මේ දිනවල කරන අලුත් වැඩ කටයුතු මොනවාද?
මේ දවස්වල ගමේ හුස්මත් එක්ක ජීවත් වෙනවා. අපි ගොවිතැන් එක්ක හිටපු මිනිස්සු. මේ දවස්වලත් වවාගෙන කන රටාවක් ගැන කතා කරමිනුයි අපි ඉන්නේ. ඒ අතරේ කලා කටයුතුවලටත් පුළුවන් විදිහට සම්බන්ධ වෙනවා.
ඔබේ ගමේ සුන්දරත්වය උපරිමයෙන්ම විඳපු කලාකරැවෙක්. ඒ අතීතය අපි ටිකක් මතක් කරමුද?
මම ඉපදුණේ කහටගස්දෙගිලිය ග්‍රාමීය රෝහලේ. ඒ 1959 අවුරුද්දේ ඔක්තෝබර් මාසේ. විසිහත් වැනිදා. මම අපේ පවුලේ බඩපිස්සා. මට තව අක්කා කෙනකුයි, අයියලා තුන් දෙනෙකුයි ඉන්නවා. මගේ තත්තාට ගමේ මිනිස්සු “රට වෙද මහත්තයා කියලයි කිව්වේ.
ඒ තාත්තා වෙද මහත්තයෙක් නිසාමද?
නැහැ. මගේ තාත්තාගේ ගම කඩුගන්නාවේ. මගේ තාත්තාගේ තාත්තාට වෙදකම් කිරීමේ හැකියාවක් තිබුණා. ඒ නිසාම තාත්තා මගේ ආත්තාගෙන් ඒ දෙවල් ටික ටික ඉගෙන ගෙන තියෙනවා. තාත්තා කලාවට ආස කරපු කෙනෙක්. ඒ නිසාම ආත්තාට හොරෙන් නැටුම් ටික ටික ඉගෙන ගෙන තිබෙනවා. හැබැයි ආත්තා ඒ දේවල් මුලදී දැනගෙන ඉඳලා නැහැ. තාත්තාගේ නැටුම් හැකියාව මුලින්ම ගමේ පෙන්නපු දවසේ ආත්තා හොරෙන් තාත්තාගේ නැටුම් බලාගෙන ඉඳලා තියෙනවා. ඉස්සර දරුවෙක් විශේෂ දක්ෂතාවයක් පෙන්නුවාම කැවුම්වලින් අත් පා තවන පුරුද්දක් ගමේ මිනිස්සුන්ට තිබිලා තියෙනවා. ඉතින් ආත්තා අපේ ආත්තාම්මට කියලා මිරිස් ගලේ හාල් අඹරලා කැවුම් හදලා අපේ තාත්තාට ඒ ගෞරවය දීලා තිබුණා.
සේනානායක පියා හමුදා නිලධාරියෙක්ව සිටියා නේද?
ඔව්... තාත්තා මිලටරි ආමි එකට බැඳිලා තියෙනවා. ඒකත් හරි අපූරු සිදුවීමක්. ඒ කාලේ මගේ තාත්තාට මටත් වඩා දිග කොණ්ඩයක් තිබිලා තියෙනවා. දවසක් තාත්තා එයාගේ යාළුවෙකුත් එක්ක කොලුකාරකමට කඩුගන්නාවේ ඉඳන් කොළඹ ගිහින් තිබුණා. ඔය අතරේ කොළඹ නගරයේ දිගම දිග පෝලිමක් මේ දෙන්නා දැකලා තියෙනවා. හොයලා බලද්දී ඒක පිටරට යන්න හමුදාවට තරුණයන් තෝරා ගන්න සම්මුඛ පරීක්ෂාවක දිග පෝලිමක්. මේ දෙන්නත් පෝලිමට එකතු වෙලා. හැබැයි සම්මුඛ පරීක්ෂණයේදී ගමේ ගම්මුලාදෑනිගේ ලියුමක් තියෙන්න ඕනේ කියලා එතැන කට්ටිය කියලා තියෙනවා.
කොළඹ ඇවිදින්න ආපු තාත්තාට ගම්මුලාදෑනියාගේ ලියුම ලැබුණේ කොහොමද?
තාත්තාටයි එයාගේ යාළුවටයි හමුදාවට බැඳෙන්න තිබුණේ පුදුම ආසාවක්. ඒ නිසාම ළඟ කඩේකින් ගත්තු සුදු කොළ දෙකක දෙන්නට දෙන්නා මාරු කරගෙන ගම්මුලාදෑනි ලියුම් දෙක ලියලා දීලා තමයි සම්මුඛ පරීක්ෂණයට ඉදිරිපත් වෙලා තියෙන්නේ. පුදුමේ කියන්නේ මේ දෙන්නම සම්මුඛ පරීක්ෂණවලින් තේරිලා.
ආත්තා හමුදාවට බැඳෙනවාට කැමති වෙලා තියෙනවා ද?
ඔව්... එදා තාත්තයි, එයාගේ යාළුවයි ගෙදර ඇවිත් ටික දවසකින් “නුවර ඉඳන් එන කොච්චියෙන් කොළඹට එන්න.. කියලා කැඳවීමක් කරලා තිබුණා. හමුදාවට දරුවෙක් දෙනවා කියලා කියන්නේ ඒ කාලේ ලොකු ගෞරවයක්. නැව් නගින්න කොළඹට යන තාත්තායි එයාගේ යාළුවයි කෝච්චියට නගිනකම්ම ගමේ මිනිස්සු හැමෝම බලාගෙන ඉඳලා තිබෙනවා. එදා තාත්තා එක මිටකට දිග කොණ්ඩය කපලා අත්තම්මාට “හවරියක් හදාගන්න කියලා දීලා තිබුණා.
ටික කාලයක් හමුදාවේ සේවය කරපු තාත්තා නිවාඩුවට ගෙදර ආවට පස්සේ ආයෙත් හමුදාවට සම්බන්ධ වුණේ නැහැ. ඒ කාලේ හැටියට අපේ තාත්තා ආයෙමත් හමුදාවේ සේවය කළා නම් මට කොළඹ රාජකීය විද්‍යාලයේ ඉගෙනුම ලබන්න තරම් අවස්ථාවක් උදා වෙන්න තිබුණා. නමුත් තාත්තා නැවතත් හමුදා සේවය බාර ගත්තේ නැහැ. ඒ නිසාම තාත්තා ඒ කාලේ හමුදාවේ සේවකයින්ට දීපු ගම්වලට ඉල්ලුම් කළා. තාත්තාට 1955 අවුරුද්දේ ගොඩින් අක්කර එකයි, මඩින් අක්කර තුනයි ලැබිලා තිබුණා. ඒ අනුරාධපුර දුටුවැව කියන ප්‍රදේශයෙයි.
ග්‍රාමීය රෝහලේ ඉපදුණු සේනානායකගේ ළමා කාලයත් හරි සුන්දර ඇති?
ඔව්... අපේ අම්මාත් එක්ක එකට හිටපු අම්මගේ යාළුවටයි, අම්මටයි එකම කාලයේදී තමයි ග්‍රාමීය රෝහලේදී දරුවන් ලැබිලා තියෙන්නේ. අපි දෙන්නාව ඉස්පිරිතාලෙන් ගෙවල්වලට එකම පරණ කාර් එකක තමයි එක්කගෙන ඇවිත් තියෙන්නේ. අපි දෙන්නම එකට හැදුණා. එකට ඉස්කෝලේ ගියා. එකට සෙල්ලම් කළා. දුටුවැව ඉඳන් බස් එකට නගින්න අපි කිලෝ මීටර් නවයක් පයින් ආවා. උදේ පාන්දර බස් එකකට යන්න අපි ගෙවල්වලින් හුළුඅතු පත්තු කරගෙන තමයි ආවේ. අපේ ගමට ළඟ තිබුණු ගම “බයි ගමක් සමහර අය ඒ ගමේ අයට “බයියෝ කියලත් කිව්වා. අපි ඒ ගමත් පහුකරලා ගම මැදින් වැව් බන්ට් එකෙන් එගොඩ වෙලයි කොළණියට ගියේ. ඒ නිසාම අපිට “කොළණියෝ කියලයි කිව්වේ. විවිධ පළාත්වල උදවිය ඒ කොළණියේ ජීවත් වුණා. ඒ ගමේම දොළහේ කෑල්ල, අටේ කෑල්ල, නවය කෑල්ල කියලා කොටස් වෙන් කළා. අපි අයිති වුණේ නවයේ කෑල්ලටයි.
රට වෙද මහත්තයා ගමේ ප්‍රසිද්ධ වුණා නේද?
ඔව්... තාත්තා ගමේ මිනිස්සුන්ට වෙදකම් කළා. ඒ නිසාම විවිධ ගම්වලටත් ගිහින් තාත්තා වෙදකම් කරලා තිබුණා. දවසක් අපේ තාත්තා ගෙදර විවේකීව ඉඳිද්දී මහ රෑට ඈතින් බෙර සද්දයක් ඇහිලා තියෙනවා. තාත්තා කලාවට හරියට ආදරය කරපු මනුස්සයෙක්. ඒ නිසාම එකදිගට රෑට රෑට ඇහුණ බෙර සද්දය ගැන හොයලා බලන්න තීරණය කරපු තාත්තා එක දවසක් ඒ බෙර හඬ දිගේ සොයාගෙන හුළුඅත්තකුත් පත්තු කරගෙන ගිහින් තිබුණා. ඉස්සර තොවිල් නටන පරපුරක් ගම්වල හිටියා. මේ තොවිල් නටන කණ්ඩායම ළඟට ගියපු තාත්තාව “මේ කොළණිකාරයෙක් ඇවිත් කියලා කතාබහ කරලා තිබුණා. බෙර ටිකක් තාත්තාට හුරැ නිසාම තාත්තා ළඟ තිබුණු බෙරයකට පොඩි තට්ටුවක් දාලා තිබුණා. තාත්තාගේ හැකියාව හඳුනාගත්තු තොවිල් පරපුරේ අය දෙඅත් එකතු කරලා “ආයුබෝවන් කියලා තාත්තාට ආචාර කළ බව ඒ කාලේ තාත්තා අපිට කිව්ව හැටි අදටත් මට මතකයි. තාත්තාට හොඳට ගායනා කිරීමේ හැකියාව තිබුණා. ශ්ලෝක අශ්ටක තාත්තා කියද්දී අහගෙන ඉන්න හරි ආසයි. ඒ දැනහැඳුනුම්කම නිසාම තාත්තා දන්න නැටුම් ඒ ගමේ මිනිස්සුන්ගේ දරුවන්ට තාත්තා කියලා දුන්නා.
ටික කාලයක් කලායතනයක් වුණේ ඒ ඉගැන්වීමද?
ඔව්... කාලයක් තිස්සේ ඒ දරුවන්ට නැටුම් උගන්වපු නිසාම “සරසවි කලායතනය නමින් කලායතනයක් ආරම්භ කළා. තාත්තා වෙදකම් කළා වගේම නැටුම් නැටුව නිසාම ගමේ උදවිය අපේ තාත්තාට “නටන වෙද මහත්තයා කියලත් කියන්න පටන් ගත්තා.
සේනානායක ඉගෙන ගත්තේ මොන පාසලෙන්ද?
මම ඉගෙන ගත්තේ අනුරාධපුර දුටුවැව මහ විද්‍යාලයෙන්, ඒ පාසලේ මුලින්ම මල්ලිකා ආරච්චි කියන ගුරැතුමිය තමයි වැඩ බාරඅරගෙන තිබුණේ. ඒ අපේ විදුහල්පතිනියයි. ඇයගේ දුව වන මානෙල් ගුරුතුමිය තමයි මගේ මුල්ම ගුරැතුමිය වුණේ. “නටන වෙද මහත්තයා ගමේ ප්‍රසිද්ධ නිසාම පිට පළාත්වලින් අපේ පාසලට ඉගෙන්වීම් කටයුතු කරන්න ආපූ ගුරුවරියක් අපේ නිවසේ බෝඩින් වෙලා හිටියා. ඒ නිසාම පුංචි කාලේ ගෙදරදීත් මාව බැලුවේ ඒ ගුරු මණ්ඩලේම අයයි. අපේ ගෙදර ඒ කාලේ කරන්ට් තිබුණේ නැහැ. තාත්තා පැට්‍රෝල් මැට් එකක් පත්තු කරගෙන ඉස්කෝලේ ඇරිලා හවස කලායතනයට ආපූ දරුවන්ට රෑ එක දෙක වෙනකම්ම නැටුම් කියලා දුන්නා.
සේනානායක බෙර වාදනය ඉගෙන ගනිද්දී වයස කීයද?
එහෙම වයසක් කියන්න තේරෙන්ණේ නැහැ. මම චූටි කාලේ, බෙරේකට හරියට අත දිග නැති කාලෙත් මම බෙර ගහන්න පුරුදු වුණා. ඒ පැත්තට බඩ ගාලා ඒ පැත්තට තට්ටු කළා. මෙහා පැත්තට බඩ ගාගෙන මේ පැත්තට තට්ටු කළා. බෙරයට අතපය දිග නැති කාලේ ඉඳන්ම මම ඒවාට සම්බන්ධ වුණා. මට තාම මතකයි ඒ කාලේ අපේ ගෙදරට සර්පිනාවක් ගෙනවා. මට ඒක ගහන්න අයියලා දුන්නේ නැහැ. “හරි උඹලා නිදා ගනින්කෝ කියලා මම හිතලා.. අයියලා නිදා ගන්නා තුරු ඇහැරිලා හිටියා. එයාලා නින්දට ගියාට පස්සේ අර සර්පිනාව ළඟ වාඩි වෙලා ඒක ගහන්න පුරුදු වුණා.
එළිවෙන තුරු පුරුදු වුණා. පහුවදා ඒ හැමෝටම ඇහෙන්න ඒක වාදනය කරද්දී මහ පුදුමයෙන් මම දිහා බලාගෙන හිටපු මගේ අයියලා “උඹ දක්ෂයානේ කියලා එදා මාව වර්ණනා කළා. පහුගිය කාලය වෙද්දී මේ කලායතනය සංස්කෘතික කලායතනයක් වුණා. ඔය අතරේ අනුරාධපුර තිබුණු කලායතන තරගවලට සම්බන්ධ වෙලා මම ජයග්‍රහණ බොහෝමයක් ලබාගත්තා. අපේ තාත්තාට හිටවන කවි ගායනා කිරීමේ හැකියාව තිබුණා. ඒ හුරුව අපිටත් ලැබුණා. තාත්තලා කවි කියද්දී බෙර සද්දයකටත් වඩා අපිට තානම කියන්න තිබුණා.
අනුරාධපුරයේ හිටපු සේනානායක කොළඹට සම්බන්ධ වෙන්නේ කොහොමද?
ගමේ කලායතනවලින් ජයග්‍රහණ ලබද්දී ඒ කාලේ දක්ෂම කලාකරුවකු වූ ශ්‍රී ජයනා ගුරැතුමාගේ සංගීත කණ්ඩායමට සම්බන්ධ වෙන්න මටත් අවස්ථාව ලැබුණා. සම්මුඛ පරීක්ෂණ තුනකින් පිරිස තෝරා ගන්න යොදාගෙන තිබුණාම පළමු සම්මුඛ පරීක්ෂණය අවසානයේදී “තව දින කිහිපයකින් බෙරේ අරගෙන කොළඹට එන්න පුළුවන් ද කියලා මගෙන් ඇහුවා. ගමේ ගියපු මම දින කිහිපයකින් මගේ බෙරෙත් අරගෙන කොළඹට ආවා. මට තාම මතකයි කොළඹට ඇවිත් කොළොන්නාවේ ඒ කලායතනයට යන්න මම දැනගෙන හිටියේ නැහැ. ඒ නිසාම කොළඹ බෝගහ යට නීලගිරි හෝටලය ළඟ මාව එක්කගෙන යන්න කවුරු හරි එනකන් බලාගෙන හිටියා. ටික වෙලාවකින් බෙරෙන් මාව හඳුනාගත්තු එක ළමයෙක් ළඟට ඇවිත් “එන්න යන්න කියලා මාව කලායතනයට එක්ක ගෙන ගියා.
ඒ කලායතනයෙන් අයින් වුණේ ඇයි?
මම ඒ කණ්ඩායමේ බෙර වාදකයකු ලෙසින් ප්‍රසංග කිහිපයකටම සහභාගී වුණා. කාලයකට පස්සේ මම සිංහල අලුත් අවුරුද්දට ගෙදර එන්න හදද්දී මට මගේ බෑග් එකයි, මුදල් සියල්ලම නැති වුණා. අලුතින් කණ්ඩායමට ආපු කෙනෙක් ඒ සියල්ල අරගෙන ගිහින් තිබුණා. ඒ දේවල්වලින් මට කලකිරුණා. ඒ සිංහල අලුත් අවුරුද්දට කිසිම දෙයක් නැතිව මට ගමේ යන්න සිද්ධ වුණා. ඒ කලකිරීම නිසාම මම ආයෙත් කොළඹට ආවේ නැහැ.
නැවතත් කොළඹට එන්න මඟ පෑදෙන්නේ කොහොමද?
සංස්කෘතික අමාත්‍යාංශයේ කලායතනවලින් පිරිස ගන්නවා කියලා දැනගත්තු මට ආයෙත් කොළඹට එන්න ආසා හිතුණා. සම්මුඛ පරීක්ෂණයෙන් මාව තේරැණා. ඒ 1983 වසරේදී රාජ්‍ය නැටුම් හා වාදක කණ්ඩායමට මම සම්බන්ධ වෙලා බෙර වාදනය කළා. ඔය අතරතුරේ ගායනයට සම්බන්ධ වුණා. ටිකින් ටික අත්වැල් ගායනයට සම්බන්ධ වුණු මට නිර්මාණ කරන්නත් අවස්ථාව ලැබුණා. රාජ්‍ය නැටුම් හා සංගීත කණ්ඩායමේ කාලයක් මම හිටියා. ඔය අතරේ ප්‍රවීණයන් ඇසුරු කරන්න අවස්ථාව ලැබුණා. රජරට සේවයේ නව රැල්ළෙන් මාව සරල ගී අංශයට තෝරා ගත්තා. ගුවන් විදුලි සංස්ථාවේදී “ඒ ශ්‍රේණියේ ගායකයෙක් ලෙස මාව ශ්‍රේණි ගත වුණා.
► Text - Dishani / Pic – Internet