( වෛද්‍ය සමිතා සමන්මලිගේ කතාබහේ පළමු කොටස ඉකුත් සතියේ පළ විය )
ඒ අනතුර වෙන්න කලින් මම දුව පැනලා ගොඩක් සතුටෙන් හිටිය කෙනෙක්. ඒ සිද්ධිය වෙලා ඇඳේ ඉද්දී සමහර වෙලාවට මට කෑගහලා අඬන්න හිතුණා. ඔයා දන්නවද? කාලයක් මම මගේ හිතින් අඬා වැටුණා ඇයි මට අනිත් මිනිසුන්ට වගේ ඇවිදලා යන්න වරම නැත්තේ කියලා. ගොරවලා වහින වෙලාවට ඒ හඬටත් වඩා මහ හයියෙන් සද්ද කරලා වැස්සට වඩා කඳුළු සලලා අඬා වැටෙන්න මට හිතුණු වාර අනන්තයි අප‍්‍රමාණයි. ඇයි.. මමත් අනිත් මිනිස්සු වගේ ඇවිදින්න කැමතියි. හිතන්න.. අනිත් හැමෝටම තියෙන දේවල් මට නොලැබෙද්දී මම කොහොමද ඒ දිහා බලාගෙන දුක් නොවී ඉන්නේ. ඒත් මම ජීවිතය තේරුම් ගත්තා. මට විශේෂ කෙනෙක් වෙන්න අවශ්‍ය වුණා. සමහර විට ස්වභාව ධර්මයා මාව විශේෂ කෙනෙක් කරන්න මාව මේ තත්ත්වයට පත් කළා වෙන්න ඇති කියලා මම මගේ හිත හදාගත්තා. අනිත් අයට නැති කොච්චර දේවල් මම වීල් චෙයාර් එකක ඉන්න නිසා මට ලැබිලා තියෙනවද.. නේද? දැන් ඔයා වුණත් මාව හමුවෙලා මේ ආටිකල් එක කරන්න හේතුව වුණේ මොකක්ද කියලා නිකමට හිතලා බලන්න. මමත් තව එක වෛද්‍යවරයෙක් වුණානම් ඔයා සමහර විට මෙහෙම නොඑන්න තිබුණා නේද? මම මට ලැබුණු දේවල් බාරගත්තා. මම ඒ සිද්ධිය වුණු වෙලාවේ බින්දුවේ හිටියේ. අන්තිමට මම තීරණය කළා වෛද්‍ය උපාධිය කරන්න. මම මට වුණු දේ බාරගත්තට පස්සේ අනිත් අය වගේම හැදෑරීම් කරලා වෛද්‍ය උපාධිය සම්පූර්ණ කරලා වෛද්‍යවරියක් වුණා. මම මෙච්චර දුරක් එයි කියලා මුලින් හිතුවේ නැහැ. එම්.බී.බී.එස්. එක කළාට පස්සේ මම හිතුවේ ඇයි මම මෙතනින් නතර වෙන්නේ කියලයි. මොකද.. ඒ වෙනකොට මගේ යාළුවෝ පෝස්ට් ග‍්‍රැජුවේට් කරනවා. ඒත් මට සර්ජන්ට් කෙනෙක් වෙන්න බැහැනේ. මොකද.. වීල් චෙයාර් එකක ඉඳන් එච්චර භාරදූර කාර්යයක් කරන්න මට බැහැ. මම මොකද කළේ.. ප‍්‍රජා සෞඛ්‍ය විද්‍යාව පිළිබඳ මාස්ටර් ඩිග‍්‍රි එක කළා. මට පිටරට ගිහින් ඉගෙන ගන්න හිතුණා. ඉන්ටනෙට් එකෙන් අද ලෝකයේ ඕනම දෙයක් හොයාගන්න පුළුවන්නේ. මම ශිෂ්‍යත්ව ගැන හොයලා බැලුවා. මට ඕස්ට්‍රේලියාවේ ශිෂ්‍යත්වයක් හම්බවුණා. මගේ යාළුවෙක් හිටියා ඔස්ටේ‍්‍රලියාවේ ඇඩිලේඩ්වල. මම කවදාවත් පිටරටක ගිහින් නැහැ. තනියම කෙල්ලෙක් වීල් චෙයාර් එකක. අම්මා අක්කා නැහැ උදව්වට. ඒත් මම අභියෝග බාරගන්න කැමති කෙනෙක්. මම එහේ ගියා.
ඔයා එහේ ගිහින් තනියම කොහොමද ඔයාගේ වැඩ කර ගත්තේ.. අපේ රටේදීනම් ඔයා දන්න අය හරි ඉන්නවා. ඒත් ඔස්ට්‍රේලියාවේ?
ඔයා දන්නවද? එහේ ඩිසේබල් අයට මෙහේ ජීවත්වෙනවට වඩා ගොඩක් පහසුයි ජීවත් වෙන්න. මම බස් එකේ යනවා. ෂොපින් කරන්න යනවා. බස් එක ගාවට ගියාම රෑම්ප් එක දාලා වීල් ෂෙයාර් එක බස් එකට ගන්න බස් එකේ වැඩ කරන අය උදව් කරනවා. අපේ රටේනම් කොහොමද නේද?
මට කියන්න අමතක වුණා.. මම ලංකාවට ආවේ 2018 දී. මම අවුරැදු දෙකක් එහේ ජීවත් වුණා. මම ඒ රටේ හිටියේ පොඩි ගෙයක. මම ඔයාට ඒ රටේදී වුණු ලස්සන කතාවක් කියන්නම්. මම කැම්පස් එකට හැමදාම යනවා පුරැදු විදියට මගේ ඉලෙක්ටි‍්‍රක් වීල් චෙයාර් එකෙන්. මම හිටිය ගෙදර ඉඳන් කැම්පස් එකට වැඩි දුරක් තිබුණේ නැහැ. ඔන්න මම ඒ යන පාර දවසක් යද්දී කඩලා අලුතෙන් හදනවා. දවස් දෙක තුනක් යද්දී ඔන්න දවසක් උදේම කාන්තාවක් මගේ පස්සෙන් දුවගෙන එනවා කියලා මට තේරුණා. එයා ඊට කලිනුත් මම දැකලා ගුඩ් මෝර්නින් කියලා තියෙනවා. එයා හිටියේ මම හිටිය ගේ ගාවම ගෙදරක. එයා අහනවා ඔයාට මේ පාර හදන එක නිසා මොකක් හරි අපහසුතාවයක් තියෙනවනම් කියන්න කියලා. පාර මාරුවෙන්න සිග්නල් එක දාන තැනට මම වීල් චෙයාර් එක ගත්තෙ අපහසුවෙන්. ඒක එයා බලාගෙන ඉඳලා තමයි මගෙන් ඇවිත් ඒ ගැන ඇහුවේ. මම ඒක කිව්වා විතරයි එදා හවස යද්දී ඒක ඒ මනුස්සයා පාර හදන අයට කියලා හදවලා. ඒ රටේ අපේ රටේ වගේ නෙවෙයි.. මිනිස්සු ගැන ගොඩක් හිතනවා. අපේ රටේනම් ඒ වගේ කෙරෙනවා අඩුයි නේද?
ඩොක්ටර් සමිතා සමන්මලී.. දැන් ඔයාගෙන් ටිකක් වෙනස් ප‍්‍රශ්නයක් අහන්නයි හදන්නේ. අපේ රටේ ගොඩක් අය, අපි දුප්පත්. අපිට සහනාධාරයක්වත් හම්බවෙන්නේ නැහැ කියලා නාහෙට අඬ අඬා ඉන්නවා. ඒ වගේම අත පය නෑ කියලා යාචකයන් විදියට අපිට සමහර අය හමුවෙනවා යන එන මඟ තොටේ. ඒ ගැන මොකක්ද ඔයාගේ අදහස?
ගොඩක් යාචකයන්නම් තමන්ට වෙලා තියෙන ආබාධය විකුණාගෙන කන එකනේ කරන්නේ. නේද? යාචක අයනම් හිතාමතාම ඩිසේබල් වුණු අයත් ඉන්නවනේ. අත කැඩිලානම් කකුලක් කැඩිලානම් ඒවා දාගන්න පුළුවන්. ඒවා සල්ලි නොගෙන නිකම් දෙන කොව්චර තැන් අපේ රටේ තියෙනවද? ඒත් ඒ යාචක අයනම් ඒවා ගත්තත් ගෙදර තියලා ඇවිත් යාචක වෘත්තියේ නිරත වෙනවා. ඒත් සමහර අය ඉන්නවා තමන්ට සල්ලි දුන්නත් නොගන්න අය. ඒගොල්ලෝ තමන්ගේ ආබාධිත තත්ත්වය වෘත්තියක් කරගෙන නැහැ.
අනිත් ප‍්‍රශ්නය ඔයා ඇහුවේ සහනාධාර දෙන එක ගැන නේද? අපේ රටේ ජීවත්වෙන අයට සහනාධාර ඕන කියන එක අපේ රටේ මිනිසුන්ගේ මනසට ඔබ්බවලා තියෙන්නේ දේශපාලකයායි. මම ඒගොල්ලෝ ගැනනම් කතා කරන්න කැමති නැහැ. නමුත් දේශපාලකයන් තමන්ගේ පැවැත්මට මිනිසුන්ගේ මනසට ඔබ්බවන මතයක් තමයි සහනාධාර ජීවත් වෙන්න ඕන කියන කාරණය. දැන් බලන්න ප‍්‍රයිවට් සෙක්ටර් එකේ කොච්චර රස්සා තියෙනවද? ඒත් කැම්පස් අවුට් වුණාම කැම්පස් ගිය කෙනෙක් හිතන්නෙ අපිටනෙ රුකියාවක් දෙන්න ඕන කියලයි. ඒකත් අපේ රටේ දේශපාලකයන් ප‍්‍රමුඛ සමහර අය අපේ මිනිසුන්ගේ ඔළුවට කාවද්දන මතයක්. කැම්පස් ගිහින් එළියට බහින කෙනා ඊටපස්සේ කරන්නේ පිකටින් කර කර රජයේ රැකියා ඉල්ලගෙන යන එක.
වාසනාව කියන දේ විශ්වාස කරනවද? මොකක්ද ඒ ගැන අදහස?
මෙහෙමයි. අපිට ලැබෙන්න තියෙනවනම් දෙයක් ඒක ලැබෙනවා කියලා මම විශ්වාස කරනවා. ඒ කියන්නේ අපිට හැමදෙයක්ම මොකක් හරි හේතුවක් නිසා ලැබෙනවා. මුකුත්ම නොකර ඉන්නවට වඩා හොඳයි අපිට වාසනාව නැහැ කියලා අපිට අවශ්‍ය දේ ලබාගන්න උත්සාහ කරන එක. මටත් තිබුණා මගේ ඉනෙන් පහළ පණ නැහැ. මම හරි අවාසනාවන්ත කෙනෙක් කියලා හූල්ල හුල්ලා ඉන්න. එහෙම වුණානම් අද මම කොතනද ඉන්නේ? මගේ ඉනෙන් පහළ අප‍්‍රාණික වුණාට පස්සේ මම මගේ ගාව තියෙන දේවල් මොනවද කියලා බැලුවා. මගේ අත් දෙක තියෙනවා. ඔළුවට ඒ යකඩ බාර් එක වැටුණට මගේ මොළයට හානියක් වුණේ නැහැ. මම වාසනාව කියන දේ විශ්වාස නොකර මගේ ගාව තියෙන දේවල්වලින් ජීවිතය ජීවත් කරවන්න උත්සාහ කළා. මම ෆයිනල් එක්සෑම් එකට ලිව්වා. පළවැනි පාර අසමත් වුණා. මම ආපහු ගොඩක් මහන්සිවෙලා එක්සෑම් කළා. මම පාස් වුණා. ඕනනම් මම අවාසනාවන්ත හින්දා එක්සෑම් ෆේල් වුණා කියලා මට ඉන්න තිබුණා. මමනම් කියන්නේ වාසනාව කියන දේ කෙනකුට උත්සාහ කරලා මහන්සිවෙලා තමන්ගේ ජීවිතයට සැලසුම් කරලා ලබාගන්න පුළුවන්. අපි පළවැනියා වෙන්න උත්සාහ කළොතින් අඩුම ගාණේ අපිට දෙවැනියා තුන්වැනියා හරි වෙන්න පුළුවන් නේද?
ඔබ දැනට වෛද්‍යවරියක්. ඔබ ඊට අමතරව මොනවද කරන්නේ?
මම පැරා ස්පෝට්ස් කරනවා. ඒ කියන්නෙ මම දැනට දියවන්නාවේ ඇවිත් නිවාඩු දවස්වලට ඔරු පදින තරගවලට පුහුණුවීම් කරනවා. අපි නිකම්ම හිටියොතින් රටේ නැති දේවල් මතක් වෙනවනේ. ඕවා මතක් කරලා හිතට දුකක් දෙන්න ඕන නැහැනෙ. නේද? මම ඔරු පදින්න කලින් ටෙනිස් සෙල්ලම් කළා. බැට්මින්ටන් ක‍්‍රීඩා කළා. මම ඔස්ටේ‍්‍රලියා ගිහින් ආවට පස්සේ මගේ යාළුවෙක් තමයි ඔරු පදින්න කතා කළේ. මගේ කෝච් ලසන්ත වැලිකල මහතා මාව දිරිමත් කරනවා ඒ සඳහා. මම මගේ ශක්තිය හදාගන්න ජීම් එකට පවා යනවා. ගිය අවුරුද්දේ තමයි ආසියානු පැරා ඔරු පැදීමේ චැම්පියන් ෂිප් එක තිබුණේ. හරියටම කියනවනම් ගිය අවුරුද්දේ ඔක්තෝබර්වල. ඔරු පැදීමේ කේවල තරගයෙන් මට ලෝකඩ පදක්කමක් ලැබුණා. මේ එන අප්‍රේල්වල ජපානයේ තියෙන පැරා ඔලිම්පික් එකට කොලිෆිකේෂන් ටූනමන්ට් එකක් තියෙනවා. මම මේ දවස්වල ඒකට සූදානම් වෙමිනුයි ඉන්නේ. ආබාධිත අයත් නිරෝගීව ඉන්නනම් ස්පෝට්ස් කරන්න ඕන. නිකම්ම හිටියොතින් නොයෙකුත් රෝගාබාධවලින් පීඩා විඳින්න වෙනවා. නමුත් අපේ රටේ ආබාධිත තරගවලට ගොඩක් ආමි නේවි වගේ ෆෝර්සස් අය තමයි සහභාගි වෙන්නේ. අපිටත් ඉතින් තමන්ගේ අතේ තියෙන සල්ලි වියදම් කරගෙනනේ ස්පෝට්ස් කරන්න වෙන්නේ. ඒ හින්දා ඉතින් ගොඩක් ආබාධිත සිවිල් අය පැරා ඔලිම්පික් යන්න හිතනවා තියා නිකම්වත් ස්පෝට්ස් කරන්න හදන්නේ නැහැ. ඒත් ආබාධිත අයට පැරාවලට යන්න ගොඩක් අවස්ථා තියෙනවා.
ඒ හින්දා මමනම් කියන්නෙ ඔබත් ආබාධිත අයෙක්නම් පැත්තකට වෙලා ඉන්න එපා ස්පෝට්ස් කරන්න. එහෙමත් නැත්නම් මොකක් හරි අවස්ථාවක් හදාගෙන ඒකෙන් ඉදිරියට යන්න. මොකද.. අත පය හතර හොඳට තිබිලත් අද වෙනකොට ගොඩක් අය ඉන්නේ ආබාධිතයන් වගේ. අපි හැමෝම ඒගොල්ලන්ට පෙන්නන්න ඕන අපි නෙවෙයි ආබාධිත ඒගොල්ලොයි කියන එක.
► Text — Chandana Waravitage