2020 පෙබරවාරි 01 වන සෙනසුරාදා

කෘමියන්ගෙන් අලුත් කිරක් අලුත් කිරෙන් අයිස්ක්‍රීම්

 2020 පෙබරවාරි 01 වන සෙනසුරාදා, ප.ව. 12:30 91

අයිස්ක්‍රීම් කියන්නෙ සාමාන්‍යයෙන් එළකිරි යොදාගෙන හදන රසවත් ආහාරයක්. හැබැයි දකුණු අප්‍රිකාවේ කේප්ටවුන් නගරයේ ආරම්භ කරන ලද Gourmet Grubb අවන්හල අයිස්ක්‍රීම් හදන්න පාවිච්චි කරන්නෙ හරි අමුතු දෙයක්. ඒ තමයි කෘමි සත්තු.

එයාලා කෘමි සත්තුන්ගෙන් එළකිරිවලට විකල්පයක් හදලා. ඝර්ම කලාපයේ වෙසෙන Black Solider Fly කියන කෘමියාගෙන් ඔවුන් නිෂ්පාදනය කරන මේ කිරි වර්ගය ඔවුන් නම්කරලා තියෙන්නෙ එන්ටො මිල්ක් කියලයි. අපට වැඩිපුරම අවශ්‍ය වුණේ මිනිස්සු කෘමි සත්තු දිහා දකින විදිහ වෙනස් කරන්නයි. කෘමි සතුන් කියන්නෙ හොඳ විකල්ප ආහාරයක් කියලා පෙන්වා දෙන්න අපට වුවමනා වුණා... Gourmet Grubb අවන්හලේ හිමිකරු පවසනවා. 

ඔහු පවසන විදිහට මේ අලුත් අයිස්ක්‍රීම් වර්ගයට මිනිස්සු කැමති වෙයිද කියන එක ගැන දෙගිඩියාවක් තිබුණත්, මේ වෙද්දි ගොඩක් පාරිභෝගිකයො මේ අලුත් අයිස්ක්‍රීම් එකට ඇලුම් කරන්න පටන් අරන්. එන්ටොමිල්ක් වලින් හදන අයිස්ක්‍රීම් චොකලට්, පීනට් බටර් සහ ක්‍රිස්මස් ස්පයිසස් වගේ විවිධ රසවලින් ඉදිරිපත් කරලා තිබීමත් විශේෂත්වයක්. යන්තමින් දැනෙන ශාකමය රසක් තිබුණත් මේ අයිස්ක්‍රීම් එකේ කිරි රසයත් සාරවත් ගතියත් ඉතා ඉහළ බවත් දැනගන්න ලැබෙනවා. 
රස විතරක් නෙමේ එන්ටොමිල්ක් නිසා මේවායේ ගුණාත්මක බවත් ඉතාම ඉහළයි. එළකිරිවලට වඩා පස් ගුණයක් ප්‍රෝටීන් එන්ටොමිල්ක්වල අඩංගුයි. අවන්හලේ හිමිකරු පවසනවා. 

ඒ විතරක් නෙමෙයි. එන්ටොමිල්ක් හදන්න ගන්න Black Solider Fly කෘමියා තුළ හරක් මස්වලට සමාන ප්‍රෝටීන හා මේද ප්‍රමාණයකුත්, හරක් මස්වලට වඩා වැඩි සින්ක්, යකඩ හා කැල්සියම් ප්‍රමාණයකුත් අන්තර්ගත බව පර්යේෂණවලින් හෙළිකරගෙන තිබෙනවා. එන්ටොමිල්ක්වල අනෙක් විශේෂත්වය වන්නේ වෙනත් කිරි වර්ගවල වගේ කාබෝහයිඩ්‍රේට් හෝ සීනි අඩංගු නොවීමයි. මේ හින්දම එන්ටොමිල්ක් ලෝක ආහාර නිෂ්පාදනයේ පෙරළියක් ඇතිකරාවි කියලත් බොහෝදෙනෙක් කල්පනා කරනවා. 
එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වලා දීලා තියෙන විදිහට 2050 වෙද්දී වැඩිවන ලෝක ජනගහනයට හිඟයකින් තොරව කන්න බොන්න නම් දැනට තියෙන ලෝක ආහාර නිෂ්පාදනය දෙගුණ කරන්න වෙනවා. ඉතින් ඒ අභියෝගය ජයගන්න තියෙන එක සාර්ථක ක්‍රමයක් විදිහටත් කෘමි සතුන් ආහාර නිෂ්පාදනය සඳහා යොදාගැනීම හඳුනාගෙන තියෙනවා. 

කොහොම නමුත් මේ වෙද්දි ලෝකෙ පුරා විවිධ රටවල්වල කෘමි විශේෂ 1900ක් විතර ආහාර පිණිස ගන්නා බව සඳහන්. ඒත් බටහිර සූප ශාස්ත්‍රය නම් තවමත් කෘමි සතුන් ආහාර සඳහා යොදාගැනීමට සූදානම් බවක් පෙනෙන්නට නැහැ.

සී.එන්.එන්. ඇසුරෙනි

► Text - Suranga   /   Pic -  Internet