2020 පෙබරවාරි 15 වන සෙනසුරාදා

දෙවියන්ට අඳින්ට අපේ නළු නිළියන්ට බෑ

 2020 පෙබරවාරි 15 වන සෙනසුරාදා, ප.ව. 12:31 361

කදිර දිව්‍යරාජ

මේ කියන්න හදන කතාව සිදුවෙන්නේ කුමන කාලයේද කියලා නිශ්චිතවම කියන්න අපහසුයි. ඒත් මේ කතාව සිදුවෙන්නේ ලංකාවේ කාචරගාම එහෙම නැත්නම් කතරගම ප‍්‍රදේශය ආශ‍්‍රිතවයි. මෙන්න මේ කියන කාලයේ මේ ප‍්‍රදේශයේ ජීවත් වෙන්නේ වැදි ජනතාව. මේ වැදි ජනතාව අතරේ හැඩකාරියක් හැදී වැඩෙනවා. ඇය කවදාවත් නොදුටු දිව්‍ය කුමාරයෙක්ට ආදරය කරනවා. ඒ ආදරය කොච්චර බලවත්ද කියනවානම් එක දවසක් මේ හැඩකාර වල්ලිව සොයාගෙන ස්කන්ධ කුමරුන් එනවා විතරක් නෙවෙයි මිනිස් දුවක් වූ වල්ලිව සරණපාවා ගන්නවා. ඒ ඵෙතිහාසික ප්‍රේම වෘතාන්තයක රැගත් විචිත‍්‍ර පරිකල්පනයෙන් සහ ඓතිහාසික සාහිත්‍යමය විචිත‍්‍ර කල්පනාවක් හෝ මනෝ නිර්මිතයක් හෝ ස්වප්නමය සංසිද්ධියක් වූ ඒ සිදුවීම් ඇතුළත් කදිර දිව්‍යරාජ සිංහල සිනමා රෑප කාව්‍ය ගැනයි අද ඔබට කියන්නේ. කදිර දිව්‍යරාජ සිංහල සිනමාපටය අධ්‍යක්ෂණය සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්න. නිෂ්පාදනය ආචාර්ය රවී ලියනගේ.
සුනිල් ආරියරත්න කදිර දිව්‍යරාජ ගැන කියන හැටි

මගේ ඇතැම් සිනමාපටවල ඇතැම් චරිත සඳහා විදේශීය නළු නිළියන් යොදාගැනීම ගැන ඇතැම් අයගේ විවේචන තියෙනවා. නමුත් මම ඒ අයට කියන්න ඕනෑ ඒකට බලපෑව ප‍්‍රධාන හේතුවක් තියෙනවා. මේ චිත‍්‍රපටයේ දේව චරිතයි ප‍්‍රධාන වෙන්නේ. අපේ රංගන ශිල්පියෙක් හෝ ශිල්පිනියක් දේව චරිතයකට යොදාගත්තොත් ඔහුට හෝ ඇයට කාලයක් යනකම් වෙනත් දේව චරිතයකට රංගනයෙන් දායක වෙන්න ලැබෙන්නේ නෑ. ඒ වගේම වෙනත් චරිතයක් කළ කෙනෙක් දේව කතාවක දේව චරිතයක් පණ පොවන්න යොදාගත්තම ලොකු ප‍්‍රශ්නවලට මැදිවෙන්න වෙනවා. මම භාරතයේ නළු නිළියන් යශෝධරා සිනමාපටයේ ප‍්‍රධාන චරිතවලට යොදාගත්තෙත් ඒ පදනමෙන්. මට පත්තිනි චිත‍්‍රපටය හින්දා අමිහිරි අත්දැකීමකට මුහුණ දෙන්න සිදුවුණා දේශීය රංගන ශිල්පිනියක් ඒ චරිතය නිරූපණය කරන්න යොදාගැනීම හේතුවෙන්. ඒක ඔබ සැම දන්නවා. මට ඒ හින්දා සමාජ මාධ්‍යවලින් බොහොම දෝෂාරෝපණය කළා. ඉතින් මම තීරණය කළා දෝෂාරෝපණ අහනවාට වැඩිය බැණුම් අහන එක හොඳයි කියලා. දේව චරිතයන්ට භාරතයේ නළු නිළියන්ව තෝරාගත්තා. ඒ සම්බන්ධයෙන් මම මගේ සහාය අධ්‍යක්ෂක විමල් දේශප‍්‍රියට විශේෂයෙන් ස්තූති කරන්න ඕන.‍ 

ඔබ මීට පෙර කරන ලද චිත‍්‍රපට කිහිපයකම ඔබව දකින්න ලැබුණේ නැහැ කියලා චෝදනාවක් තියෙනවා. මොකද ඔබ ගී පද රචකයෙක් ලෙස ඉතාම සාර්ථක වුණු කෙනෙක්. ඒ වගේම සම්මානිත මහාචාර්යවරයෙක්. නමුත් ඔබට සිනමාපටවලින් ඒ තරම් දෙයක් කරන්න නොහැකි වුණා කියලා බොහෝ දෙනෙක් කියනවා?
කුස පබා සිනමාපටය මගේ සිනමා දිවිය වෙනස් කළා. අලි කතාව හැර අනෙක් සෑම සිනමාපටයක්ම සාර්ථක සහ ජනප‍්‍රිය වීමේ ලක්ෂණ පෙන්නුම් කළා. අලි කතාව හැර අනෙක් සෑම සිනමාපටයක්ම අලෙවි වාර්තා පිහිටෙව්වා. මම කියන්නෙ මේ සිනමාපටයට කුසපබාගෙන් පස්සේ වැඩිම අලෙවි වාර්තා තියලා සම්මානයක් ලැබෙන්න ඕන.

දැන් ඔබ බලාගෙන ඇති මේ සිනමාපටයේ ඉන්දීය නළු නිළි දෙපළ ගැනත් දැනගන්න. අන්න ඒ හින්දා මුලින්ම කතාබහට යොමුවෙන්න කලින් කදිර දිව්‍යරාජ සිංහල සිනමාපටයේ කදිර දිව්‍යරාජයාණන්ට පණපොවන ඔහු ගැන කියලා ඉන්නම්කෝ.
ඔහු නමින් සමර් විර්මානී. ඔහුගේ නික් නේම් එක අමිත්. අඩි 6ක් උස සමර් නළුවෙක් වගේම මෝස්තර නිරෑපණ ශිල්පියෙක් විදියටත් මේ වෙනකොට ඉන්දියාවේ නමක් දිනාගෙන සිටින කඩවසම් ඉලන්දාරියෙක්. කිලෝග‍්‍රෑම් 80ක් බර සමර්ගේ දෑසේ වර්ණය කළු පැහැය කියලයි කියන්නේ. 1988 සැප්තැම්බර් 29 වැනිදා ඉන්දියාවේ චණ්ඩිගර්වල ඉපදුණු සමර්ගේ ලග්නය තුලා. ඉන්දියාවේ හර්යානාහී පන්ච්කුලවල ලිට්ල් ෆ්ලවර් කොන්වන්ට් ස්කූල් එකෙන් අධ්‍යාපනය හදාරපු සමර් 2011 වසරේදී ජෝ හම් චාහේන් හින්දී සිනමාපටයේ චරිතයකට පණ පොවන්න එකතු වුණා. ඊටපස්සේ ඔහු පුංචි තිරයේ නොට් ක්නවුන් කියන කතාංග මාලාවටත් දායකවෙලා තියෙනවා. හින්දු භක්තිකයෙක් වන සමර් වෙජිටේරියන් කෙනෙක්. විනෝදාංශ විදියට ඔහු කරන්නේ කුඩා දරුවන් එක්ක ක‍්‍රීඩා කරන එකයි. දැනට ඔහුගේ මව ජීවතුන් අතර නෑ. ඔහුට තව එක සහෝදරියක් ඉන්නවා. කැමතිම කෑම වශයෙන් සමර් සඳහන් කරන්නේ ස්ප‍්‍රින්ග් රෝල්, සුශී, මැන්ගෝ ස්ට්‍රිකී රයිස්. ඒ වගේම කැමතිම අතුරුපස ඇහුවාම සමර් කියන්නේ කෝල්ඩ් කොෆී කියලයි. කැමතිම රටවල් වෙන්නෙ සිඩ්නි, ඉන්දුනීසියා සහ බැංකොක්. සමර් මේ වෙනකොට ශ්‍රී ලංකාවටත් කැමතිවෙලා කියලයි ආරංචිය. 2009 වසරේ මිස්ටර් පූනේ තරගයෙන් ජය ගත්ත සමර් එක්ක අපි කතාබහට එක් වුණා.

සමර්.. ඔබ රංගනයෙන් දායක වුණු නිර්මාණ මොනවද?
සමර් - ආයුබෝවන්. (සුන්දර සිනාවකින් මුහුණ හැඩ කරගෙනම සමර් කතාබහ ආරම්භ කළේ සිංහල ක‍්‍රමයට ආයුබෝවන් කියන ගමන්.)

මම 2015 දී ස්ටුපිඩ් කියුපිඩ් කියන ටෙලි ෆිල්ම් එකේ හිටියා වගේම ශාදී ජාසූස් කියන ටීවී ෂෝ එකේ වගේම ලාශ්ටම් පාශ්ටම් කියන සිනමාපටයට රංගනයෙන් එකතු වුණා. ඊට අමතරව නිසාන් මයික‍්‍රා, ආරාචුතේ, කොහිනූර් බාස්මතී රයිස්, නෙස්කැෆේ, ස්ප‍්‍රයිට්, හිමාලය ෆේස් වොෂ් ඇතුළු වෙළෙඳ දැන්වීම් 100කට අධික ප‍්‍රමාණයකට පෙනී ඉඳලා තියෙනවා.

ඔබ දැනට ජීවත් වෙන්නෙත් චණ්ඩිගර්වල්ද?
නැහැ නැහැ. මම දැනට ජීවත් වෙන්නේ ඉන්දියාවේ මුම්බායිවල.

ඔබ කොහොමද සිනමාවට සම්බන්ධ වුණේ?
මම මුලින්ම ඉංජිනියරින් ඉගෙන ගත්තා. ඒ පූනේවල. පූනේවල ඉංජිනියරින්ග් ඉගෙන ගත්තට මම ඉපදිලා තියෙන්නේ වෙන දේකට කියලා මගේ හිත මට හැමවෙලේම කිව්වා. ඊටපස්සේ මම මොනවද කරන්න ඕන කියලා හොඳට හිතලා බැලුවා. මම කැමති වුණේ රංගනය පැත්තෙන් ඉදිරියට යන්න. ඉතින් ඒ හින්දා මම ඒක තෝරාගෙන ඉන්නවා.

කදිර දිව්‍යරාජ සිනමාපටය ගැන ඔබට මොනවද කියන්න තියෙන්නේ?
මුලින්ම ස්තුතිවන්ත වෙන්න ඕන මාව මේ චරිතයට තෝරාගත්ත සුනිල් සර්ටත් ඒ වගේම මේ සිනමාපටයේ සහාය අධක්ෂක විමල් සර්ටත්.

ඉන්දියාවේ සහ මෙහේ වැඩ කරද්දී ඒ දෙකේ වෙනසක් තියෙනවද?
මම එහේදී ටිකක් වැඩිපුර නිදාගත්තා. ඒත් මෙහේ මේ සිනමාපටයේ කදිර දිව්‍යරාජගේ චරිතය නිරූපණය කරන්න වුණු නිසා මට උදේ පාන්දරම නැඟිටින්න සිදු වුණා. මම උදෙන්ම බබෙක් වගේ ඇහැරෙනවා. ඒ වගේම මෙහේ අය බොහොම හොඳ අය. මම මගේ මව් රටෙන් පිට නිර්මාණයකට දායක වුණේ පළවෙනි වතාවට. මෙහෙත් හැමෝම අපේ රටේ වගේම නිර්මාණය හොඳ කරගන්න මහන්සිවෙලා වැඩ කරනවා. මටත් දැන් සිංහල වචන කිහිපයක් තේරැම් ගන්න පුළුවන්. මට බොහෝ දේ කියන්න ඕන වුණත් ඒවා කියන්න මම වචන දන්නේ නැහැ. මම මෙහෙම කියන්නම්. ෆිල්ම් එකක් කියන්නේ ටීම් එකක වගකීමක්. මෙහේ හැමෝම ඒ වෙනුවෙන් ටීම් එක විදියට වැඩ කළා. කොස්ටියුම් ඉඳන් හෙයාර් ස්ටයිල්, මේකප් ඇතුළු හැමෝම. මේක මට අලුත් අත්දැකීමක් වුණා. මොකද මම ගෝර්ඩ් මුරුගන්ටනේ පණ පෙව්වේ.

මේ සිනමාපටය ඉන්දියාව වගේම ශ්‍රී ලංකාවේ විශ්වාස එක්කත් පදනම් වූ දෙයක්. ඉතින් ඒ අභියෝගය බාරගනිද්දී ඔබට දැනුණේ කොහොමද?
අපි ඒකට හුරු වුණා. කොහොමටත් මමනම් වෙජිටේරියන් කෙනෙක්. මොකද මම හින්දු භක්තිකයෙක්. හින්දු භක්තිකයන් වෙජිටේරියන්නෙ. මට ඒ කොස්ටියුම්වලින් ඉඳිද්දීනම් ටිකක් අපහසු වුණා. සටන්වලදීත් සෙට් එකේ අය, ඇසිස්ටන් ඩිරෙක්ටර් විමල් සර් වගේම ඩිරෙක්ටර් සුනිල් සර් ගොඩක් උදව් කළා.

ඇත්තම කියනවානම් මේ නිර්මාණයත් අපේ රටේ සංජය ලීලායි බංසාලිගේ වගේ දැවැන්ත නිර්මාණයක්. අනිත් කාරණය තමයි ෆිල්ම් එකක් කරනවා කියන්නේ ජොබ් එකක් කරනවා කියන එක නෙවෙයි. අපි ෆිල්ම් එකක් කරද්දී ඒක හදවතින්ම කරන්න ඕන. ඒ වගේම ඒකටම කැපවෙලා මහන්සිවෙලා ඒක සාර්ථක කරගන්න, චරිතයට සාධාරණයක් කරන්න අපේ උපරිමයෙන්ම වැඩ කරන්න ඕන. ඉතින් මම මට ලැබුණු චරිතය මගේ උපරිමයෙන්ම හදවතට එකඟව කළා.

ඔබ ශ්‍රී ලංකාවට එන්න කලින් අපේ රට ගැන මොනවද දැනගෙන හිටියෙ?.
ඇත්තටම ශ්‍රී ලංකාව කිව්ව ගමන් කියන්න ඕන මම ආසයි ශ්‍රී ලංකාවේ ක‍්‍රිකට්වලට. ජයසූරිය, මහේල ජයවර්ධන, චමින්ද වාස්, සංගක්කාර ඒ ක‍්‍රිකට් ක‍්‍රීඩකයන්ට මම ගොඩක් ආසයි. මෙහාට ආවම මේ රට ගොඩක් හොඳ රටක්, ගොඩක් හොඳ මිනිස්සු ජීවත්වෙන රටක් කියලා දැනුණා. මෙහේ සිනමාපට ගැනනම් මම ලොකු දෙයක් මුලින් දැනගෙන හිටියේ නෑ.

ඔබට කොහොමද මේ සිනමාපටයට අවස්ථාව හමුවුණේ?
මට මේ සිනමාපටයේ ඔඩිෂන් එකට එන්න කිව්වේ හිමේෂ් චවුද්‍රි. ඉතින් මම ඔඩිෂන් එකට ගියා. සුනිල් සර් විමල් සර් මාව තෝරාගෙන මීටින් එකකට එන්න කිව්වා. මම මීටින් එකට එනකොටත් මට ෆිල්ම් එක ගැන අදහසක් තිබුණෙ නැහැ. නමුත් මේ සිනමාපටයත් සංජය ලීලායි බන්සාලිගේ වගේ දැවැන්ත සිනමා නිර්මාණයක් කියන්න දැන් මම දන්නවා. මම මේ වෙලාවේ මේ සිනමාපටයේ අධ්‍යක්ෂක සුනිල් සර්ට, ඒ වගේම සහාය අධ්‍යක්ෂක විමල් සර්ට වගේම මේකප් කොස්ටියුම්, හිස අලංකරණ ශිල්පීන් ඇතුළු සෙට් එකේ හැමෝටමත් නිෂ්පාදකතුමාටත් ස්තූති කරන්න ඕන. ඒ වගේම අපිව හමුවෙලා කතා කරන්න ආපු මාධ්‍යවේදී ඔබ සැමටත් ස්තූතියි.

ඔබ බොලිවුඩ්වල කැමති නළු නිළියො ගායක ගායිකාවො ගැනත් කියලා අපි කතාබහ හමාර කරමු සමර්..
මම ආක්ෂය කුමාර්ට කැමතියි. ඒ වගේම හින්දී සිනමාවේ හදවත කියන්නේ ශාරැක් ඛාන්. ශාරුක් ඛාන්ටත් මම ගොඩක් කැමතියි. ඒ වගේම ඊට අමතරව නස්සුදිරුදීන් සිද්දීකිටත් මම කැමතියි. මම කැමතිම ගායිකාව නේහා කක්කර්.
තවමත් අවිවාහක තරුණ කඩවසම් දඟකාර යෞවනයෙක් වන සමර්ට සමු දී අපි මීළඟට කතාබහට එකතු කරගත්තේ මේ සිනමාපටයේ වල්ලි මාතාවගේ චරිතයට පණ පොවන ඒ හැඩකාර තරුණියයි. ඇය නමින් සෝනක්ෂි සිං රාවට්. ඇගේ නික් නේම් එක වෙන්නෙ‍ සෝනා. සෝනා ඉපදුණේ 1988 දී ඉන්දියාවේ මුම්බායි නගරයේදී. ඇය ජීවත් වෙන්නෙත් මුම්බායිවලමයි. කන්‍යා ඇයගේ ලග්නයයි. ඇයත් තවම අවිවාහකයි. අඩි 05යි අඟල් 07ක් උස සෝනක්ෂීගේ බර කිලෝග‍්‍රෑම් 58ක්. කළු පැහැ දෑසකට හිමිකම් කියන සෝනක්ෂිගේ කෙස් කළඹත් කළු වර්ණයයි ගන්නේ. නා ලව් ස්ටෝරි කියන සිනමාපටයෙන් සිනමා ගමන ආරම්භ කළ සෝනක්ෂිත් එක්ක අපි කතාබහ ආරම්භ කළා මෙන්න මේ විදියට.

ඔබ ගැන ඔබම කියලා කතාව ආරම්භ කරමුද සෝනක්ෂි?
මගේ නම සෝනක්ෂී සිං රාවට්. රාජස්ථානයයි මුම්බායි අතර තමයි මම ඇතිදැඩි වුණේ. මම වයස අවුරුදු 16 දී තමයි පළවෙනි මොඩ්ල් එසයිමන්ට් එකට අත්සන් කළේ. මම පුංචි කාලේ ඉඳන් රගපාන්න කැමැත්තෙනුයි හිටියේ. වෙළෙඳ දැන්වීම් ගොඩකට සහ ටීවී සීරියල් ගොඩක මම ඉඳලා තියෙනවා. මේක මගේ පළවෙනි විශාලම සිනමාපටය. ඉතින් මේ සිනමාපටයට මාව තෝරාගත්තට සුනිල් සර්ට ස්තුතියි. විමල් සර්ටත් ස්තුතියි. ඒ වගේම භාෂා ප‍්‍රශ්නය මඟහරවන්න අපිට උදව් කළ මහාචාර්ය උපුල් රංජිත් සර්ටත් ස්තුතියි. මේ ටීම් එක එකම පවුලක් වගේ වැඩ කළා.

ඔබට කොහොමද මේ සිනමාපටය හමුවුණේ?
මාස කිහිපයකට කලින් දවසක් මම වැඩක් ඉවර කරලා ආවම මට මැසේජ් එකක් ආවා සෝනක්ෂි හෙට උදේම ඔඩිශන් එකක් තියෙනවා. එන්න කියලා. ඒත් මට උදේම වෙන බාරගත්ත වැඩක් තිබුණා. මම ඒක ගැන අම්මාව දැනුම්වත් කළ කෙනාට කිව්වම මට කිව්වා පැයකට ඇවිල්ලා ඔඩිශන් එක දීලා යන්න කියලා. ඉතින් මම ඔඩිශන් එක දීලා ගියා. ඊට පැයකට පස්සේ මට ආපහු කෝල් එකක් ආවා මාව ඒ චරිතය සඳහා තෝරාගෙන කියලා. සුනිල් සර් වගේ අධ්‍යක්ෂකවරයෙක් එක්ක වැඩ කරන්න ලැබුණු එකට මම ගොඩක් සතුටු වෙනවා. මම සමර් එක්ක ගොඩක් රණ්ඩු කළත් ටීම් එකේ අනිත් හැමෝම එක්ක විනෝදයෙන් සතුටෙන් වැඩ කළා. විශේෂයෙන්ම මතක් කරන්න ඕන කේශාලංකරණ ශිල්පියා වගේම මේකප් ආටිස්වත්. ඔවුන් මට විශාල සහායක් දුන්නා. ඒ වගේම සෙට් එකේ හැමෝම මට ගොඩක් උදව් කළා මගේ චරිතය හරියාකාරව කරන්න.

ශ්‍රී ලංකාවේ සිනමාව ගැන මෙහාට එන්න කලින් මොනවද දැනගෙන හිටියේ?
මොකුත් නැහැ. ඇත්තටම මම කිසි දෙයක් ලංකාව ගැන දැනගෙන හිටියේ නැහැ. ඒත් මෙහාට ආවම දැනගත්තා මෙහෙත් ඉන්නේ අපේ වගේම පෙනුම තියෙන අපි වගේම හොඳ කට්ටියක් කියලා. මෙහෙත් අපේ රටේ වගේම කෑම බීම එක හා සමානයි. මිනිස්සු සමානයි. අපේ රටේ දකුණු පැත්ත සහ බංග්ලාදේශය හා සමානයි මෙහේ හැමදේම වගේ.

වල්ලී මාතා චරිතයට පණ පෙව්වේ ඔබනේ. නමුත් මේක විශ්වාසයත් එක්ක යන චරිතයක්. දේව කාන්තාවක්. ඔබට මොනවද ඒ ගැන හිතුණේ?
මුරුගන් කියන්නේ දකුණේ දෙවියන් විදියට වන්දනාමාන කළාට අපි වන්දනාමාන කරන්නේ ශ්‍රී ගනේශ්ට. මම මුරුගන් දෙවියන් ගැන එච්චර කියන්න දෙයක් දන්නෙ නෑ. නමුත් කියන්න ඕන මට ලැබුණු චරිතයට හරි දෙයක් කරන්න මගේ උපරිමයෙන්ම මම උත්සාහ කළා.

සෝනක්ෂිත් එක්ක කතාබහට සමුදීලා මේ සිනමාපටය හැඩ කරන්න එකතුවෙලා ඉන්න අනිත් අය ගැනත් දැන් කියන්නම්කෝ..
රොෂාන් පිලපිටිය, නිල්මිණී තෙන්නකෝන්, ජගත් චමිල, චරිත් අබේසිංහ, වසන්ත විට්ටච්චි, දීපා රණසිංහ, සරත් කොතලාවල, ධනංජය සිරිවර්ධන, විනූ උදානි සිරිවර්ධන, හරිනි උත්පලා, අජිත් නිශාන්ත, සමුදි ජයසිංහ, වසන්ත කුමාරවිල, ෂෙල්ටන් කැකුලාවල, රජිත රොද්‍රිගු, රංගී රාජපක්ෂ, සම්පත් තෙන්නකෝන් කදිර දිව්‍යරාජ සිනමාපටයේ සෙසු චරිතවලට පණ පොවනවා. කතා ප‍්‍රති රචනය, තිර රචනය, සංවාද සහ ගී කාව්‍ය රචනය සහ අධ්‍යක්ෂණය සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්න. කැමරා අධ්‍යක්ෂණය චන්න දේශප‍්‍රිය. කලා අධ්‍යක්ෂණය ධම්මික හේවාදුවත්ත. නිෂ්පාදන කළමනාකරණය නිමල් විජේසිරි සේනාධීර. තිස්ස සුරේන්ද්‍ර සංස්කරණයෙන් දායක වෙනවා. සටන් අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ සුමුදු අමල්ක. දෘෂ්‍ය ප‍්‍රයෝග චමත් පරණවිතාන. නර්තන අධ්‍යක්ෂණය සංඛ අබේසිංහ. වස්ත‍්‍රාභරණ වෙනුක වික‍්‍රමාරච්චි. වෙස් ගැන්වීම් ප‍්‍රියන්ත දිසානායක. කේශාලංකරණය හරූන් ෂයිඩීන්. සංගීත අධ්‍යක්ෂණය රෝහණ වීරසිංහ. නිරෝෂා විරාජීනී සහ රවීන් කණිෂ්ක ගීත ගායනයෙන් එකතුවෙලා ඉන්න මේ සිනමාපටයේ සහාය අධ්‍යක්ෂකවරයා වශයෙන් කටයුතු කරන්නේ විමල් දේශප‍්‍රිය. නිශ්චල ඡායාරූපකරණය ධම්මික පතිරත්න. නිෂ්පාදන සම්බන්ධීකරණය ඒ.ඩී. රංජිත් කුමාර. ස්ටෙඩි කැම් කැමරා මෙහෙයවීම ස්ටයිනට් ඇඩම්ස්. 

 

► Text — Chandana Waravitage  /  Pic l Sumudu Hewapathirana