පාස්පෝට් එක එහෙමත් නැත්නම් විදේශ ගමන් බලපත්‍රය කියන්නෙ රටක ඉඳන් තවත් රටකට යන්න ඕන කරන තවත් එක ලියවිල්ලක් විතරයි කියලා කෙනෙක්ට හිතෙන්න පුළුවන් වුණත් ඇත්ත ඊට වඩා වෙනස්. අපේ අතේ තියෙන පාස්පෝට් එක අපිට වාසිදායක වෙන අවස්ථා වගේම අවාසිදායක අවස්ථාත් තියෙනවා. ඒකට හේතුව තමා සමහර පාස්පෝට්වලට ලෝකෙ ගොඩක් රටවල්වලට වීසා නැතිව ගමන් කරන්න හැකි වීම සහ තවත් සමහර පාස්පෝට්වලට එහෙම හැකියාවක් නොමැතිකම.
ලෝකය පුරා විවිධ රටවල්වල පාස්පෝට් අධ්‍යයනය කරලා නිකුත් කරන Henley Passport Index එකට අනුව 2020 දශකය පටන් ගනිද්දි ලෝකයේ තියෙන බලවත්ම පාස්පෝට් එකට හිමිකම් කියන්නෙ ජපානයයි. මොකද ජපන් පාස්පෝට් එකක් තියෙන කෙනෙක්ට ලෝකයේ රටවල් 191කට වීසා නැතිව ගමන් කිරීමට හෝ එම රටට ඇතුළුවන මොහොතේදී වීසා ලබාගැනීමට පුළුවන්.
මේ ලැයිස්තුවේ දෙවැනි තැන හිමි කරගෙන ඉන්නෙ සිංගප්පූරැවයි. එයාලගෙ පාස්පෝට් එකෙන් කලින් කියපු විදිහට රටවල් 190කට යන්න පුළුවන්. රටවල් 189ක වීසා සහනය ඇති දකුණු කොරියාවත්, ජර්මනියත් මේ ලැයිස්තුවේ තුන්වැනියට ඉන්නවා.
මීට අමතරව පින්ලන්තය, ස්පාඤ්ඤය, ඩෙන්මාර්කය, ලක්සම්බර්ග්, ස්වීඩනය, ප්‍රංශය, එක්සත් ජනපදය හා එක්සත් රාජධානිය කියන රටවලුත් ලැයිස්තුවේ ඊළඟට ඉන්නවා. මේ අතර ගෙවුණු දශකයේ පාස්පෝට් එක වර්ධනය කරගැනීම අතින් වැඩිම ප්‍රගතියක් ළඟා කරගෙන තියෙන්නෙ එක්සත් අරාබි එමීර් රාජ්‍යයයි. හැට පස්වැනි ස්ථානයේ හිටපු එයාලා මේ වෙද්දි රටවල් 171කට වීසා සහන ලබාගනිමින් 18 වැනි තැනට ඇවිත්.
මේ අතර ලෝකෙ දුර්වලම පාස්පෝට් එක විදිහට සැලකෙන්නේ ඇෆ්ගනිස්තානයේ පාස්පෝට් එකයි. එයාලට වීසා සහන තියෙන්නෙ රටවල් 26කට විතරයි. ඇෆ්ගනිස්තානයට කලින් ලැයිස්තුවේ ඉන්න අනිත් දුර්වලම පාස්පෝට් හිමි රටවල් කිහිපය අතරට ඉරාකය, සිරියාව, සෝමාලියාව, පාකිස්තානය, යේමනය, ලිබියාව, පලස්තීනය, නේපාලය අයත් වෙනවා.
දකුණු ආසියානු කලාපෙ හොඳම පාස්පෝට් එක හිමිකරගෙන ඉන්නෙ මාලදිවයිනයි. ලැයිස්තුවේ 65වැනියට ඉන්න එයාලට රටවල් 85කට වීසා සහන ලැබිලා තියෙනවා. ඉන්දියාව රටවල් 58කටත් භූතානය රටවල් 53කටත් වීසා සහන ලබාගෙන ලැයිස්තුවේ පිළිවෙලින් 84 හා 89 ස්ථාන දිනාගනිද්දි ලංකාවට හිමිවෙලා තියෙන්නෙ 97වැනි තැනයි. අපේ පාස්පෝට් එකෙන් වීසා නැතිව ඇතුළුවීමට හෝ ඇතුළුවන අවස්ථාවේදී වීසා ගන්න ඉඩ දෙන්නෙ ලෝකෙන්ම රටවල් 42ක් විතරයි.
( සී.එන්.එන්. ඇසුරෙනි )
► Text - Suranga / Pic - Internet