ආචාර්ය තිස්ස අබේසේකර මං මුලා වැල් නමින් අලුත්ම චිත්‍රපටයක වැඩ පටන් ගත්තේ අසූව දශකයේ මුල් භාගයේදීය. තිස්ස විසින්ම තිර නාටකය ලියූ මං මුලා වැල් ප්‍රවීණ පුවත්පත් කලාවේදී බෙනඩික්ට් දොඩම්පෙගමයන්ගේ කෙටි කතාවකි. එහි ප්‍රධාන සහාය අධ්‍යක්ෂවරයා වූයේ දයාරත්න රටගෙදරය.
එහි වතු අධිකාරිවරයාගේ චරිතය රඟපෑවේ ධම්ම ජාගොඩය. මානසික අවපීඩනයකින් පෙළෙන බිරිඳ ලෙස රඟපෑවේ ස්වර්ණා මල්ලවාරච්චිය. කොළඹ මිතුරන් දෙදෙනා විජය කුමාරණතුංග හා යූ. ආරියවිමල්ය. මං මුලා වැල් දර්ශනවලින් වැඩිහරියක් රූගත කළේ කල්තොට ප්‍රදේශයේය. එහෙත් වතු බංගලාවේ දර්ශන නුවරඑළිය පුස්සැල්ලාවේදී රූගත කෙරිණි.
කල්තොට, බලංගොඩ පැත්තේය. පුස්සැල්ලාව, නුවරඑළිය ප්‍රදේශයේය. තිස්සගේ හැටි එහෙමය. කොතරම් දුරබැහැර වුවද දුෂ්කර වුවද තමාගේ සිතේ ඇඳුණු දර්ශන තලය සොයාගෙන යාම ඔහුගේ පුරුද්දය.
පුස්සැල්ලාවේ රෑගත කිරීම් කරද්දී මං මුලා වැල් විශේෂාංගයක් ලියමුයි මට යෝජනා කළේ රටගෙදරය. එහි යන්නට වාහන පහසුකම්ද සපයන්නට ඔහු එකඟ විය. එහි දෙවැනි සහාය අධ්‍යක්ෂකවරයා වූයේ තිලක් අබේසිංහය. කොළඹ නාලන්දා විද්‍යාලයේ ඉගෙනුම ලැබූ තිලක් පානදුරේය. ඔහු සෝමලතා සුබසිංහගේ විකෘති වේදිකා නාට්‍යයේ වේදිකා පරිපාලක ලෙස කටයුතු කළේය. පසුකලෙක විකෘති නාට්‍යයේ රඟපෑ නිල්මිණී සිගේරා විවාහ කර ගත්තේ තිලක්ය.
මේ කාලය වනවිට තිලක් තනිකඩයෙකි. මගේ ගමද පානදුර නිසා තිලක් පමණක් නොව පානදුරේ පදිංචි බොහෝ කලාකරැවෝ මගේ මිතුරෝ වූහ. අපි එකල එකට රංචු ගැසී සිනමාව ගැන කතා කළෙමු. වාද විවාද කර ගතිමු. මා එකල නැවතී සිටියේ පුංචි බොරැල්ලේ සිරිධම්ම මාවතේය. ටෝනි රණසිංහගේ ගේ පෙනෙන දුරිනි.
යොදාගත් දිනයේ විජය කුමාරණතුංග හා යූ. ආරියවිමල් සමඟ මාද රැගෙන යන්නට ආවේ තිලක්ය. ඒ මොරිස් මයිනර් වර්ගයේ මෝටර් රථයකි. එකල එම වාහනවල වායු සමීකරණ ආදී පහසුකම් නැත. කොළඹ නගරය පුරාම කුලී රථ ලෙස භාවිත වූයේද මේ මොරිස් මයිනර් වර්ගයේ කුඩා මෝටර් රථය. තිලක් හැන්දෑවේ පහ පහමාර වනවිට බෝඩිං කාමරයෙන් මාව මෝටර් රථයට දමා ගත්තේය. වාහනය පැදවූයේ දෙගොඩ හරි වයසේ පසුවන රියැදුරෙකි. අවුරුදු හැටක් පමණ ඇතැයි සිතෙයි.
හතහමාරට විජය කුමාරණතුංග ගැනීමට නියමිතය. ඊට පෙර යූ. ආරියවිමල් ගතයුතු විය. ඔහු නාරාහේන්පිට ශාලිකා ශාලාවට එන ලෙස කියා තිබිණ. අපි ආප්ප කඩයකින් ආප්ප කා කාලය ගතකර හත වනවිට ශාලිකා ශාලාවට ගියෙමු. එහි සුගතපාල සිල්වාගේ ඇසල සඳ අවන්හල වේදිකා නාට්‍යය වේදිකා ගත වෙයි. යූ. ආරියවිමල් එහි චරිතයක් රඟපායි. නාට්‍ය දර්ශනයේ විවේකයේදී ආරි හමුවූ විට තිලක්ට කියා තිබුණේ අටහමාර වනවිට ඒමට හැකි බවයි. අටහමාර කෙසේ වෙතත් නමයහමාර පමණ වනවිට නාට්‍යය නිමාවිය.
දැන් ඉතින් හරි... තිලක් මට කීවේය. එහෙත් නාට්‍ය දර්ශනයෙන් පසුව මධු සාදය පටන් ගත්තේය. ආරි එනවා තියා එන්නට හිතලාවත් නැත.
හරි හරි දැන් යමු... කියමින් රාත්‍රී එකොළහ වනතුරුම වැඩේ දිග්ගැහුණේය. මේ මහ රෑ මොරිස් මයිනර් රථයෙන් නුවරඑළියේ පුස්සැල්ලාවට යා යුතුය. ඒ මදිවාට විජයට හතහමාරට ගන්නා බවට පොරොන්දු වී ඇත. උදෑසන යොදාගෙන ඇත්තේ විජයගේ හා ආරිගේ දර්ශන පෙළකි. එකල ජංගම දුරකතන නැති නිසා පණිවිඩයක් යවන්නටද හැකියාවක් නැත.
එකොළහ පසුවෙද්දී ආරිවත් දමාගෙන අපි රොස්මිඩ් නිවසට ආවෙමු. විජය - චන්ද්‍රිකා විවාහයෙන් පසු පදිංචිව සිටියේ රොස්මිඩ් නිවසේය. වෙනදා දේශපාලන කටයුතුවලට පමණක් ආ ගිය පිරිසට විවෘත වූ රොස්මිඩ් මන්දිරය සිනමා කලාවට සම්බන්ධ වූවන්ට විවෘත වූයේ විජය නිසාය. රෑගත කිරීම්වලට, දෙබස් කැවීම්වලට, උත්සවවලට ආදී නොයෙක් කටයුතුවලට විජය කැඳවාගෙන යන්නට කලාවට සම්බන්ධ වූ පිරිස් නිතර රොස්මිඩ් මන්දිරයට පැමිණියහ.
විජය මහත්තයා හම්බවෙන්න යැයි කියූ සැණින් මුරකරැ අපට ගෙඋයනට ඇතුළුවීමට ඉඩ දුන්නේය. විජය චන්ද්‍රිකා පදිංචිව සිටියේ උඩුමහලේය.
රාත්‍රී 11ත් පසුවීම නිසා පරිසරයේ කිසිදු හැලහොල්මනක් නැත. විදුලි පහනක් දෙකක් කම්මැලි ලෙස දැල්වේ. තිලක් විජේ අයියේ.... විජේ අයියේයි කියමින් කෑ ගැසුවේය. එහෙත් සද්දයක් නැත. තවත් වරක් කෑ ගැසූ පසු උඩුමහලෙන් විජයගේ කටහඬ ඇසුණේය.
කවුද මේ මහ රූ...?
විජේ අයියව එක්ක යන්න ආවෙ. තිස්ස අයියාගේ ෂූටින්වලට...
මේ මහ රෑ මට බෑ එන්න... එනවා කිව්වෙ කීයටද... හතහමාරට. දැන් කීයද වෙලාව... විජය උඩ සිටම කෑ ගැසුවේය.
අනේ විජේ අයියේ... හෙට උදේ ෂූටින් දාලා තියෙන්නෙ. තිස්ස අයියගෙන් ඉන්න හම්බවෙන්නෙ නෑ... තිලක් තවත් වරක් පින්සෙන්ඩු විය.
මට බෑ... මට බෑ...
කෙසේ වුවත් විනාඩි පහළොවක් යන්නටත් පෙර විජය සරමකින් හා අත්කොට කමිසයකින් සැරසී කුමාරයකු මෙන් පහළට බැහැගෙන ආවේය. ඔහු අත ඇඳුම් බෑගයක් තිබිණ.
අප සියලුදෙනාගේම ගමන් මලු අඩුක් කළ පසු මෝටර් රථයේ පස්දෙනකුට යන්නට ඉඩ මදි තරම්ය. විජය ඉදිරි අසුනේ වාඩි ගත්තේය. ආරි, තිලක් හා මම පසුපස අසුනට ගියෙමු. දැන් වේලාව රූ දොළහට කිට්ටු වෙන්නට ඇවිත්ය.
රොස්මිඩ් නිවසෙන් මෝටර් රථය පාරට හැරෙව්වේය. ප්‍රධාන ලාම්පු දල්වා තිබුණද දැන් කාලයේ වාහනවල මෙන් දීප්තිමත් එළියක් රථයෙන් විහිදුනේ නැත. දවස පුරාම වෙහෙස වී සිටි රියැදුරාට රාත්‍රී කාලයේ පෙනුමද අඩු වාගේය. ඔහු රථය පදවන්නේද ඉතා සෙමින්ය. විජය රියැදුරු දෙස මඳ වේලාවක් බලා සිටියේය.
අන්කල් ඔහොම ගියොත් නම් අපිට පුස්සැල්ලාවට යන්න වෙන්නෙ හෙට උදේ නෙමෙයි අනිද්දා උදේට... ඔහු කීවේය.
මෙන්න මෙහෙට වෙන්න... රියැදුරු රථය නැවතුවේය. අසුනට ආවේ විජයයි. විජය රථයේ සුක්කානම අතට ගත්තේය. වාහන පැදවීමට මනා හුරුවක් තිබූ විජය උදේ හය වනතුරුම නිදිවර්ජිතව මොරිස් මයිනර් රථය කඳු බෑවුම් ඔස්සේ පැදවූවේය. රථය නවතා තේ හෝ කෝපි බිවු බවක් හෝ දැන් මට මතක නැත.
විජය වාහනය පැදවූයේද දැඩි සතුටකිනි. ප්‍රමාද වීම ගැන හෝ නිදිමැරීම ගැන හෝ ඔහුගේ හිතේ කහටක් නොවීය.
අප පුස්සැල්ලාව වතු බංගලාවට යනවිට උදේ හය පමණ විය. එවිට රූගත කිරීම් කණ්ඩායමේ බොහෝ දෙනෙක් අවදි වී සිටියහ. මං බයේ හිටියේ උඹලා පරක්කු වෙනකොට... රටගෙදර සැනසුම් සුසුමක් හෙළමින් පැවසීය.
පිරිසට මූණ කට දොවාගන්නට වතු බංගලාවේ ජල පහසුකම් මඳ විය. උඹලා නානවා නම් මරු දිය ඇල්ලක් තියෙනවා එහා පැත්තෙ.... රටේ කීවේය. එය කදිම අදහසකි. අපි කීපදෙනෙක් ස්නානය සඳහා දිය ඇල්ල කරා ගියෙමු.
වතු බංගලාව තුළ රෑගත කිරීම් පටන් ගන්නා විට උදේ නමය පමණ විය. එය නම් කදිම එකතුවකි. ධම්ම ජාගොඩ, විජය කුමාරණතුංග, ස්වර්ණා මල්ලවාරච්චි, දයා අල්විස්. යූ. ආරියවිමල්, අනුර මැදගොඩ, කලා අධ්‍යක්ෂ එරල් කෙලී, වෙලේගෙදර රණසිංහ, ශේෂා පළිහක්කාර, වසන්ත විට්ටච්චි, සන්ධ්‍යා මෙන්ඩිස් සහ කැමරා අධ්‍යක්ෂ ලාල් වික්‍රමාරච්චි ඒ අතර වඩාත් කැපී පෙනුණි.
රේඛාව චිත්‍රපටයේ බොරැ කකුල්කාරයා, මාතලන් චිත්‍රපටයේ මාතලන් ලෙස රඟපා ඉමහත් ජනප්‍රියත්වයක් හිමිකරගෙන සිටි ශේෂා පළිහක්කාර සමඟ ඒ වනවිට මා කිහිපවරක්ම සම්මුඛ සාකච්ඡා පවත්වා ඇති නිසා ඔහු මට සුපුරුදු කලාකරුවෙක් විය. මේ කාලය වනවිට ශේෂා වේෂ නිරූපණ ශිල්පියකු ලෙස කටයුතු කළ අතර වසන්ත විට්ටච්චි ඔහුගේ සහායකයා විය.
මම මේ දවස්වල අලුත් පරම්පරාවට චිත්‍රපටවලට එන්න උදව් කරනවා... ඔහු වරක් මට පැවසුවේ පසුකලෙක ප්‍රකට වේෂ නිරූපණ ශිල්පියකු සහ රංග ශිල්පියකු ලෙස නමක් දිනූ රංජිත් වික්‍රමසිංහ හඳුන්වා දෙමිනි. පසුකලෙක ප්‍රකට රංග ශිල්පියකු හා වේෂ නිරෑපණ ශිල්පියකු වූ වසන්ත විට්ටච්චිද එසේමය.
තිස්ස දර්ශන තලයේදී හැසිරෙන්නේ බොහෝ සේ බැරෑරුම්වය. ඔහු තමන් රෑගත කරන දර්ශනය පිළිබඳව සම්පූර්ණයෙන්ම අවධානය යොමුකරගෙන සිටී. ඔහු නළු නිළියන් හසුරුවන්නේ සිත් කා වදින ලෙස විස්තර කරමිනි. ඇතැම් නවක ශිල්පියකුට ලොව ශ්‍රේෂ්ඨ නළු නිළියන් ඉතා සියුම් ලෙස හැඟීම් නිරූපණය කළ ආකාරය ගැන ඔහු කියා දෙයි.
විජය, ස්වර්ණා, දයා ආරිගේ රූග කිරීම් සිදුවෙද්දී ආරියවිමල් හදිසියේම අප අතරට ආවේ හඬා වැටෙමිනි. ඔහු ඇත්තටම ඇඬුවේය.
ඇයි ආරි?
මට තිස්ස අයියා බැන්නා...
ඇයි ඒ...?
බීලා රඟපාන්න බෑ කියලා. මම බීල නෑ මචං.... මම මගේ කැරුක්ටර් එක හරියට කරලා නැද්ද?
ආරි කොතරම් සංවේදී පුද්ගලයකුදැයි දැන් මට සිතෙයි. ඉතා සියුම් සිද්ධියකින් පවා ඔහුගේ සිත සැලෙයි. ඔහු සොඳුරු මිනිසෙකි. වේදිකාවේත්, සිනමාවේත් ඔහු විශිෂ්ටතම රංගවේදියෙකි. මෙවන් සොඳුරැ මිනිසුන් අප අතරින් උදුරා ගත්තේ ඇයිදැයි දැන් මට සිතෙයි.
► Text - Rodney Widanapathirana