මේ කියන්න හදන කතාව ආරම්භ වෙන්නේ පොළොන්නරැවේ ඉඳන් කිලෝමීටර් 15 ක් දුරින් පිහිටලා තියෙන ගමක. එක පැත්තකින් වස්ගමුව ජාතික වනෝද්‍යායෙනුත් තව පැත්තකින් ගිරිතලේ මින්නේරිය ජාතික වනෝද්‍යානයෙනුත් තව පසෙකින් අඹන් ගඟෙනුත් තවත් පසෙකින් පරාක‍්‍රම සමුද්‍රයෙන් ගලා යන ජලය ගොවිබිම්වලට ගෙන යන අන්ගම්මැඩිල්ල ඇළෙනුත් වටවුණු සුන්දර ගමක් තියෙනවා. මෙන්න මේ ගම්මානයේ නම කලහගල. යාන වාහන අඩු මේ කියන කාල වකවානුවේ මේ පළාතට යන්න ගුරු පාරක් වැටිලා තිබුණා. දවසට දෙපාරක් විතරක් ධාවනය වෙන රතු මූණ තියෙන ලංගම බස් එක ගොර ගොර ගගා මේ ගම්මානයට විත් යන එක ගම්වාසීන්ට නුහුරු දෙයක් නෙවෙයි. ඒ අතර කෘෂිකර්මාන්තයෙන් යැපෙන මිනිසුන් ජීවත්වීම හේතුවෙන් මේ ගම්මානයේ කුඩා එකාගේ ඉඳන් වැඩිහිටියන් වෙනකම්ම මෙන්න මේ කියන කාලයට ඉන්නේ කුඹුරැ යායවල. මොකද මේ කාලය තමයි කුඹුරුවල අස්වැන්න නෙලාගන්න කාලය. බොහෝ තැන්වල මහ ට‍්‍රැක්ටර් දාලා කොළ මඩිනවා. කුඩා කොලුගැටයෙක් මහ ට‍්‍රැක්ටරයකට නැඟලා මහ ඈයොත් එක්ක හරි හරියට කොළ මඩිනවා. මේ කොලුගැටයාගේ නම ලලිත් සුමනසිරි. අද වෙනකොට ඔහු ලංකාවේ තියෙන මීඩියා ඒජන්සිවලින් ප‍්‍රධානම ඒජන්සියක කළමනාකරණ අධ්‍යක්ෂවරයා. මෙන්න මේ කියන ලලිත් සුමනසිරිව සොයාගෙන ඔහු කළමනාකරණ අධ්‍යක්ෂ ධූරය හොබවන ඔහුගේ අණසක පතුරුවන බාන්ස් පෙදෙසේ තියෙන ඔගිල්වී මීඩියා එකට ගිහින් ඔහුගේ කාර්යාල කාමරයේ ඉඳන් මම ඔහුත් එක්ක මෙන්න මෙහෙම කතාබහ ආරම්භ කළා.
ඔබ කවුද? කොහේ කෙනෙක්ද? මොනවද කරන්නේ කියලා කතාව පටන් ගනිමු?
මම නමින් ලලිත් සුමනසිරි. මම ඔගිල්වී මීඩියා කියන මල්ටි නැෂනල් කම්පැනි එකේ ශ්‍රී ලංකාවේ ඉන්න කළමනාකරණ අධ්‍යක්ෂවරයා. මම ඉපදුණේ, කුඩා කාලය ගත කළේ පොළොන්නරුවේ කලහගල.
පවුලේ විස්තර ගැනත් කියමු නේද?
මගේ පවුලේ හය දෙනෙක් ඉන්නවා. ඒ අම්මා තාත්තා, අයියලා දෙන්නයි මල්ලිලා දෙන්නයි එකම නංගියි. එයාලා ගැන කියනවනම් මගේ තාත්තා රජයේ රැකියාවක් කළා. නංගි වෛද්‍යවරියක්. අයියලා මල්ලිලාත් ඉහළ තැන්වල රාජකාරි කටයුතුවල නිරතවෙනවා. මම හතර වසරට යනකම් ඉගෙනගත්තේ කලහගල කනිෂ්ඨ විද්‍යාලයෙන්. සාමාන්‍ය පෙළට යනකම් ඉගෙනගත්තෙ පොළොන්නරුවේ රෝයල් එකෙන්. ඒ ගමට එන්නේ එක බස් එකයි. ඒකත් සතියකට දවස් දෙකක් විතර නැහැ. එහෙම දවසට අපි පොළොන්නරුවේ ඉස්කෝලේ ඉඳන් ගෙදරට එනකම් එන්නේ පයින්. එහෙම පයින් ආවා කියලා පහුවෙනිදා පාසල් නොයා ඉන්නේ නැහැ. පහුවෙනිදාට පාසල් යනවා. සාමාන්‍ය පෙළ කරද්දී පන්තිවල එහෙම ඉඳලා ගෙදර එන්න හදන වෙලාවට බස් එක නැහැනෙ. ම ට ඒ හින්දා තාත්තා බයිසිකලයක් අරගෙන දුන්නා. පරාක‍්‍රම සමුද්‍රය ගාවින් හමන සුළඟෙ බයිසිකලයක් පදිනවා කියන්නේ අමුතු අත්දැකීමක්. පදිනවා පදිනවා එකම තැනමයි. අපිට මහන්සියක් විතරයි. බයිසිකලය ඉස්සරහට යන්නෙම නැහැ. කොහොමහරි මම සාමාන්‍ය පෙළ කරලා ඉවරවෙලා ඊටපස්සේ උසස් පෙළ කරන්න කෑගල්ල පින්නවල මධ්‍ය මහා විද්‍යාලයට යනවා. කැම්පස් ගැන කියන්න කලින් මම මගේ ගෙදර ගැන කියලා ඉන්නම්කෝ. අපේ අම්මයි තාත්තයි දෙන්නා හොඳ ව්‍යවසායකයෝ දෙන්නෙක්. තාත්තා රජයේ රැකියාව කරනවට අමතරව ව්‍යාපාරයක් විදියට වී ගොවිතැන් කළා. ඒ කිව්වේ අක්කරය දෙක නෙවෙයි. අක්කර 10ක 15ක වී වගා කළා. තව අපිට බේකරියකුත් තිබුණා. ඊට අමතරව කඩේකුත් දාලා තිබුණා. ඊට අමතරව අපේ ගෙදර මැටි කර්මාන්තයත් කෙරැවා. ඔය ඉගෙනගන්න කාලයේ අපි පොඩි ඈයෝ සන්දියේ මම වී වැපුරුවාම කුරුල්ලෝ හම්බවෙන්නත් යනවා. ඒ කාලෙට අපි ඉස්කෝලේ යන්නේ නැහැ. මට හරක් දමලා කොළ මඩවන්න පුළුවන්. මට මහ ට‍්‍රැක්ටරයෙන් හොඳට කොළ මඩවන්න හුරුව තියෙනවා. බේකරි වැඩත් මට හොඳට පුළුවන්. අපි කුඩා ඈයෝ සන්දියේ හරක්ගෙන් කොළ මඩවනවා එළිවෙනකම් නිදියන්නෙ නැතිව. ඒ කාලේ හරිම සුන්දරයි. පැට‍්‍රල් මැක්ස් ලාම්පු පත්තු කරලා කමත වුණත් හරිම ලස්සනයි. ඒත් ඉතින් දැන් කාලයේ ළමයින්ට ඒ අත්දැකීම් ලබන්න විදියක් නැහැ.
අර මැණික් ගරන්න ගඟ හරහා පීනන කතාව මොකක්ද?
අඹන් ගඟ කාලෙකට බලන්න බැහැ වතුර පිරිලා තියෙද්දී. සමහර අයට ඒක දැක්කම ක්ලාන්තෙ දානවා. මම අනවසරයෙන් මැණිකුත් ගරලා තියෙනවා පොඩි කාලේ. මම ඒ කට්ටියත් එක්ක ගඟ හරහා එච්චර වතුර තියෙද්දී පීනලා ගිහින් මැණික් ගරලා තියෙනවා. වතුර වැඩි නිසා ආරක්ෂක අංශයෙන් එන්නේ නැහැනේ. ඒ නිසා ඒ කාලෙට තමයි බයක් සැකයක් නැතුව මැණික් ගරන්න පුළුවන්. ආ තව එකක්.. මම පුංචි කාලේ ඉඳන් කැලේ ගිහින් වන සත්තු නරඹන්න කැමතියි. ඔය විදියට අපිට පුංචි කාලේ ඉඳන් අපේ අම්මලා තාත්තලා අපිට අවදානම් ගන්න පුරුදු කළා. අපේ ගෙදර බැහැ කියන්න බැහැ. නැහැ කියන්න බැහැ. අම්මගේ නීතියක් ඒක. මම දෙන්නේ නැහැ, මට බැහැ ඒවා තහනම්. අපේ අම්මා අපිට ධනාත්මක දේවල් පුහුණු කළේ එහෙමයි. කොයි වැඩේ දුන්නත් ඒක කරන්න පුරුදු වුණේ ඒ නිසයි.
ඔබගේ උසස් අධ්‍යාපනය ගැන කියමු නේද?
මම පින්නවල මධ්‍ය මහා විද්‍යාලයෙන් උසස් පෙළ සමත්වෙලා ඊටපස්සේ අලෙවි කළමනාකරණය ගැන උපාධිය හදාරන්න ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට ඇතුළත් වුණා. ඒක අවසන් කරලා ඊටපස්සේ කොළඹ විශ්වවිද්‍යාලයෙන් එම්.බී.ඒ. එක කළා. මම විශ්වවිද්‍යාලයට එන්න කලින් උසස් පෙළ කරලා අවසාන වුණු ගමන් ඉංග‍්‍රීසි භාෂාව හදාගත්තා. කැම්පස් එකේ ගොඩක් දේශන පැවැත්වුණේ ඉංග්‍රීසි මාධ්‍යයෙන්. ගම්වලින් ආපු ගොඩ දෙනෙක්ට දේශන හරියාකාරව කරගන්න බැරිවුණා ඉංග‍්‍රීසි භාෂාවේ තිබුණු දුර්වලතාවය නිසා. මම කුප්පි දාන්න පටන් ගත්තා. එක්කෙනා දෙන්නා කිහිප ගුණයකින් විශාල වෙලා මම දේශකයෙක් වගේ දේශන කරන්න පටන් ගත්තා. මගේ ගාවට ළමයි ගොඩක් ආවා. සමහර වෙලාවට දේශකයා දේශනය කරනවාට වඩා ළමයි මගේ කුප්පිවලට ආවා. ඒකෙන් මම දැනගත්තා මට ඉගැන්වීමට හැකියාව තියෙනවා කියලා. මම මොකද කළේ කැම්පස් එකේ ඉගෙන ගන්න ගමන් ඉන්ඩිවිඩුවල් සහ ගෲප් ක්ලාස් පටන් ගත්තා. ගෙවල්වලට ගිහින් ටියුෂන් දෙන්න පටන් ගත්තා. මම ඒවායින් හොඳට හම්බ කළා. ඒ අතර කැම්පස් යන ගමන් වයිල්ඩ් ලයිෆ් ට‍්‍රස්ට් කියලා ආයතනයකට එකතුවෙලා වැඩ කළා. ඒකෙන් කළේ දේශීය සංචාරකයන්ට කැලෑවලට ගිහින් ඉන්න ටුවර්ස් ඔර්ගනයිස් කරනවා. මමත් ඒ අයට මඟපෙන්වන්නෙක් විදිහට සම්බන්ධ වුණා. මම ඒකෙනුත් හොඳට හම්බ කළා. ඔය අතරේදී කැම්පස් එකේ අධ්‍යාපනය හමාර කළාට පස්සේ 10 දෙනෙක්ව රෑපවාහිනී සංස්ථාවේ පුහුණුවකට යැව්වා. එයින් 05 දෙනෙක් පුහුණු අලෙවි විධායකයන් විදියට වැඩ කරන්න තෝරාගත්තා. මමත් එහේ වැඩ කරන්න පටන් ගත්තා. ටික කලක් යද්දී මට රූපවාහිනියේ එහෙම වැඩ කරලා වැඩක් නැහැ කියලා හිතුණා.
හේම නලින් කරුණාරත්න, අතුල රන්සිරිලාල් වගේ දැවැන්තයන් එක්ක පොඩි අපිට එකට සම්බන්ධවෙලා වැඩ කරන්න නම් අවස්ථාව නැතිවුණා. ඒත් මට එතන ඉන්න එකෙන් වැඩක් වෙන්නෙ නැහැ කියලා හිතුණා. ජේ.ඩබ්ලිව්.ටී. කියන ආයතනයේ මීඩියා හැඩ්ල් කරන්න මම සම්බන්ධ වුණේ ඊට පස්සේ. මම එහෙට සම්බන්ධවෙලා එක එක ජාතියේ සන්නාමයන්ට අදාළව ප‍්‍රචාරණ කටයුතු මෙහෙයවන්න පටන් ගත්තා. සන්ලයිට් බෞද්ධාලෝකය කියන මමයි මගේ ටීම් එකයි හඳුන්වලා දුන්න අලුත්ම අදහසකට අපිට පළවෙනි වතාවට ස්ලිම් සම්මාන උළෙලේ දී මීඩියා එජන්සියකට පළවෙනි වතාවට ගෝල්ඩ් අවෝඩ් එකක් හමුවුණා. මාව ඊටපස්සේ මීඩියා එක්සකටිව් ගෲප් හෙඩ් විදියට උසස් වීමක් ලැබුණා. මම 2003 දී ඔගිල්වී මීඩියා කියන ආයතනයට මීඩියා මැනේජර් විදියට සම්බන්ධ වුණා. මම එනකොට මේ ආයතනයේ හිටියේ සේවකයන් පස්දෙනයි. මේ ආයතනයෙන් හැන්ඩ්ල් කරන්න ලොකු එකවුන්ට්ස් තිබුණෙත් නැහැ. මේ ආයතනයේ සභාපති අර්වින් වීරක්කොඩි මහතා මට ලොකු ටාස්ක් එකක් දුන්නා. ටික දවසක් යද්දී මම ලොකු ලොකු බිස්නස් ගේන්න පටන් ගත්තා. 2008, 2009 වගේ වෙනකොට ටී.වී. රේඩියෝ පුවත්පත්වලට අමතරව ඉන්ටර්නෙට් එක ජනප‍්‍රිය වෙනවා කියලා අපිට පෙනුණා. ඒ හින්දා මාව සභාපතිතුමා අපේ ආයතනයේ ප‍්‍රධාන කාර්යාලය තියෙන අමෙරිකාවේ නිව් යෝර්ක්වලට ඒ ගැන අධ්‍යයනය කරන්න යැව්වා. මම 2011 දී ලංකාවට ඇවිල්ලා ඩිජිටල් බිස්නස් කරන්න නියෝ ඇට් ඔගිල්වී ඩිග්ටක් කියන ආයතනය ඒ වෙනුවෙන් ආරම්භ කළා. දැන්නම් අපි ඒ ආයතනයේ නම ඔගිල්වි ඩිජිටල් කියලා වෙනස් කරලා තියෙන්නේ. මේ වෙද්දී මේ ආයතන දෙකේම මගේ යටතේ සේවකයන් 100 ක් විතර සේවය කරනවා. මීඩියා මැනේජර් කෙනෙක් විදියට සම්බන්ධ වුණු මම ටික කාලයක් ගතවෙද්දී ඇසෝසියේට් ඩිරෙක්ටර් කෙනෙක් විදියට උසස් වීමක් ලැබුවා. තව ටික කාලයක් යද්දී ජොයින් මැනේජර් කෙනෙක් විදියට උසස්වීම ලැබුණා. මේ වෙද්දී මම කළමනාකරණ අධ්‍යක්ෂ විදියට ආයතන 03 ක් බලනවා. අනිත් එක තමයි මම ජේ.ඩබ්ලිව්.ටී. එකේ ඉද්දී වරළත් ගණකාධිකරණය ගැනත් ඉගෙන ගත්තා. මම එහෙම කළේ මට අවශ්‍ය දැනුම ලබාගන්න. මම 2006 ඉඳන් කොළඹ විශ්වවිද්‍යාලයේ විසිටින් ලෙක්චර් කෙනෙක් විදියටත් වැඩ කරනවා. ඊට අමතරව ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙත් ගෙස්ට් ලෙක්චර් කෙනෙක් විදියටත් මොරටුව විශ්වවිද්‍යාලයේ එම්.බී. එකේ ව්‍යවසායකත්ව අලෙවිකරණය ගැන ලෙක්චර් කෙනෙක් විදියටත් සම්බන්ධවෙලා කටයුතු කරනවා. ඒ වගේම සබරගමුව විශ්වවිද්‍යාලයේ කරිකියුලම් ඩිවලොප්මන්ට් එකටත් සම්බන්ධව කටයුතු කරනවා. මෑතක ඉඳන් මට කැළණිය විශ්වවිද්‍යාලයටත් ලෙක්චර් කෙනෙක් විදියට සම්බන්ධව කටයුතු කරනවා.
ලබන සතියට....
► Text — Chandana Waravitage