2020 පෙබරවාරි 01 වන සෙනසුරාදා

සමහර ගුරුවරු නැටුම ගංජා කොළේට දාලා

 2020 පෙබරවාරි 01 වන සෙනසුරාදා, ප.ව. 12:31 358

චන්දන.. මේ දිනවල ලොකු වැඩකට සූදානම් වෙනවා කියලයි ආරංචිය.. මේ අපූරු දවස ගැන ටිකක් කියමු..?
අපි නර්තන කණ්ඩායම් ආරම්භ කරලා මේ වනවිට අවුරුදු විසි හතරක් විසි පහක් විතර වෙනවා. මේ කාලය පුරාවටම අපි කලඑළි මංගල්‍යයන් දෙකයි පැවැත්වුවේ. අද වනවිට ලංකාව පුරාම නර්තන ශිල්පීන් වෙස් තැබීමේ මංගල්‍ය, පායිම්පත් තැබීමේ මංගල්‍ය පවත්වන කාලයක මේ අවුරැදු ගණනාවටම මම වෙස් තැබීමේ, පායිම්පත් තැබීමේ මංගල්‍යයන් දෙකයි පැවැත්වුවේ. ඒකෙනුත් ඉගෙනගන්න දරුවන්ගේ දක්ෂතා අනුව ඒ දරුවන්ව ඒ සඳහා යොමු කරනවා. අද වනවිට මේ නර්තන ප්‍රසංග විලාසිතාවක් බවට පත්වෙලා අවසානයි. සමහර ගුරුවරු නර්තනය ටික දවසක් ඉගෙනගෙන දරුවන් ටිකක් එකතු කරගෙන නර්තන උගන්වනවා. ඔය අතරේ මාස කිහිපයකින්ම නර්තන ප්‍රසංගයක් පවත්වනවා. ඒ වගේ නර්තන ප්‍රසංගයක් අපි අවුරුදු හතරකට වරක් පමණයි පවත්වන්නෙ. ඒකත් කරන්නෙ තුන්වැනි පාරටයි. මීට අවුරුදු අටකට කලින් සළඹ 01 නමින් ප්‍රසංගයක් මියුසියස් ශ්‍රවණාගාරයේදී පැවැත්වුවා. ඊට අවුරුදු හතරකට පසුව සළඹ 02 බිෂොප් ශ්‍රවණාගාරයේදී පැවැත්වුවා. ඊටත් වසර හතරකට පසුව සළඹ 03 මේ වසරේදී අපි කලඑළි දකිනවා.

මේ දවස උදාවෙන්නෙ කවදාද..?
මේ සළඹ 03 ප්‍රසංගය පවත්වන්නෙ පෙබරවාරි මස තුන්වැනි සඳුදා සවස හයයි තිහට කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවෙයි. මේ වනවිට අපේ කලායතන මොරටුව, නුවර, මාතර, කඩවත, නිට්ටඹුව සහ ගම්පහ පවත්වනවා. ඒ කලායතනවල ඉගෙනුම ලබන දරුවන් හයසීයක් පමණ මෙම දැවැන්ත ප්‍රසංගයට සම්බන්ධ වෙනවා. නර්තන විශේෂාංග තිස් පහක් පමණ එදාට වේදිකාගත වෙනවා. මෙවර මේ ප්‍රසංගය මම තනියම පවත්වන්නෙ නැහැ. මාත් එක්ක එකතු වෙනවා අපේ කලායතනයේ සේවය කරන ප්‍රධාන ගුරුතුමිය ෂෙරීන් පෙරේරා. ඇය මේ වනවිට මිලාගිරිය ශාන්ත පාවුළු බාලිකා විද්‍යාලයේ නර්තන ගුරැතුමිය ලෙස සේවය කරනවා. ඇය මගේ ප්‍රධාන ගෝලයෙක්. මගේ පාසල ආරම්භ කර දින කිහිපයකට පසුව ඇය මගෙන් නර්තනය ඉගෙන ගත්තා.

ඔබ කලායතනයෙන් ප්‍රායෝගික මෙන්ම ලිඛිත විභාග සඳහාත් දරුවන් පුරුදු පුහුණු කරනවා නේද..?
ඔව්.. මේක නර්තන පාසලක්. මේ පාසලේ ඇකඩමි කොටස ෂෙරීන් පෙරේරා ගුරුතුමියට බාරදීලා තියෙන්නෙ. ඇය මේ ආයතනයේ විභාග කටයුතු පිළිබඳව වගකීම් දරනවා. අපි දරුවන්ව පාරම්භය, මධ්‍යම සහ අවසන් නර්තන විභාගවලට ඉදිරිපත් කරනවා. ඒ වගේම අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට වගේම අ.පො.ස. උසස් පෙළ විභාගයටත් දරුවන්ව සූදානම් කරනවා. අද වන විටත් අපේ නර්තන පාසලේ ඉගැන්වීම් කටයුතු කරන ගුරු මණ්ඩලය තම කොටස ඉතා මැනවින් සිදු කරනවා. හැම දරුවකුටම නර්තන විෂය නිර්දේශයට අනුව මේ නර්තන පාසලේ ඉගැන්වීම් සිදු කරනවා. අපගේ පන්තියට එන දරුවන් පැයකින් නිවසට යන්නේ නැහැ. අඩුම තරමේ එක දවසකට පැය තුනක්වත් ප්‍රායෝගික සහ ලිඛිත ඉගැන්වීම්වලට ඒ දරුවන්ව යොමු කරනවා. පෞද්ගලික පාසල්වල විදිහට අපගේ කලායතනය මගින් නර්තන කටයුතු සිදු කරනවා. මේ ඉගැන්වීම්වලට ගුරු මණ්ඩලය වසර අවසානයේදී වගකියනවා. ප්‍රායෝගික, ලිඛිත වගේම බෙර වාදනයත් අපේ කලායතනයේ ඉගැන්වීම් කරනවා. මට විශ්වවිද්‍යාලවල ඉගෙනුම ලබපු හොඳ දක්ෂ ගුරු මණ්ඩලයක් ඉන්නවා. නර්තන පන්තිවල ගෝලයෝ අපේ කලායතනයේ ඉගැන්වීම් කරන්නෙ නැහැ. ඒ වෙනුවට විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබූ දක්ෂ ගුරු මණ්ඩලයක් තමයි ඉන්නෙ.

සළඹ 03 ප්‍රසංගයට වැඩි වශයෙන් දායක වෙන්නෙ ඔබ කලායතනවල ඉගෙනුම ලැබූ කුඩා දරුවන්.. එහෙම නේද..?
ඔව්.. මේක ළමා ප්‍රසංගයක්. මගේ ප්‍රධාන නර්තන කණ්ඩායම්වල ශිෂ්‍ය ශිෂ්‍යාවනුත් මේ ප්‍රසංගයට දායක වෙනවා. නමුත් මූලික තැන ලබා දෙන්නෙ ළමා නර්තන දරැවන්ටයි. අපි දරුවන්ට නිවැරදි මඟ පෙන්නලා දෙන්න ඕනෙ. ඒ තරම් දූෂිත වෙච්ච සමාජයක් අද තියෙන්නෙ. මේක කිසිම ආර්ථික ලාභයක් තියාගෙන කරන ළමා ප්‍රසංගයක් නෙමේ. මේක දරුවන් වෙනුවෙන් කරන ප්‍රසංගයක්. අවුරුදු තුනහමාරේ දරැවාගේ සිටම මේ ප්‍රසංගයට දරුවන් සම්බන්ධවෙලා ඉන්නවා.

වර්තමානයේ පවතින ඇතැම් නර්තන ප්‍රසංගත් එක්ක ප්‍රවීණ නර්තන ගුරුවරයෙක් විදිහට ඔබට සෑහීමකට පත්වෙන්න පුළුවන්ද..?
කොහෙත්ම බැහැ. අද තියෙන සුභාවිත නර්තන කලාව ඇතැම් මාධ්‍ය හරහා විකෘතියක් බවට පත්වෙලා. නිළියෝ පපුව එළියේ දාගෙන නටන මට්ටමට ඇතැම් නර්තන ගුරැවරැ නර්තන වෘත්තිය ගණිකා වෘත්තියේ තැනට දමලා ඉවරයි. නිළියන්ව හැට්ටේ නැතිව නටන තරමට නර්තනය මාධ්‍ය හරහා අද ගෙදරට ගෙනල්ලා ඉවරයි. ගැහැනිය කියන්නෙ ළදැරියක්, දැරියක්, තරුණියක්, බිරියක්, අම්මා කෙනෙක්, මිත්තණියක් දක්වා යන උදාර චරිතයක්. ඇගේ සිත, කය කොයිතරම් සංවර වෙන්න ඕනෙද? අද සිත, කය, වචනය නැතිකම පාර්ලිමේන්තුවටත් ගිහින් ඉවරයි. සෞන්දර්යත් කලාවත් නැතිව හැදුණාම ඔහොම වෙනවා. මේක දෙවරක් කාන්තාවන් දෙදෙනෙක් පාලනය කරපු රටක්. ඔය පුංචි දරුවන් ගොඩේ අනාගත ජනාධිපතිවරු ඇති. තොටිල්ල පදවපු අත දෙවතාවක් මේ රට පාලනය කළා. අද මේ රට යන දිහා බල්ද්දී මට හරි කනගාටුයි. මේ මුළු සළඹ ප්‍රසංගයේම එක බොලිවුඩ් ගීතයකට පමණයි නර්තන ඉදිරිපත් කරන්නෙ. අනිත් සියල්ලම අපේ නර්තන අංගයි.

නර්තනය පුහුණු වෙද්දී ඉතා සංවර ඇඳුම් ඇඳගෙන පුහුණු වුණත් වේදිකාවේදී නර්තනය ඉදිරිපත් කරද්දී ඒ ඇඳුමේ සංවරකමක් පේන්නෙ නැහැ.. ඇයි එහෙම වෙන්නෙ..?
ඒකටත් ප්‍රධාන හේතුව වෙන්නෙ ඇතැම් මාධ්‍යය. අද බොහෝ දෙනා නර්තනය ඉදිරිපත් කරන්නෙ අඩ නිරුවතින්. ඇඟේ හයියට නටන ඇතැම් නර්තන ගුරුවරු ඒ නර්තන කලාව ගංජා කොළේට දාලා ඉවරයි. නර්තනය කියන්නෙ උත්තරීතර කලාවක්. ඒත් සමහරු ඒක මුදල්වලට විකිණුවා. අපි නයිට් ක්ලබ් ගිහින් නැහැ. අපේ අම්මා, තාත්තා, ගුරුවරු කියපු විධානයට අපි වැඩ කළා. අපිට හොඳ ප්‍රවීණ ගුරුවරුන් ඇසුරට ලැබුණා. ඔවුන්ගේ ආශිර්වාදය අපිට නිතැතින්ම ලැබුණා. ඇත්තටම ඇතැම් නර්තන අංගයන් ගැන හිතන දැනෙන්නෙ ලොකු කලකිරීමක්.

 

► Text - Dishani  /  Pic – Sumudu