2020 පෙබරවාරි 08 වන සෙනසුරාදා

රැල්ලට යන්න හිතක් නෑ

 2020 පෙබරවාරි 08 වන සෙනසුරාදා, ප.ව. 12:30 162

- ලසිත් දසනායක

ලසිත් සංගීත ක්ෂේත්‍රයට ආවෙ කොහොමද..?
මගේ අම්මගේ පරම්පරාවෙ ගොඩක් දෙනෙක් සංගීත ක්ෂේත්‍රය පැත්තට නැඹුරුයි. මගේ ලොකුඅම්මයි මාමයි දෙන්නම සංගීත ගුරුවරු. ඒ වගේම මගේ අම්මගේ පවුලේ හැමෝටම ගීත ගායන හැකියාව තියෙනවා. මගේ නංගි පවා සංගීතය විශාරද දක්වාම ඉගෙන ගත්තා. හැබැයි අම්මගේ පවුලෙන් මම තමයි සංගීතය අඩුවෙන්ම කළේ මම සංගීතය ඉගෙන ගත්තෙ නෑ. මේ සඳ වුණත් සින්දුව ගායනා කරන බුද්ධික උෂාන් කියන්නෙත් මගේ අයියා කෙනෙක්. 

මම ඇත්තටම මුලින්ම සින්දුවක් ලිව්වෙ ගෑනු ළමයෙකුට දෙන්නයි. ඒ සින්දුවේ මෙලඩි එක හැදුවෙ ජිනා ජිනා හින්දු සින්දුවෙ මෙලඩි එකට. කොහොමහරි මම ඒක මුලින්ම Facebook එකට දැම්මා. ඒ සින්දුව දෙදාහකට වැඩි පිරිසක් අහලා තිබුණා. එහෙම තමයි ටිකෙන් ටික මගේ ආරම්භය සිදුවුණේ. හැබැයි මම පාසල් යන කාලෙ ඉඳන් ගීත ගායනා කළා. මගේ පාසල මහනුවර කින්ග්ස්වුඩ් විද්‍යාලයයි. අපේ පාසලේ සිහින දොරකඩ නමින් සංගීත ප්‍රසංගයක් පවත්වනවා. අවුරුදු තුනක් විතර මම ඒ ප්‍රසංගයේ ගීත ගායනා කළා.

ගීත ගායනය, ගී පද රචනය යන දෙකම ලසිත් සිදු කරනවා. ඒ වගේ නිර්මාණය වුණු ඔබේම ගීත කීයක් තියෙනවද..?
මේ අවුරුදු දෙක ඇතුළත මම නිර්මාණය කරපු ගීත දහයකට ආසන්න සංඛ්‍යාවක් තියෙනවා. හැබැයි ඒ ගීත අතරින් ගීත පහක් විතර ගොඩක්ම ජනප්‍රිය වුණා. ඕනෑම කෙනෙක් දියුණු වෙන්නෙ තමන්ට ලැබෙන අත්දැකීම් එක්කයි. ඒ නිසා මිනිස්සු රසවිඳින්නෙ කොයි වගේ සින්දුද, මිනිසුන්ගෙ අවශ්‍යතාව මොකක්ද කියන එක තේරුම් ගන්න ටිකක් කල් ගතවෙනවා. ඒ වගේ අත්දැකීම් එක්ක කරන නිර්මාණ සාර්ථක වීමට තියෙන ඉඩකඩ වැඩියි.

ඔබ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ ඉගෙනුම ලබන ශිෂ්‍යයෙක්. අධ්‍යාපනයත් සමඟ සංගීත වැඩ කටයුතු කරගෙන යන්නෙ කොහොමද..?
මම පාසල් යන කාලේ ඉඳන්ම අධ්‍යාපනයට අමතරව බාහිර ක්‍රියාකාරකම්වලට සහභාගි වුණු කෙනෙක්. පොතපතටම ඇලිලා ගැලිලා වැඩ කරපු කෙනෙක් නෙවෙයි. පාසල් යන කාලේ පාසලේ බොක්සින් කණ්ඩායමේ නායකයා වෙලා හිටියා. පදක්කම් දිනාගත්තා. පාසලේ ඉංග්‍රීසි විවාද කණ්ඩායම නියෝජනය කළා. පාසලේ ශිෂ්‍ය නායකයෙක් වගේම ක්‍රීඩා නායකයා ලෙසත් කටයුතු කළා. ඒ වගේ ගොඩක් බාහිර වැඩ කළා. ඒ නිසා මට ඒක පුරුදු දෙයක්. විශ්වවිද්‍යාල කටයුතුයි සංගීත කටයුතුයි මම මගේ විදියට කරගෙන යනවා. මම හිතන්නෙ පොත්ගුල්ලෙක් වෙලාම හරියන්නෙ නෑ. හැමදේම කරන්න ඕන. එතකොට තමයි බය නැතුව ඕනම දෙයකට මුහුණදීලා තමන්ගේ වැඩ කටයුතු කරගෙන යන්න පුළුවන් වෙන්නෙ.

අනාගතය දකින්න කැමති ඉංජිනේරුවෙක් විදිහටද.. ගායකයෙක් විදිහටද..?
අනාගතයේ කලාකරුවෙක් විදියට සංගීත ක්ෂේත්‍රයෙන් ඉදිරියට යන්න ආසයි. ඇත්තම කිව්වොත් ඉංජිනේරැවෙක් වෙන්න ලොකු ආසාවක් නැහැ. මම සංගීතය ඉගෙන ගන්න ආසයි. ඇත්තටම මම දැනට මාස හතරකට විතර ඉස්සෙල්ලා තමයි හරියටම ගිටාර් එකක් ගහන්න ඉගෙන ගත්තෙ. එහෙම ටික ටික ඉගෙනගෙනයි සේයාව ගීතය නිර්මාණය කළේ. ඒ ගීතයේ සංගීතය, මෙලඩි එක හැමදේම කළේ මමයි. ඒ නිසා මම ඉස්සරහට සංගීතය ඉගෙන ගන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඒ එක්කම උපාධියේ වැඩ කටයුතුත් කරගෙන යනවා.

ඇත්තම කිව්වොත් 2017 ඉඳන් මේ දක්වා ආපු ගමන ගැන හරිම සතුටුයි. මට ගොඩක් අය උදව් කළා. සමාජ ජාලා මාධ්‍ය හරහා ගොඩක් අය මුණගැහුණා. මම මේ ගමන ආවේ තනියම නෙමෙයි, නම් සඳහන් නොකළට විශාල පිරිසක් මාත් එක්ක ‍හිටියා. සන්තුෂ් වීරමන් අයියා මට කිව්වෙ මල්ලි වෙනස් දෙයක් කරන්න. රැල්ලට යන්න එපා කියලයි. මම කැමතියි මම වටා මගේම කියලා ප්‍රේක්ෂකයෝ රුසක් එකතු කර ගන්න. 

විශේෂයෙන්ම කියන්න ඕන දෙයක් තියෙනවා. මම තවත් ගායකයෝ හතර දෙනෙක් එක්ක එකතුවෙලා සන්නාල් නමින් සංගීත ප්‍රසංගයක් පවත්වන්න සූදානම් වෙනවා. ප්‍රසංගය පෙබරවාරි 20, විහාරමහාදේවි එළිමහන් රංග පීඨයේ තමයි පවත්වන්නෙ. මේක මගේ පළවැනි ප්‍රසංගයයි. මේ ප්‍රසංගයේ ගීත ගායනයට කල්පනා කාවින්දි, විදුල රවිශාර, යසස් මැදගෙදර, පියත් රාජපක්ෂ සහ මම එක්වෙනවා. ප්‍රසංගය ලංකාව වටේම පවත්වන්න බලාපොරොත්තු වෙනවා. හැමදෙනාටම ආදරයෙන් ආරාධනා කරනවා ප්‍රසංගය බලන්න එන්න කියලා.

 

► Text – Nirmani  /   Pic – Internet