහින්. මගේ නළලෙන් ගලාගෙන ගිය ලේ තාත්තාට දරාගන්න බැරි වුණා. අදටත් මගේ නළලේ ඒ තුවාල කැළල තියෙනවා. ඒ දවස්වල සමහරු මට තාත්තා මරාපු පුතා කියලත් කිව්වා. ඒක අදටත් මගේ හිතේ තියෙනවා. ඒ දේවල් මතක් වෙද්දීනම් ගොඩක් දුකයි. 

මුලින්ම ඔබ ඉගෙනගත්තෙ ගමේ පාසලෙන්..?
ඔව්.. මම පුංචි කාලේ ඉගෙන ගත්තෙ හීනටිගල සාරිපුත්‍ර විද්‍යාලයෙන්. පාසල් කාලයත් හරි සුන්දරයි. වහින කාලෙට පාසල් යන්න මම හරි ආසයි. හයියෙන් වහිද්දී අපේ ගමේ පොඩි පාරවල් වතුරෙන් යට වුණා. ඉස්කෝලෙට යන්න තිබුණෙ වෙල හරහායි. වෙල උතුරලා වතුර ගැලුවා. ඒ වෙලාවට කකුල් දෙකේ තියෙන සපත්තු දෙක ගලවලා කරේ දාගෙනයි අපි ඉස්කෝලෙට ගියේ. අපි ඉස්කෝලෙ මේස පුටු වෙල ළඟට අරගෙන ගිහින් තමයි හේදුවේ. හීනටිගල සාරිපුත්‍ර විද්‍යාලයෙන් පස්සෙ මම ගාල්ල මහින්ද විද්‍යාලයට ඇතුළත් වුණා. ගාල්ල මහින්ද විද්‍යාලයෙදී මම කවදාවත් කාටවත් දෙවැනි වුණේ නැහැ. අවුරුද්ද අවසානයේ තෑගි ගොඩක් අරගෙන ගෙදර ගියා. මම හිටියෙ පාසල් හොස්ටල් එකේ. ඒ කාලෙදී අපිට හොඳ වටිනා ඉංග්‍රීසි පොත් තිබුණා. ඒ ඉංග්‍රීසි පොත් කියවන එකයි අපි වැඩිපුරම කළේ. මම ඒ පාසලේ ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගෙන ගත්තා. සිංහල විෂය ඉගෙන ගත්තෙත් ඉංග්‍රීසියෙන්. අපිට හොඳ ගුරුවරු හිටියා. මම පාලි සංස්කෘතත් ඉගෙන ගත්තා. කලා විෂය හැදෑරුවා. ඒ නිසාම මට හින්දි අක්ෂරත් පුළුවන් වුණා. ඉන්දියාවේ ගියපු වෙලාවට එහේ නාමපුවරු කියවන්නත් පාසලෙන් ඉගෙන ගත්ත දේ ගොඩක් වැදගත් වුණා. 

පුංචි කාලේ ඉඳන්ම කලාවට සම්බන්ධ වෙන්න ආසාවක් තිබුණද..?
එහෙම විශේෂ ආසාවක් තිබුණෙ නැහැ. විනී විතාරණ මහත්තයා මගේ ගුරුවරයෙක්. මම පාසල් හොස්ටල් එකේ කාලයක් හිටියා. ඒ කාලෙදී හොස්ටල් එක භාරව හිටියෙ විනී මහත්තයා. එතුමා මගේ කොණ්ඩෙ කපන්න මාව ගාල්ල ටවුමට එක්කගෙන ගියේ හරියට මගේ තාත්තා වගේ. එතුමාගේ අතේ එල්ලීගෙන ගිය හැටි මට අද වගේ මතකයි. අපේ ගෙදර පොඩි ප්‍රශ්න ටිකක් තිබුණා. මගේ අයියයි නංගිලා දෙන්නයි විශ්වවිද්‍යාලයට ගියා. තාත්තගේ විශ්‍රාම වැටුපෙන් මේ හැමදේම කරන්න අම්මාට අමාරු වුණා. ඒ කාලේ තාත්තගේ විශ්‍රාම වැටුප වුණේ රුපියල් දෙසීයයි. හැබැයි අපි ඒ සල්ලිවලින් විජේරාමයෙන් අක්කර භාගයක ඉඩමකුත් ගත්තා. ඒ ඉඩම රැපියල් පන්සීයටයි අරගෙන තිබුණේ. අද කාලේ ඒ ඉඩම කොයිතරම් මුදලක් වෙනවද? ගෙදර තිබුණු පොඩි පොඩි අගහිඟකම් එක්ක මම 1959 අවුරුද්දේ මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ සේවයට බැඳුණා. ඒ රුපියල් හැත්තෑ දෙකක වැටුපකට. අමතර දීමනා එක්ක රුපියල් දෙසීයක විතර වැටුපක් ලැබුණා. 

ඒ රැකියාව ලැබුණෙ කොහොමද..?
අද කාලේ වගේ ඒ කාලේ රස්සාවක් හොයාගන්න දේශපාලනඥයන් පස්සෙ යන්න ඕන වුණේ නැහැ. මම මුලින්ම මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ සැලසුම් ශිල්පියෙක් ලෙස සේවය කළා. ධම්ම ජාගොඩත් මහින්ද විද්‍යාලයේ මාත් එක්ක ඉගෙන ගත්තා. හැබැයි මට කලින් ධම්ම මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ සේවයට එකතු වුණා. දවසක් ධම්ම මම ළඟට ඇවිත් බුද්ධි.. හොඳ තැන. උඹත් ඉල්ලපං කියලා කිව්වා. ඒ කාලේ රුකියා ලැබුණේ උත්තර ලියන හැටියටයි, සුදුසුකම්වලටයි. මමත් ඒ රැකියාවට ඉල්ලුම් කළා. මගේ චිත්‍රවලටත් හොඳට ලකුණු ලැබුණා. ඒ හැමදෙයක් නිසාම මට මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ රැකියාව ලැබුණා. ඒ කාලේ අපේ පඩියට වඩා චීන කඩේ චීන බත් එකේ ගාණ වැඩියි. හැබැයි මාසේ ලැබුණු වැටුපෙන් මගේ වියදම් කරගෙන, ගෙදරටත් සල්ලි යවලා, කීය කීය හරි ඉතිරි කරගෙන මම ඉක්මනට කාර් එකකුත් ගත්තා.

මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ඉඳිද්දී කලා නිර්මාණවලට සම්බන්ධ වුණේ කොහොමද..?
මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ඉඳිද්දී කලාකාමී පිරිසක් හඳුනාගන්න අවස්ථාව ලැබුණා. වෙස්මූණ නාට්‍ය වේදිකාගත කළේ මේ කාලෙදී. මිනින්දෝරු දෙපාර්තමේන්තුව සංස්කෘතික වැඩ කටයුතුවලට අත දීපු දෙපාර්තමේන්තුවක්. ධම්ම ජාගොඩ, ෂෙල්ටන් සිල්වා මේ දෙපාර්තමේන්තුවේම වැඩ කරපු කලාකරැවන්. දවසක් මාව මේ අය කලා පෙළ කාර්යාලයට එක්කගෙන ගියා. ඒ යද්දීත් මඟුල් මතේ කියන නාට්‍ය පුහුණුවීම් කරමිනුයි තිබුණෙ. මමත් වේදිකා නාට්‍ය කිහිපයකටම සම්බන්ධ වුණා. මුලින්ම සාමා චිත්‍රපටයට සම්බන්ධ වුණා. ඒක රූගත කළේ කඩවත. චිත්‍රපටය නිෂ්පාදනය කරන්න පටන් ගත්තෙ රුපියල් පනහකින්. අපි කිහිප දෙනෙක්ම ඒකට මුදල් දුන්නා. ඒ අපේ හිතවත්කමටයි. සාමාගේ චරිතය රඟපෑවේ ලියෝනි. දවසක් ලෙස්ටර් ජේම්ස් පීරිස් මහත්තයා රූගත කරන තැනට ආවා. අපි සජීවීව හඬ පටිගත කිරීමක් කරන්න සූදානම් වුණා. හැබැයි කොහේදෝ ඉඳන් කපුටො ටිකක් ආපු නිසා ඒක සජීවීව පටිගත කරන්න බැරි වුණා. ඊටපස්සෙ හඬ පසු පටිගත කිරීමක් කරලා චිත්‍රපටය අවසන් කළා.

කලාවට සම්බන්ධ වෙනවට බුද්ධිගේ අම්මා කැමති වුණාද..?
පොඩ්ඩක්වත් කැමති වුණේ නැහැ. මගේ අම්මා මැරෙනකම්ම මගේ චිත්‍රපටයක් ටෙලිනාට්‍යයක් බලලා තිබුණෙ නැහැ. එයා ඒ තරමටම ඒකට විරුද්ධ වුණා. අපේ පරම්පරාවේ කවුරුවත් ඔය නාඩගම් නැටුවෙ නැහැ කියලයි අම්මා කිව්වෙ. හැබැයි ඉතින් මගේ ආසාව නිසාම රස්සාව කරන ගමන් මම කලා කටයුතුවලටත් සම්බන්ධ වුණා.

අදටත් බොහෝ දෙනාට අඹ යාළුවෝ ටෙලිනාට්‍යයේ ඔබ රඟපෑ චරිතය හොඳට මතකයි.. ලැබුණු ප්‍රතිචාර කොහොමද..?
ඒ චරිතය කොච්චර මතකද කියනවානම් මට ඒ චරිතය නිසා මිනිස්සු බණිනවා. රූබි ද මැල්ටයි මටයි නොසෑහෙන්න බණිනවා. මම අඹ යාළුවෝ ටෙලිනාට්‍යයේ කැන්දලන්දේගේ චරිතය තමයි කළේ. මට තාම මතකයි අඹ යාළුවෝ ටෙලිනාට්‍ය රූපවාහිනියේ විකාශය වෙන කාලෙදී මම දවසක් පාරේ වැඩකට යද්දී ත්‍රීවිල් එකක් එලවපු මල්ලි කෙනෙක් මහත්තයෝ පොඩ්ඩක් නවතින්න කියලා මට කතා කළා. මම ළඟට ආපු ඒ මනුස්සයා මහත්තයෝ කැත වැඩ කරන්න එපා.. අර අඹ යාළුවෝ ටෙලිනාට්‍යයේ මුළු පවුලක්ම විනාශ කළානෙ.. කියලා මට බැන්නා. මට හිතාගන්නත් බැරි වුණා. ඒ තරමට ඒ චරිතයට මිනිස්සු දොස් කිව්වා. මම රඟපාපු තාරා දේවි ටෙලිනාට්‍යයට බොහෝ දෙනෙක් කැමති වුණා. ඒ ටෙලිනාට්‍යයෙන් පස්සෙ අඹ යාළුවෝ විකාශය වෙද්දී බොහෝ දෙනා ඒ චරිතය නිසා මට බණින්න පටන් ගත්තා. ඒ තරමටම ඒ චරිතය මම හොඳට කළා කියලා බොහෝ දෙනා කිව්වා.

ඔබට බිරිය මුණගැහුණෙ කොහොමද..?
අයිරාංගනීව මට මුණගැහුණෙ මම පිඟන් සංස්ථාවේ සේවය කරද්දී. ඇයත් පිඟන් සංස්ථාවේම සේවය කළා. මම කොල්ලුපිටිය ශාඛාව භාරව කටයුතු කරද්දී අයිරාංගනීව මුණගැහුණා. ඇයත් ගාල්ලෙ. හැබැයි අපි මුණගැහුණෙ කොල්ලුපිටියෙදී. අපි 1975 අවුරුද්දේ විවාහ වුණා. අපිට දුවෙක් ඉන්නවා. එයාගේ නම කුශ්ලානි වික්‍රම. දැන් අපිට මුණුපුරෙක් ඉන්නවා. එයාගේ නම නවීන්. මගේ දුව පොඩි කාලේ තාරා දේවි නාට්‍යයේ පොඩි කොටසකට රඟපෑවා. පස්සෙ අනේ.. තාත්තා මටනම් බැහැ ආයේ රඟපාන්න කියලා කිව්වා. දැන්නම් මාත් ටිකක් අසනීපෙන්. මොනව කරන්නද.. මේක අපි හැමෝටම උරුම දෙයක්. මගේ නෝනයි දුවයි මාව ආදරෙන් බලාගන්නවා. ඒ සතුට මට හොඳටම ඇති.

 

► Text - Dishani   /  Pic – Sumudu