2020 පෙබරවාරි 22 වන සෙනසුරාදා

ගියොත් අවුල් නොගියොත් නිරවුල්

 2020 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 12:30 141

ඔන්න පැංචෝ පැංචියෝ වැලන්ටයින් එහෙම සමරලා ප්‍රීතී ප්‍රමෝදයෙන් ඔද වැඩිලා ඉන්නේ. ලංකාවේ වැලන්ටයින් කාලෙට කියවෙන සීන් කෝන් එකක් ගැන අපි අද Y Trend එක ගලපන්නේ. ඉතින් මේ තමා යන්නෝ රස වැටුණු නොයන්නෝ බැන වැදුණු සතුට විපත දෙකම රුඳුණු Room යාමේ සංස්කෘතිය. මයේ සුදෝ අපි සම්ප්‍රදායික විදිහට සීන් කෝන් එක ගැන ලියන්නේ නම් නෑ. අපි මේ වැඩේට Use කරන්නේ වෙනම කෝණ මානයක්.

තාවකාලික නවාතැන් කියන්නෙ මචෝ සෑහෙන්න කාලෙක ඉඳලා රටේ ලෝකේ හැමතැනම නගර සිසාරා තියන සාමාන්‍ය දෙයක්. විනෝද චාරිකා යන අය වන්දනා නඩ ඒ වගේම දුරබැහැර වෙළඳාමේ යෙදෙන වෙළෙන්දෝ තමා එදා මේ තාවකාලික නවාතැන් නිතර භාවිතා කළේ. ඊට අමතර ඉතින් ඔය තනිව සංචාරයේ යෙදෙන ගවේෂකයන්, විමර්ශකයන් රාජකාරි කටයුතුවලට යන රාජ්‍ය නිලධාරීන් එහෙමත් ඔය වගේ Place වල නවාතැන් ගත්තා. එක දෙයක් කියන්න ඕනෑ සුන්දරා ලෝකේ පැරණිම වෘත්තියත් මේ නවාතැන් වටා එදා ඉඳලා ක්‍රියාත්මක වුණා. සරල භාෂාවෙන් කිව්වොත් ගණිකාවෝ හිටියා.

ඒත් සුදෝ ලංකාවේ Room සංස්කෘතිය කියලා කියන්නේ ගණිකාවක් එක්ක එහෙම තැනකට යන එකට නෙවෙයි. ඒක එදා ඉඳන්ම තිබ්බ දෙයක්. වර්තමානේ රූම් යනවා කියලා කියන සීන් කෝන් එක දෙයාකාරයි. ළඳ බොළඳ බාලවයස්කාර උන් Room යන සීන් එක තමයි මේ දවස් කතාවෙන්නේ. මේක පට්ට Trend එකක් වෙලා තියෙන්නේ. වැලන්ටයින් කාලෙට කතාවෙන සීන් එකත් මේකම තමා.

මේක ටිකක් බරපතළ සීන් එකක්. ඒ ලෙවල් කරන කෙල්ලො කොල්ලෝ තමා මේ සීන් එකේ වැඩිපුර ඉන්නේ. ඊට ළාබාල උණුත් නැතුව නෙවෙයි. මේ වයසේ ආදරය කියන්නේ මහා අසාමාන්‍ය දෙයක් කියලා නම් අපි කියන්නේ නෑ. ඒක බොහොම ස්වාභාවික වගේම සුන්දර දෙයක්. නමුත් මේ වයසේදී හැඟීම් ක්‍රියාවන් බවට පරිවර්තන වීම එදා ලොකුවට සිදුවුණේ නෑ. ඒ නිසාම පාසල් ප්‍රේමය ඉතාම සුන්දර දෙයක් කියන ආකල්ප ගොඩක්දෙනාගේ හිතේ ඇඳුණා. ඒත් මචෝ අපේ සමාජේ පහුගිය අවුරැදු විසි පහ ඇතුළත පුදුම වේගෙන් වෙනස් වුණානි.

එදා පාසල් පෙම්වතුන්ට තිබුණ හැඟීම් බොහොම ග්‍රාම්‍යයි සහෝ. ඒත් සංස්කෘතියට සභ්‍යත්වයට කණකොකා හඬනකොට ඒ හැඟීම්වල ග්‍රාම්‍ය බව අතුරුදන් වුණා. ආදරයට වඩා කාමය පාසල් පෙම්වතුන් තුළත් වර්ධනය වුණා. අව්‍යාජ සොඳුරු බව නැතිවෙලා කාමය මුල්තැනට අවා. ඒ අතර ළමයින්ට නිදහස කියනදේත් ලැබෙන්න පටන්ගත්තා උපකාරක පංති සංස්කෘතිය වෙන තැනකට උසස් පෙළ පොඩ්ඩොන්ව අරගෙන ගියා. ඊට හැමදේම එක්ක කාම ගින්න නිවාගන්න පුදුම නිදහසක් මේ පොඩ්ඩොන්ට ලැබුණා.

ඒ ලෙවල් ලව් එකක් නම් ෆිල්ම් එකක් බලන්න බොක්ස් එකට රිංගන එක අද අනිවාර්ය අංගයක්. හැබැයි නිදහසේ එහෙ මෙහේ ඇවිදින්න අද ගොඩක් උන් බයයි. ඒ නිසා Room එක ඇතුළට යන එක තමා ගොඩක් වෙලාවට මෙයාලා කරන්නේ. හැම නගරයක ඒ ලෙවල් පෙම්වතුන් වෙනුවෙන් රෑම් දෙන තැන් තියෙනවා. නීතිය කොහොම වුණත් ඒක බොහොම ලාබදායි ව්‍යාපාරයක්. පෙම්වතුන්ගේ පැත්තෙන් ආරක්ෂා වගේම ලොකු ගාණක් නොයන නිසා මේ වැඩේ සුපිරි වැඩක්. මේ සීන් එකට පහසුකම් සපයන්නෝ ඕනතරම් අද ඉන්නව. ගොඩක්ම ත්‍රීවීල් අයියලා.

මේ වැඩේ Y Trend බවට පත්වෙන්නේ මෙන්න මෙතැනදී සුදෝ. හැබැයි Room එකක් ඇතුලේ ලැබෙන නිදහස සීමාවක් නෑ. අන්න එතැනදී තමයි ජීවිත විනාශ වෙන්න පටන් ගන්නේ. ඒ වගේම පාසල් ප්‍රේමය එදා වගේම අදත් බොහොම තාවකාලිකයි. එතකොට මේ කාලේදී කාම ගින්නේ පිච්චිලා අතහැරුණු කෙල්ලෝ කොල්ලෝ තහනම් ගහේ රසට ඇබ්බැහි වෙලාත් ඉවරයි. දැන් තමා සීරා ගැටලු පටන් ගන්නේ. ඕනෑ එකක් මත සීමා නොවන ලිංගික සබඳතා ඕනෑතරම් ඇතිවෙන්නේ මෙතැනදී. ලෙඩ රෝග වගේම සමාජීය වශයෙන් විශාල ගැටලු මේ Trend එක නිසා හටගන්නවා.

මොකද කොච්චර වුණත් ලංකාව කියන්නේ ක්‍රියාවෙන් කෙසේ වෙතත් ආකල්ප අතින් ගතානුගතික රටක්. එහෙම වුණාම අනිවාර්යයෙන් මේ විනාශ වුණ ජීවිත සමාජ ප්‍රශ්න රැසකට ගොදුරැ වෙනවා. පසුකාලීනව විවාහ සම්බන්ධතාවලදී තෘප්තිමත් බව සොයාගෙන යන අවශ්‍ය පදනම ඔවුන් තුළ නිර්මාණය වෙලා ඉවරයි. මචෝ මේ සීන් එක ඇමරිකාවේ, බටහිර බොහොම සාමාන්‍ය දෙයක්. විවාහය දෙදරායාම ඒ අයට ලොකු දෙයක් නෙවෙයි. ඒ රටවල ලිංගිකත්වය ප්‍රේමයේ උප කුලකයක් නෙවෙයි සුන්දරා. ඒක වෙනම එකක්. ප්‍රේමයක් නැතත් දෙදෙනාගේ කැමැත්ත මත ලිංගිකව එකතු වෙන එක ඒ රටවල High School සංස්කෘතියේ කොටසක් වෙලා තියෙන්නේ. ඒක හරිද වැරදිද කියන කාරණාව නෙවෙයි මචෝ වැදගත්. අපේ රටේ ඒක කරන්න පුළුවන්ද කියන එක.

අපි කිව්වානේ Rooms සීන් එකේ කොටස් දෙකක් තියෙනවා කියලා. අනික් එක තමා අනියම් සම්බන්ධතා වෙනුවෙන් Rooms භාවිතය. ඒකත් අද ලංකාවේ ඉතාම ඉහළ මට්ටමක තියෙන Trend එකක්. මෙහෙම සීන් එකට යන්නේ අවුරුදු 25 - 45 වගේ වයස් පරතරවල අය. මතකද අපි කිව්වා අවුරුදු විසිපහක් තුළ තමා මේ සංස්කෘතික පටන් ගත්තේ කියලා. පැංචෝ මේ අය තමන්ගේ ළමා කාලේ තරුණ කාලේ ගතකරලා තියෙන්නේ මෙන්න මේ කාලපරාසය ඇතුළත. ඉතින් ඒ නිසා ඒ අයත් මේ කාමරැල්ලේ කොටස්කාරයෝ. විවාහය එකම ලිංගික ඇසුර කියලා ඔවුන් තුළ ඇදහීමක් නෑ. අන්න එතැනදී තමා මේ සම්බන්ධතාවලට මෙයාල පෙළඹෙන්නේ.

හැබැයි සතුට සොයාගෙන යන ගමනේ විශාල ප්‍රශ්න ප්‍රමාණයක් මෙයාලටත් ඇති වෙනවා. ඒකටත් හේතුව අර අපේ රටේ ක්‍රියාවෙයි ආකල්පයි අතර තියෙන වෙනස. ඉතින් අවසාන වශයෙන් කියන්නෙ ප්‍රේමය ලිංගිකත්වය කියන දේවල් බොහොම සාමාන්‍ය දේවල් බව. ඒත් Room සංස්කෘතිය කියන්නේ සැබෑ අර්බුදයක් මචෝ.

 

► Text - Nisal   /  Pic – Internet