2020 පෙබරවාරි 01 වන සෙනසුරාදා

හොරකම් නවතමුද?

 2020 පෙබරවාරි 01 වන සෙනසුරාදා, ප.ව. 12:30 56

සිංහල සිනමා කර්මාන්තය ගැන අද බොහෝ දෙනා නොයෙක් විදිහට විවේචනය කරනවා. රජයෙන් මේ කර්මාන්තයට නිසි සහායක් ලැබෙන්නෙ නැහැලු. හොඳ චිත්‍රපට හැදෙන්නේ නැහැලු, ප්‍රේක්ෂක රසඥතාවයේ අවුලක් තියෙනවලු, සිනමාහල්වල පහසුකම් මදිලු.

ඒත් ඉඳලා හිටලා හොඳ චිත්‍රපටයක් මුදා හැරුනාම, ඒවා බලන්න සෙනඟ සිනමාහල් කරා ඇදී එනකොට අපට ආරංචි වෙනත් ප්‍රශ්නයක්. ඒ තමයි සිනමාහල්වල සිදුවන වංචා, දූෂණ. මෙය නතර නොකළහොත් චිත්‍රපට නිෂ්පාදනය කරන්න අපට ඉදිරියේ චිත්‍රපට නිෂ්පාදකවරු හොයා ගන්නට බැරි වේවී.

අදාළ බලධාරීන් මේ පිළිබඳව අවධානය යොමු කොට අවශ්‍ය පියවර නොගතහොත් ඉදිරියේදී අපට සිංහල සිනමාවක් ගැන කතා කරන්නට දෙයක් ඉතුරු නොවේවී.

 

හැංගුවේ කුමක්දෝ?

චිත්‍රපට, ටෙලි නාට්‍ය රූගත කරන දර්ශන තලවල අපූරු සිදුවීම් සිද්ධ වෙනවා.  හොඳ විහිලු කතා වගේම හාස්‍යජනක සිද්ධීන් ඒ අතර මතු වෙනවා.
ඔන්න එකතරා දර්ශන තලයක වැඩ කළාලු නිළියක්. එයා ගෙදරින් තමයි විශේෂ කෑම හදාගෙන එන්නේ ලන්ච් පෙට්ටියක දාලා.

දවසක් දවල් කෑම බ්‍රේක් එකේදී නළුවෙක් දැක්කලු මේ නිළියගේ ලන්ච් බොක්ස් එක මේසේ උඩ තියෙනවා. නිළිය නැහැ ළඟ පාතක. ඇය අත සෝදන්නට ගිහින් ඇතැයි හිතපු ඔහු කෑම පෙට්ටිය හැංගුවලු.
විනාඩි පහකින් විතර නිළියක් මේසේ ළඟට ආවත් එයා කෑම පෙට්ටිය හෙව්වෙවත් නැහැලු. ටික වෙලාවක් ගියාට පස්සේ මේ නළුවා එයාගෙන් ඇහුවලු. “ඔයාගෙ මොනවා හරි නැති වුණාද? කියලා. “නැහැනේ... ඇයි කිසි ගාණක් නැතුව කිව්වලු.
බැලින් නම් ඇය කළින්ම කෑම කාලා. හිස් පෙට්ටිය තමයිලු මෙසේ උඩ තියලා තියෙන්නේ.

 

වාසනාවෙන් ගේම මාට්ටු

ඔහු ජනප්‍රිය ශිල්පියෙක්. ඔහු විවාහකය. මිතුරන් බොහෝ දෙනෙක් සිටින හොඳ මිතුරකි. එහෙත් මිතුරන් සමඟ විනෝද වීමට ඔහුට ලැබෙන අවකාශ බොහෝමයක් සීමිතය.
පිටරට සංචාරයකට ඔහු මෑතක ගිය අතර ඔහු ලංකාවට ආපහු එන දිනය හරියටම බිරිඳට කියා නැත.

ලංකාවට ආපු ගමන් කටුනායක ගුවන් තොටුපළින් ගොඩ බැස්සට පස්සේ ඔහුගේ හොඳම මිතුරන් දෙදෙනකු සමඟ නුවරඑළිය ට්‍රිප් එකක් යාමට ඔහු සියල්ල සූදානම් කර තිබුණා.
නුවරඑළියෙන් කෙළින්ම ගෙදර යන්න හිතාගෙන හිටියේ කටුනායකින් එනවා වගේය.

ඔහු කටුනායකින් ගොඩ බැස්සේය. යාළුවෝ දෙන්නත් වාහනේක ඇවිත් හිටියා හොඳ ෆන් එකක් ගන්න බලාගෙන.
කටුනායකින් එළියට ආවාට පස්සෙ ඔහු වට්ස්ඇප් එකෙන් එයාගේ නෝනට කෝල් එකක් ගත්තා. “සුදූ මම දවස් තුනකින් ලංකාවට එනවා. ඔයා හොඳින් නේද? ඔහුට කියන්නට ලැබුණේ එපමණය. “අද අදිනවා - මහජන සම්පත කෝටි දෙකේ වාසනාව... කන් අඩි බිහිරි කරවමින් ලොතරැයි වෙළෙන්ඳෙක් එතනින් ගියාලු. “පිටරට මහජන සම්පත විකුණනවාද? සැක සිතුණු නෝනා ඇහුවලු.

“අයියෝ මූ වැඩේ කෑවානෙ. මම ඔයාට දැන් ගෙදරටම ඇවිත් සප්රයිස් එකක් දෙන්න හිටියේ සුදූ...
යාළුවෝ දෙන්නා ඔවුනොවුන්ගේ ගෙවල්වලට ගිය අතර අපේ යාළුවා කෙළින්ම ගෙදර ගියාලු. 

 

► Text - Mithra