2020 පෙබරවාරි 22 වන සෙනසුරාදා

පිරිමි ඔක්කොම ගෑනු කබායේ

 2020 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 12:30 96

වැලන්ටයින් එහෙමත් නැත්නම් ආදරවන්තයන්ගේ දිනය කියලා කියන්නේ විශේෂයෙන්ම තරුණ අය අතර ජනප්‍රිය දවසක්. ආදරය කරන, ආදරය කරපු ගොඩක් අයට ඒ දවස එක්ක බැඳිච්ච ආදරණීය මතක ගොන්නක් ඇති. ඉතින් මේ අවුරුද්දේ වැලන්ටයින් එකටත් තමන්ගෙ පෙම්වතියට පෙම්වතාට ආදර හසුන්පතක්, චොකලට් එකක්, මලක් වගේම ඊට වඩා වටිනා තෑගිත් පිරිනමන්න ඇති. කොහොම වුණත් අපි මේ කතා කරන්නේ ලංකාවේ අපි වැලන්ටයින් සමරන හැටි නෙමෙයි. ලෝකෙ විවිධ රටවල් වැලන්ටයින් සමරන, සමරපු හැටි ගැනයි අද කතාබහ. 

ප්‍රංශය

පැරිසිය කියන්නේ ආදරවන්තයන්ගේ අගනුවරයි. ඉතින් පැරිසියේත් ප්‍රංශයේත් ආදරවන්තයන්ගේ දිනය හා බැඳිච්ච චාරිත්‍ර වාරිත්‍රවලින්ම කතාබහ පටන්ගමු. වාර්තා වෙන විදිහට ප්‍රංශය තමයි ලෝකයේ මුල්ම වැලන්ටයින් කාඩ් එක නිර්මාණය කරන්නෙ. ඒ මීට අවුරුදු හයසීයකට විතර කලින්. එදා ඉඳන් අද දක්වාම ප්‍රංශය වැලන්ටයින් සමරද්දි කාඩ් එකට බොහොම විශේෂ තැනක් දෙනවා.

මීට අමතරව ප්‍රංශයේ තිබුණු බොහොම සුවිශේෂී වැලන්ටයින් චාරිත්‍රයක් තමයි loterie d'amour කියන්නෙ. මේ චාරිත්‍රයට අනුව ආදරවන්තියක් නැති පිරිමි, නාඳුනන ගෙවල් ඉස්සරහට ගිහින් එතැන ඉන්න තනිකඩ කාන්තාවන්ට ආදරය ප්‍රකාශ කරනවා. නමුත් ඒ මූණ දිහා නොබලයි. කාන්තාවත් කැමැත්ත පළ කළොත් පිරිමියා හැරිලා කාන්තාව දිහා බලනවා. හදිසියෙවත් ඒ කාන්තාවට ඔහු කැමති නැත්නම් ඒ වෙලාවෙම එතැනින් පිටවෙලා යනවා. ඉතින් දවස අවසානයේදී තනිකඩව ඉතුරු වුණු ගැහැනු තමන්ව ප්‍රතික්ෂේප කරපු පිරිමින්ගේ පින්තූර එකතු කරලා ගිනිමැලයකට දාලා පුච්චනවා. හැබැයි පස්සෙ කාලෙකදී මේ චාරිත්‍රය ගොඩක් පකෝපකාරී සිද්ධි නිර්මාණය කරපු හින්දා ඒක තහනම් කරන්නත් ප්‍රංශ ආණ්ඩුවට සිද්ධ වුණා.

බ්‍රසීලය

බ්‍රසීලයේ ජනතාවත් ලෝකයේ අනික් බොහෝදෙනා වගේ චොක්ලට්, මල්, රාත්‍රී ආහාර සාද වගේ දේවල් එක්ක වැලන්ටයින් සැමරැවත් පෙබරවාරි 15 වැනිදාට ඔවුන් ශාන්ත අන්තෝනි මුනිගේ දිනය සමරන එක විශේෂත්වයක්. බ්‍රසීල ඇදහිලිවලට අනුව ශාන්ත අන්තෝනි මුනිතුමා තමයි විවාහයට අධිපති ශාන්තුවරයා. ඉතින් ආදරවන්තයන්ගේ දිනය සැමරුවට පස්සෙ දවසේ බ්‍රසීල කාන්තාවෝ විවිධ පුද සත්කාර කරමින් තමන්ගේ විවාහයට සුදුසු සහකරුවෙක් ලබාදෙන විදිහට ශාන්ත අන්තෝනි මුනිතුමාගෙන් ඉල්ලා සිටිනවා.

ජපානය

සාමාන්‍යයෙන් වැලන්ටයින් දවසට පිරිමියා කාන්තාවට චොක්ලට් දීම තමයි අපි දැකලා පුරුදු ක්‍රමය. හැබැයි ජපානයේ මේ ක්‍රමය වෙනස්. වැලන්ටයින් දාට කාන්තාව තමයි පිරිමියාට චොක්ලට් දෙන්නෙ. හැබැයි ඒකට හරියන්න මාර්තු 14 වැනිදා තමන්ගේ ආදරවන්තියට චොක්ලට් සංග්‍රහයක් දෙන්න ආදරවන්තයාට සිද්ධ වෙනවා. 

දකුණු අප්‍රිකාව

වැලන්ටයින් දාට දකුණු අප්‍රිකානු තරුණියන්ටම විශේෂ වෙච්ච අමුතු චාරිත්‍රයක් තියෙනවා. ඒ තමයි තමන් අතීතයේත් වර්තමානයේත් රහසින් ආදරය කරන පිරිමින්ගේ නම් හදවත හැඩයට කපාපු කොළවල ලියලා තමන් අඳින කබායේ අත්වල අලවාගෙන එහාමෙහා යාම. ඉතින් මේ ක්‍රමය නිසා අලුත් ආලවන්තකම් ඇතිවන බවත් අහන්න ලැබෙනවා. 

අන්තර්ජාලය ඇසුරෙන් 

 

► Text - Suranga   /   Pic -  Internet