2020 පෙබරවාරි 22 වන සෙනසුරාදා

කම්බුල් පාරක් දික්කසාදයක්

 2020 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 12:30 127

මේ සිදුවීම වෙන්නේ ඉන්දියාවේ නගරබද ප‍්‍රදේශයක පිහිටලා තියෙන නීතීඥවරියකගේ කාර්යාල කමරයක. මේ කාර්යාල කාමරයේ තියෙන විශාල මේසයක් අසල පුටුවක මැදිවියේ නීතිඥවරියක් වාඩිවෙලා ඉනන්වා. ඇය අසලම ඇයගේ සේවිකාවක් ඉන්න අතර ඇය ඉදිරියේ තියෙන පුටුවක සුන්දර තරුණියක් වාඩිවෙලා ඉන්නවා. නීතිඥවරිය මොකක්දෝ ලියැවිල්ලක් දිහා බලාගෙන ඉඳලා තමන් ඉදිරියේ ඉන්න සේවාදායිකාව දිහා බලලා නළල රැලි කරගෙන කතා කරන්න පටන් ගන්නවා.

නීතිඥවරිය - 09 වැනි වගන්තියට අනුව මේක විවාහයන් පිළිබඳව වූ අයිතිය ප‍්‍රකාශ කරන නීතිමය ලියවිල්ලක්. ඔයාව ගෙදරට ගෙන්වාගන්න එවලා තියෙන නීතීමය ලියැවිල්ලක් මේක.
අම්රිතා - මම ආපහු යන්නේ නැහැ.

නීතිඥවරිය - මොකක්ද ඔයාගෙ කතාව කියන්නකෝ. එයාගේ පවුලේ අය හින්දද ඔයා ආපහු නොයන්නේ?
අම්රිතා - නැහැ

නීතීඥවරිය - ඔයාගේ හස්බන්ඩ්ගේ වෙනින් සම්බන්දයක් තියෙනවද?
අම්රිතා - නැහැ.
නීතිඥවරිය - එහෙනම් ඔයාගේ වෙන කෙනෙක් එක්ක සම්බන්දයක් තියෙනවද?
අම්රිතා - නැහැ.

නීතිඥවරිය - ඒ කියන්නේ හස්බන්ඩ් ඔයාට කම්මුලට පාරක් ගැහුව නිසාද ඔයාට එයාගෙන් ඩිවෝර්ස් වෙන්න ඕන?
අම්රිතා - ඔව්. ඒක කම්මුල් පාරක් තමයි. ඒත් එහෙම කාටවත් ගහන්න බැහැනේ. එහෙම අයිතියක් හස්බන්ඩ්ටවත් නැහැනේ නේද?
මේ ඊට ටික කාලයකට පෙර සිදුවීමක්. මේ සවස් කාලය. නවීන මෝටර් රථයක රියැදුරු අසුනේ අම්රිතාගේ හස්බන්ඩ් අමිත් වාඩිවෙලා ඉන්නවා. ඔහුගේ ගාව තියෙන අනෙක් අසුනේ අම්රිතා වාඩිවෙලා ඉන්නවා.
අමිත් - අම්රිතා ඔයා දන්නවද? අද මම මගේ ඉන්වෙස්ට්මනට් ඉක්මනටම කරලා ඉවර කළා. ඉක්මනට දැන් ගෙදර ගිහින් මට ඔයත් එක්ක....
අම්රිතා - අනේ මේ මටනම් බැහැ. මම මේ නිදිමතේ ඉන්නේ.

අමිත් - ඔයාට නිදිමත වුණාට මට නිදිමත නැහැනේ.
මේ ඊට දින කිහිපයකට පසු සාදයක් අතරතුර සිදුවීමක්. මෙතන ඉන්න බාල තරැණ මහලු වැඩිහිටි පොඩිහිටි හැමෝම කමින් බොමින් නටමින් ප‍්‍රීති වෙමින් ඉන්නවා. ඒත් අම්රිතාගේ ස්වාමිපුරුෂයානම් කා එක්කද කේන්තියෙන් කෑකෝගහමින් ඉන්නේ. ඔහුගේ ගාවම අම්රිතාත් ඉන්නවා.

බොස් - ඔයා හිතාගෙන ඉන්නේ ඔයා බොස් කියලනේ නේද? ඔයා කම්පනි එක රන් කරනවා කියලනේ හිතන් ඉන්නේ.
අම්රිතා - එන්න අපි කෑම කලා යමු
අමිත් - යනවා යන්න.

එසේ කියමින් ඔහු හැමෝම ඉන්න තැන අම්රිතාගේ කම්මුලට පහරක් ගහනවා. වේදනාවටත් වඩා ඇයට රිදෙන්නේ හැමෝම ඉස්සරහ ඔහු තමන්ගේ කම්මුලට පහර දුන්නු එක ගැනයි.
ඒ සිදුවීම වෙන්නේ ඔවුන්ගේ නිවසේ සාදයක් අතරතුරයි. සාදයට ආව හැමෝම ගියාට පස්සේ අම්රිතාගේ හස්බනඩ් ඇයගෙන් සමාව ඉල්ලා ඇය එක්ක මිතුරු වෙන්න උත්සාහ කරනවා. ඒත් ඇය මේ වෙද්දී ඉන්නේ හැම දෙයක්ම එපා වෙලා. මේ ඊට පහුවෙනිදා අම්රිතාගේ මවගේ නිවසේ සිදුවීමක්. සයනයක ඉන්න අම්මා එක්ක අම්රිතා කතා කරමින් ඉන්නවා.
අම්මා - මහ පුදුම කාලයක් මේක. මට මගේ දුව ඩිවෝර්ස් වෙනවා කියලා අහන්න වෙලා. පුතේ දරාගන්න ඉගෙනගන්න ඕන කාන්තාවෝ වුණාම.

අම්රිතා - හැම බැඳීමක්ම බොරුවක්. මේ ගෙදර වැඩට ඉන්න කෙනා කියන එක අහන්නකෝ.
මෙහෙකාරිය - අක්කේ ඊයෙත් මට මගේ මනුස්සයා කම්මුලට ගැහුවා. ඒත් ඉතින් එයා දාලා මම කොහේ කියලා යන්නද? සම්බන්දකම පටන්ගන්න පහසුයි. ඒත් ඒක පවත්වාගෙන යන්නයි අපහසු.

අම්රිතා - තාත්තා මම වැරැද්දක් කරන්නේ නේද?
තාත්තා - පුතා ඔයා හැමදාම කළේ හරි දේ. ඔයා කරන දෙයක් කරන්නේ ඔයාගේ සතුට වෙනුවෙන්නේ.
දික්කසාද නඩුව දිගට ඇදෙනවා. දෙපාර්ශවය එක එක හේතු කියා ගන්නවා. හරිම අපූරු කතාවක්. ඒත් මේ කතාවේ අපූර්වත්වය විඳින්න වෙන්නේනම් 2020 පෙබරවාරි 28 වැනිදටයි. මොකද මේ අපූරු කතාව රැගත් තප්පඩ් (කම්මුල්පාර) හින්දි සිනමාපටය තිරගත වෙන්නේ අන්න එදාටයි. මේ තප්පඩ් කියන හින්දි සිනමාපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ අනුභව් සිංහා වන තර එය නිෂ්පාදනය කර තියෙන්නේ භූෂන් කුමාර්, ක‍්‍රිෂන් කුමාර් සහ අනුභව් සිංහා. අනුභව් සිංහා සහ මෘන්මයී ලැගූ විසින් තමයි මේ සිනමාපටයේ කතාව ලියා තියෙන්නේ. තප්පඩ් හින්දි සිනමාපටයේ පසුබිම සප්ත ස්වරයෙන් හැඩ කර තියෙන්නේ මන්ගේශ් ධඩ්කේ. දැන් ඔබට කියන්න හදන්නේ මේ සිනමාපටය හැඩ කරන්න එහි ඇති චරිතයන්ට පණ පොවන ඔවුන් ගැනයි.

මුලින්ම මේ සිනමාපටයේ ප්‍රධාන චරිතය අම්රිතාගේ චරිතය හැඩ කරන ඇය ගැන කියලා ඉන්නම්. මෙන්න මේ සිනමාපටයන්හි ඔබ දැක තියෙන ඒ හැඩකාරිය තමයි මේ සිනමාපටයේ අම්රිතාගේ චරිතය හැඩ කරන්නේ.
2010 Telugu film Jhummandi Naadam ,2011 Aadukalam, Pink (2016)  Badla (2019), Judwaa 2 (2017) Mission Mangal (2019 Saand Ki Aankh (2019)

1987 අගෝස්තු 01 වැනිදා ඉන්දියාවේ නිව් දිල්ලිහිදී උපත ලද ඇය 2010 වසරේ පටන් නිළියක් විදිහට සිනමා වෘත්තියේ නියැලෙනවා. ඇය හින්දි සිනමාව පමණක් නෙවෙයි තෙලුගු, දමිල සිනමාවත් නියෝජනය කරනවා. ඇය නමින් තාප්සි පන්නු. ඇය තමයි මේ සිනමාපටයේ ප‍්‍රධාන චරිතයට පණ පොවන්නේ. දැන් ඔබට කියන්න හදන්නේ ඇයගේ සැමියාගේ චරිතයට පණ පොවන ඔහු ගැනයි. ඔහු ටෙලි නාට්‍ය නළුවෙක් වගේම වේදිකා නාට්‍ය නළුවෙක් ද වෙනවා. ඒ වගේම ඔහු නිරූපන ශිල්පියෙක් විදිහටත් කටයුතු කරනවා. ඔහුත් දිල්ලි නගරයේ ඉපදී හැදෙන වැඩෙන කෙනෙක්. දැනටනම් ඔහු ජීවත් වෙන්නේ මුම්බායිවල. උපාධිධරයෙක් ද වන ඔහු කැමතිම නළුවන් වන්නේ අමිතාබ් භච්චන් සහා ශාරුක් ඛාන් කියලා ඔහු කියනවා. කැමතිම නිළිය රානී මුඛර්ජී කියන ඔහු කැමතිම ගායක ගායිකාවන් විදිහට අර්ජිත් සිං සහ ශ්‍රීයා ඝෝශල්වයි සඳහන් කරන්නේ. ගෝවේ සහ මනාලිවල වැඩි කාලයක් ගත කරන්න කැමති ඔහු නමින් පවයිල් ගුලාටී. ඔහු තමයි මේ සිනමාපටයේ අම්රිතාගේ ස්වාමිපුරුෂයාගේ චරිතයට පණ පොවන්නේ.

ඔය කිව්ව දෙන්නට අමතරව රත්නා පතක් ශාහ්, තාන්වී ආස්මී, දියා මිර්සා, රාම් කපූර්, කුමුද් මිනිශ‍්‍රා, නිධි උත්තම්, මානව් කෞල්, ගේ‍්‍රසී ගෝස්වාමී සහ සන්දීප් යාදව් කියන නළු නිළියන් ද මේ සිනමාපටය හැඩ කරන්න එකතුවෙලා ඉන්නවා. තප්පඩ් හින්දි සිනමාපටයේ තියෙන මන බඳින ගීතයන් සප්ත ස්වරයෙන් හැඩ කරලා තියෙන්නේ අනුරාග් ශයිකියා වන අතර ගේය පද ලියා තියෙන්නේ ශකීල් ආස්මී.

 

Text — Chandana Waravitage