2020 පෙබරවාරි 15 වන සෙනසුරාදා

ඉංග්‍රීසිය පරදා කොරියාව කප් ගැසූ 2020 ඔස්කාර්

 2020 පෙබරවාරි 15 වන සෙනසුරාදා, ප.ව. 12:30 212

සිනමා සම්මාන අතර ඉහළම සම්මානය ලෙස පිළිගැනෙන  ඔස්කාර් සම්මාන උළෙල හෙවත් ඇකඩමි සම්මාන උළෙල පෙබරවාරි 9 ඉරිදා  අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර ඩොල්බි රඟහලේදී 92වන  වරටත් පැවැත්විණි. ඇකඩමි ඉතිහාසයේ ප්‍රථම වරට ඉංග්‍රීසි බසින් නොවන චිත්‍රපටයක් හොඳම චිත්‍රපටය ලෙස සම්මානයට පාත්‍රවීම මෙවර උළෙලේ විශේෂත්වය විය. එම සම්මානය දිනාගනු ලැබුවේ දකුණු කොරියානු චිත්‍රපටයක් වූ පැරසයිට් චිත්‍රපටයයි. එය 2020 ඔස්කාර් සම්මාන උළෙලේදී වැඩිම සම්මාන දිනාගත් චිත්‍රපටය බවට පත් වෙමින් හොඳම චිත්‍රපටය, හොඳම අධ්‍යක්ෂණය, හොඳම විදෙස් චිත්‍රපටය සහ හොඳම තිර රචනය සඳහා වන සම්මාන 4ම හිමිකර ගත්තේය. ඇකඩමි සම්මාන ඉතිහාසයේ හොඳම චිත්‍රපටය සඳහා වන සම්මානය දිනාගත් පළමු ඉංග්‍රීසි නොවන චිත්‍රපටය බවට ද එය පත්විය. 

හොඳම අධ්‍යක්ෂවරයා වූ බොන්ග් ජූන් හො පැරසයිට් චිත්‍රපටයේ කතා රචකයා හා තිර රචකයාද වේ. මෙවර හොඳම චිත්‍රපටය සඳහා නිර්දේශ වී තිබූ අනෙකුත් චිත්‍රපට වූයේ ෆෝර්ඩ් වර්සස් ෆෙරාරි, දි අයිරිෂ්මන්, ජෝජෝ`රුබිට්, ජෝකර්, ලිට්ල් විමෙන්, මැරේජ් ස්ටෝරි, 1917 සහ වන්ස් අපෝන් අ ටයිම් ඉන් හොලිවුඩ් යන චිත්‍රපටයි. අධ්‍යක්ෂණය සඳහා නිර්දේශ වී සිටි අධ්‍යක්ෂවරුන් වූයේ මාර්ටින් ස්කොර්සෙස්, ටොඩ් ෆිලිප්ස්, සෑම් මෙන්ඩෙස් සහ ක්වින්ටින් ටරන්ටිනෝ වැනි හොලිවුඩ් සිනමාවේ දැවැන්තයන්ය. ඔවුන් සියල්ලන් අභිබවා බොන්ග් ජූන් හො හොඳම අධ්‍යක්ෂවරයා ලෙස සම්මානයට පාත්‍ර විය. 

හොඳම අධ්‍යක්ෂ සම්මානය සඳහා නිර්දේශ වූ අධ්‍යක්ෂවරැන් වෙත තම ප්‍රණාමය දැක්වූ බොන්ග් ජූන් හො තමා සිනමාකරණය  හැදෑරැවේ මාර්ටින් ස්කෝර්සෙස් වැනි අධ්‍යක්ෂවරැන්ගේ නිර්මාණ නැරඹීමෙන් යැයි ප්‍රකාශ කළ අවස්ථාවේ ශාලාවේ සිටි සියල්ලන් තම අසුන්වලින් නැඟීට මාර්ටින් ස්කෝර්සේස් හට තම ගෞරවය පුදකරනු දැකිය හැකි විය. දකුණු කොරියානු සිනමා ඉතිහාසයේ ඇකඩමි සම්මානයක් හිමිකරගත් ප්‍රථම අවස්ථාව එය වූ අතර එය කොරියානු සිනමාව ලද සුවිශේෂී ජයග්‍රහණයක් විය. පැරසයිට් චිත්‍රපටය 2020 බ්‍රිටිෂ් ඇකඩමි සම්මාන උළෙලේදී හොඳම තිර රචනය සහ හොඳම විදෙස් චිත්‍රපටය ලෙසද, ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලේ හොඳම තිරනාටකය සහ අධ්‍යක්ෂණය සඳහාද, ඔස්ට්‍රේලියානු ඇකඩමි සිනමා සහ රෑපවාහිනි  සම්මාන උළෙලේ දී  හොඳම ජාත්‍යන්තර චිත්‍රපටය හා හොඳම ආසියානු චිත්‍රපටය ලෙසින්ද,  ආසියා පැසිෆික් සිනමා උළෙලේ හොඳම වෘත්තාන්ත චිත්‍රපටය ලෙස,ද 2019 කාන් චිත්‍රපට උළෙලේ පාම් ඩිඹ් සම්මානයෙන්ද පිදුම් ලබා තිබේ.  

ටොඩ් ෆිලිප්ස් විසින් අධ්‍යක්ෂණය කළ  ජෝකර් චිත්‍රපටය සම්මාන 11ක් සඳහා නිර්දේශ වී තිබිණි. එහෙත් එයට හිමි වූයේ එක් සම්මානයක් පමණි. ඒ එම චිත්‍රපටයේ ජෝකර්ගේ චරිතය නිරූපනය කළ යෝකින් ෆීනික්ස්ට හිමි වූ හොඳම නළුවා සම්මානයයි. ඒ සඳහා නිර්දේශ වී සිටි ලෙනාර්ඩෝ ඩි කැප්‍රියෝ, අන්තෝනියෝ බන්දේරාස්, ඇඩම් ඩ්‍රයිව, ජොනතන් ප්‍රයිස් යන නළුවන් පරාජය කරමින් ෆීනික්ස් එම සම්මානය හිමිකර ගත්තේය. හොඳම නිළිය ලෙස ඔස්කාර් සම්මානයට පාත්‍ර වුණේ ‘ජූඩි චිත්‍රපටයේ ජූඩි ගාලන්ඩ්ගේ චරිතය නිරෑපණය කළ රීනී සෙල්වෙගර්ය. 2004 වසරේද ඇය හොඳම සහය නිළිය ලෙසද ඔස්කාර් සම්මානය දිනා ගත්තාය. ස්කාලට් ජොන්සන්, සෝරිස් රොනාන්, චාලිස් තෙරොන්, සින්තියා එරිවෝ වැනි නිළියන්  හොඳම නිළිය සම්මානය සඳහා නිර්දේශ වී සිටියහ.

හොඳම සහය නළුවා වූයේ ‘වන්ස් අ පොන් අ ටයිම් ඉන් හොලිවුඩ්” චිත්‍රපටයේ රඟපෑ බ්‍රැඩ් පිට්ය. ටොම් හෑන්ක්ස්, ඇන්තනි හොප්කින්ස්, අල් පචිනෝ, ජෝ පෙස්කි සෙසු නිර්දේශිත නාමයන් විය. ‘මැරේජ් ස්ටෝරි’ චිත්‍රපටයේ රඟපෑ ලෝරා ඩර්න් හොඳම සහාය නිළිය සම්මානය දිනාගත්තාය. රොජර් ඩිකින්ස් හොඳම කැමරාකරණය සඳහා වන සම්මානයට හිමිකම් කීවේ 1917 චිත්‍රපටයේ කැමරාකරණය වෙනුවෙනි. හොඳම අනුවර්තිත තිරනාටකය සඳහා සම්මානය හිමිකරගත්තේ ටයිකා වයිටිටිය. ඒ ජෝජෝ රැබිට් චිත්‍රපටය වෙනුවෙනි.

හොඳම ත්‍රිමාණ සජීවිකරණ චිත්‍රපටය ලෙස  ටෝයි ස්ටෝරි 4 චිත්‍රපටයත්, හොඳම සජීවීකරණ කෙටි චිත්‍රපටය ලෙස “හෙයාර් ලව්” චිත්‍රපටයත් සම්මානයට පාත්‍ර විය. රොකට් මෑන් චිත්‍රපටයේ ලව් මී අගේන් ගීතය සඳහා ශ්‍රීමත් එල්ටන් ජෝන් සහ බර්නි ටොපින් හොඳම ගීතයට හිමි සම්මානය දිනා ගත්හ. ස්ටීවන් බෝග්නර්, ජූලියා රිචර්ට් සහ ජෙෆ් රිචර්ට් අධ්‍යක්ෂණය කළ ඇමරිකන් ෆැක්ටරි චිත්‍රපටය හොඳම වාර්තා චිත්‍රපටය ලෙස සම්මානයට පාත්‍රවිය.

සමස්ත සම්මානවලින් පැරසයිට් චිත්‍රපටය සම්මාන හතරක්ද, 1917  සම්මාන තුනක්ද, ෆෝඩ් වර්සස් ෆෙරාරි සහ වන්ස් අපෝන් අ ටයිම් ඉන් හොලිවුඩ් යන චිත්‍රපට සම්මාන දෙක බැගින්ද, ලිට්ල් විමෙන්,  ජෝජෝ රුබිට්, රොකට් මෑන්, ජෝකර්, බොම්ෂෙල් එක් සම්මානය බැගින්ද  හිමිකරගෙන තිබිණි.

පැරසයිට් චිත්‍රපටය බොන්ග් ජූන් හොගේ සත්වැනි අධ්‍යක්ෂණයයි. ඔහු මුලින්ම සිනමාවට පිවිසියේ 1997 මොටෙල් කැක්ටස් චිත්‍රපටයේ තිරරචකයා ලෙසිනි. 1999 පැන්තම් ද සබ්මැරීන්, සී ෆොග්, ඇන්ටාක්ටික් ජර්නල් යන චිත්‍රපට සඳහා තිර රචනයෙන් දායක වූ  ඔහුගේ ප්‍රථම අධ්‍යක්ෂණය බාකිං ඩෝග්ස් නෙවර් බයිට් නම් නිර්මාණයයි. එහි තිර රචක හා අධ්‍යක්ෂවරයා විය. ඉන්පසු මෙමරීස් ඔෆ් මර්ඩර්,  ද හොස්ට්, මදර්, ස්නෝපියසර්, සහ ඔක්යා යන චිත්‍රපට සඳහා අධ්‍යක්ෂණයෙන් හා තිර රචනයෙන් දායක වූ අතර 2019 තිර රචනය ලියා අධ්‍යක්ෂණය හා නිෂ්පාදනය කළ පැරසයිට් චිත්‍රපටය සඳහා ඔස්කාර් සම්මානයෙන් පිදුම් ලබන්නට ඔහුට හැකිවිය. මේ හැර කෙටි චිත්‍රපට හතක් ඔහු අධ්‍යක්ෂණය කර ඇති අතර චිත්‍රපට 4කට රංගනයෙන් දායක වී තිබේ.

සම්මාන උළෙල සඳහා වේදිකා පසුතල නිර්මාණය කර තිබුණේ ජේසන් ෂර්වුඩ් විසිනි. ඒ සඳහා විශේෂිත පළිඟු ගල් 40,000 ඔහු උපයෝගී කරගෙන තිබිණි. ඒවා ඔස්ට්‍රේලියාවේ ස්වරොව්සිකි නම් සමාගම මගින් සපයා තිබූ අතර 2007 සිට ඔවුන් ඇකඩමි සම්මාන සඳහා වන වේදිකාවේ පසුතලය සඳහා අවශ්‍ය පළිඟු නිර්මාණය කර ඇත්තේ ස්වරොස්කි සමාගම විසිනි.. 

 

► Text Priyanjan Suresh  /  Pic – Internet