විජය කුමාරණතුංගයන් ඝාතනය වී පෙබරවාරි මස 16 වැනිදාට වසර 32ක් සම්පූර්ණ වෙයි. 1945 ඔක්තෝබර් 9 වැනිදා ජාඇළදී උපන් විජය රසිකයන්ගෙන් සමුගෙන යන විට වයස අවුරුදු 42 කි.
විජය කුමාරණතුංග ශ්‍රී ලාංකික සිනමා තාරකා පරපුරේ අවසන් පුරුක යැයි මට සිතෙයි. ඔහුගෙන් පසුව කොතරම් තාරකා අංකුර සිනමාවේ බිහිවුණද, විජයගේ අඩුව පුරවන්නට නොහැකි විය.
වර්තමානයේ චිත්‍රපටයකට රසිකයන් ආකර්ෂණය කර ගැනීමට සමත් නළුවකු හෝ නිළියක සිටීදැයි සිතෙන තරමට සිනමාව පහළට වැටිලාය. ශ්‍රී ලංකාවේ නළු නිළියන් සිනමා තිරයේ දැකගැනීම සඳහා අද රසිකයෝ සිනමාහලට නොඑති. එහෙත් විජය කුමාරණතුංගයන් දැකගැනීමට රසිකයන් එදා පොරකෑවේ සිනමාහල්වල පමණක් නොවේ. තැනක් නොතැනක් ඔවුනට නොවීය.
ඔහු මා දැක ඇති කඩවසම්ම පිරිමියාය. දස දහස් ගණන් ජනතාව ඔහුට ආශක්ත වූයේද එබැවිනි. ඔහු ජනතාව අතර මෙතරම් ආදරයක් දිනාගත්තේ ආකර්ෂණීය පෙනුමෙන් පමණක් නොවේ. ඔහු සැබැවින්ම විවෘත මනසකින් හෙබි නිර්ව්‍යාජ කලාකරුවෙක් ද වන හෙයිනි.
ඔහුගේ සිනමා ආගමනයත් සමඟම දිනෙන් දිනම රසිකයන් ඔහු වටා රොද බැඳගත්තේ ඒ කාරණා දෙකම නිසා විය යුතුය. හන්තානේ කතාව චිත්‍රපටයේ ටෝනි රණසිංහ සමඟ විජය රඟපෑවේය. එහිදී වඩාත් සාර්ථක රංගනයක් ඉදිරිපත් කළේ ටෝනිය. ටෝනි කොහොමටත් මුහුණේ මතුවන ඉතා සියුම් ඉරියව් මගින් චරිතයකට ආවේශ වීමට හැකි දක්ෂතම රංගවේදියෙකි.
එකල විජයගේ ප්‍රියතම නළුවා වූයේ ටෝනිය. ඒ බව දිනක් මට පැවසුවේද ටෝනිමය. ඒ මෙසේය.
මචං හන්තානෙ කතාව කාලෙදි විජය මට කිව්වෙ ඔයා තමයි මගෙ ප්‍රියතම නළුවා කියලා.
විජය සිනමාවට එන කාලයේදී සිහින කුමාරවරුන් ලෙස කිරුළු පළඳා සිටියේ ගාමිණී හා ටෝනිය. ගාමිණී තිරය මත මවන දැවැන්ත පෞරුෂයත්, ටෝනිගේ තාරුණ්‍යය ඉහිරෙන අවිහිංසක පෙනුමත් එකල තිරයේ කිරුළු පළඳින්නට මහත් රුකුලක් විය.
විජය මට මුලින්ම හමුවූයේ කොහේදීදැයි කොතැනකදීදැයි දැන් හරිහැටි මතකයක් නැත. කෙසේ වුවත් 70 දශකයේ මුල් කාර්තුවේදී විය යුතුය.
සිනමා පුවත්පත් කලාවේදියකු වීමේ හා චිත්‍රපට අධ්‍යක්ෂණය ගැන හැදෑරීමේ නොතිත් ආශාවෙන් පානදුරෙන් කොළඹට පැමිණ කොළඹ පත්තර කන්තෝරු ගාණේ රස්තියාදු වෙන කාලයේ ඇතැම් උත්සවයකදී චිත්‍රපටයක මංගල දර්ශනයකදී හෝ වෙනත් එවැනි සාදයකදී ඔහු මට හමුවී යම්තම් සිනාවක් හුවමාරැ කර ගත්තා මතකය. එහෙත් මගේ සිතේ තදින් කාවැදුණු එක්තරා සිදුවීමක් ඇත. ඒ හොඳම නළුවා චිත්‍රපටයේ ගීතමය ජවනිකාවක් හැඳල ෆෙගාසස් රීෆ් හෝටලයේ දර්ශන තලයේදී රූගත කරමින් සිටි දිනෙකය. චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ ෂර්ලි පී. විජේරත්නය. නිෂ්පාදනය කළේ විජය හා බෙහෙවින් බැඳී සිටි ඇලරික් ලයනල් ප්‍රනාන්දුය. කැමරා අධ්‍යක්ෂණය ලලිත් ගුණවර්ධනය. ලලිත් ඉතා ශූර කැමරා ශිල්පියෙකි. තිමති වීරරත්නයන්ගේ සෙවණේ හැදී වැඩුණු ලලිත් මා හඳුනාගත්තේ පානදුරේ තිමති ස්ටූඩියෝවට නිතරම යාම ඒම නිසාමය.
එකල චිත්‍රපට කැමරා ශිල්පියකු යනු මහානුභාව සම්පන්න පුද්ගලයෙකි. වැඩ කෑල්ල ඇත්තේ ඔහු අතය.
කළු - සුදු දළ සේයාපටවලින් රූගත කරන චිත්‍රපට ජවනිකාවක් දැකගන්නට දින ගණනක් බලා සිටිය යුතුය. වර්තමානයේ මෙන් එකල රූගත කරන දර්ශනය එවෙලේම නරඹන්නට මොනිටරයක් නැත. ඒ නිසා අධ්‍යක්ෂවරයා කැමරා කාච පාවිච්චි කිරීමේ සිට බොහෝ කරුණු දැනගත යුතුය. නැතිනම් අධ්‍යක්ෂවරයාට කැමරාකරැගේ සිරකරුවකු වන්නට සිදුවෙයි.
එදින ලලිත් හා මා හැඳල ෆෙගාසස් රීෆ් හෝටලයට ගියේ උදේ වරැවේය. රෑගත කිරීමට තිබුණේ රාත්‍රී සමාජශාලාවක ගීත ජවනිකාවකි. මගේ මතකයේ හැටියට හොඳම නළුවා චිත්‍රපටයේ විජය රඟපාන්නේ ද්විත්ව චරිතයකි.
ගීතය ගයන්නේ එච්.ආර්. ජෝතිපාලය. එම ජවනිකාවේ ගීතය ගයන්නේද ජෝතිය. ගීතයට අනුව රැඟුමේ යෙදෙන්නී ශ්‍රීමාය. ශ්‍රීමා එකල සමාජශාලා රැඟුම් ගණනාවක පෙනී සිටි නිළියකි.
ජෝති යුරෝපීය හැඳුම් හැඳ ගීතය ගයයි. ඒ සමඟම ශ්‍රීමා රංගනයේ යෙදෙයි. සෑම ජවනිකාවක්ම රූගත කරන්නේ කඩින්කඩය.
විජය එම රාත්‍රී සමාජශාලාවේ මේසයක් අසල වාඩිවී කිසියම් බීමක් තොලගායි. ඔහු එදා හැඳ සිටියේ කළු පැහැ ඇඳුමක් බව මට මතකය. ෂර්ලි ලලිත් සමඟ එක්ව කඩියකු මෙන් එහෙ මෙහෙ දුවමින් රූපගත කිරීම්වල නිරත වෙයි. වරෙක ඔහු උස් හඬින් කෑගසයි.
විජය මේ රංගනයේ කිරුළ සොයා ගමන් අරඹන කාලයයි. ඔහු මා දෙස බලා ඉතා අහිංසකව සිනාසුණේය. ඒ සිනාවේ ලියැවී තිබුණේ ළෙන්ගතු බව, ගෞරවය හා අව්‍යාජත්වයයි. විජය වරක් දකින්නකුට තවත් වරක් දකින්නට කතා කරන්නට සිතෙන්නේත් වරක් බලා වරක් දෙවරක් නොව කිහිප වතාවක් බලන්නට සිතෙන්නේත් රුව ලස්සන පමණක් නොව ඒ අව්‍යාජත්වය නිසාමය.
කොහොමද? රූගත කිරීම් අතර විරාමයකදී ඔහු මා හා කතා කළේය. එකල සිනමා පුවත්පත්වල රූපගත කිරීමේ විශේෂාංග බෙහෙවින් ජනප්‍රියව තිබිණ. නළු නිළියෝද, සිනමාකරුවෝද ඒ විශේෂාංගවලට ප්‍රිය කළහ. එකල දැන් මෙන් සමාජ මාධ්‍ය හෝ රූපවාහිනී නාළිකා නොතිබීම නිසා තම සිනමා නිර්මාණයේ තොරතුරු ගෙන යාමේ එකම මාධ්‍ය වූයේද සිනමා පුවත්පත්ය.
මා විශේෂයෙන් හොඳම නළුවා චරිතය පිළිබඳව ආතර් යූ. අමරසේනමහතාගේ සිත්සර පුවත්පතට යමක් සටහන් කර ගත්තා මතකය.
රාත්‍රී සමාජශාලා දර්ශනයක් වුවද එය රූගත කෙරුණේ දවල් කාලයේය. ගීතය කිහිපවරක්ම වාදනය වෙයි. ජෝති ගැයූ ගීතය පසුබිමේ වාදනය වෙද්දී ජෝතිම තොල් සොලවමින් රඟපායි.
යුරෝපීය ඇඳුමෙන් සැරසී සිටියද ඔහු සපත්තු පැළැඳ නැත. පැළඳ සිටින්නේ සැන්ඩ්ල්ස් ජෝඩුවකි. ජෝති එකල නිතරම වාගේ පැළඳ සිටියේ එවැනි සැන්ඩ්ල්ස් වර්ගයේ (පටි සපත්තු) සපත්තුය. එය ඉතා පහසුය. රූගත කිරීම් කෙරෙන්නේ උඩුකය පමණක් නිසා සපත්තු නැති අඩුව නොපෙනෙයි. බයිස්කෝප් යනු එවැන්නකි. එක්තරා විධියකින් කිවහොත් රැවටීමකි.
හැන්දෑවේ හත හතහමාර වන විට රාත්‍රී දර්ශනවල රූපගත කිරීම් නිමාවිය. ජෝතිපාල රූපගත කිරීම් නිමාවූ සැණින් තම මෝටර් රථයෙන් ඉගිලුණේය. ඔහු කොහොමත් එහෙමය.
ගී පටිගත කිරීමකට ගියත් ඉක්මනින් ඔහුට ඒ කාර්යය නිමකළ යුතුය. කොහේ හෝ තවත් වැඩක් යොදාගෙන ඇත. ජෝතිගේ හදිසිය කොපමණද කියනවා නම් ඔහු තමන් හැඳ සිටි කෝට් එක දර්ශන තලයේ අමතකව දමා ගියේය.
ජෝති අයියා කෝට් එක දාලා ගිහිල්ලා දර්ශන තලයේ විදුලි ආලෝක උපකරණ අස්පස් කරමින් සිටි කවුදෝ කෑගසා කීවේය
දැන් මොකද කරන්නෙ.. ෂර්ලි ඇසුවේය.
යන ගමන් මාලිගාවත්තට ගිහින් දෙමු. ලලිත් කීවේය.
ඒ කාලයේ දැන් මෙන් ජංගම දුරකතන නොතිබිණ. ජෝතිව සම්බන්ධ කරගත හැකිව තිබුණේ ප්‍රධාන දුරකතන මගින් පමණි. ජෝතිගේ ගෙදරට දුරකතන ඇමතුමක් ගන්නේද ගෝලයෙකි. මා හිතන හැටියට ජෝතිව එකල බලාකියාගත් දාස ඇමතුමට පිළිතුරු දෙන්නට ඇත.
කෙසේ හෝ හැඳල වත්තල සිට කොළඹ ආ වෑන් රථයෙන් ජෝතිගේ කෝට් එක මාලිගාවත්ත මහල් නිවාසවලට දුන් බව මට යාම්තමින් මතක තිබේ. එකල විජය අප සමඟ ආවේ නැත. ඔහුගේ මෝටර් රථයෙන් ඔහු යන්නට ඇත. කෙසේ හෝ අද වනතුරැත් ෆෙගාසස් රීෆ් හෝටලයේදී විජය මා වෙත පෑ ඒ ළෙන්ගතු සිනාව මට මතක තිබෙන්නේ ඇයිදැයි මම නොදනිමි.
ලබන සතියේ
විජය, මාලිනී, කලං, කොස්තා, බන්දු සමඟ කල්පිටියේ ගෙවූ දවස්
► Text - Rodney Widanapathirana