2020 පෙබරවාරි 29 වන සෙනසුරාදා

ප්‍රශ්න එන වෙලාවට මම කියවන පොත!

 2020 පෙබරවාරි 29 වන සෙනසුරාදා, ප.ව. 12:30 98

Art එකේ කැරට්ටුව..
හඬ:  එඩ්වින් ආරියදාස

ඇවිදින විශ්වකෝෂයක් ලෙස සම්භාවනාවට පාත්‍ර වූ ඔහු ජනමාධ්‍ය මෙන්ම ඒ හා සබැඳි ක්ෂේත්‍ර ගණනාවක අත්දැකීම් බහුල ප්‍රවීණ වියතෙක්.... කවර මාතෘකාවක් පාදක කරගෙන සංවාදයක් ගොඩනැගුණත් ඒ සෑම ක්ෂේත්‍රයක් පිළිබඳවම කතා කරන්නට තරම් විසල් දැනුමක් ඔහු සතුයි. ඔහු එඩ්වින් ආරියදාස.... 

ඔහුට නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමින්ම අපි කතාබහ පටන් ගත්තා.
මේ දවස්වල ඔහුගේ තොරතුරු අහන ගමන්ම මම පුටුවෙන් වාඩිවුණා...

පහුගිය දවස්වල ටිකක් කාර්යබහුල වුණා වැඩත් එකක්. මේ දවස්වල මම පුවත්පත් කීපයකට ලිපි කිහිපයක්ම ලියනවා... ඒ වැඩ කටයුතුවලට අමතරව පොත්පත් පරීශීලනය කරමින් නිදහසේ කාලය ගතකරනවා...
එහෙම තමයි ඔහුගේ ජීවිතය මේ දවස්වල ගෙවෙන්නේ...

අපි එහෙනම් පටන් ගමුද? හා කියන්නාක් මෙන් ඔහුගේ මුවගේ සිනහා රැල්ලක්...
එඩ්වින් ආරියදාස ශූරින්ගේ ජීවිතයට සමීප වුණු, පේනවාට වඩා වැඩිදෙයක් හිතට කාවද්දපු,  ජීවිතේ යථාර්ථය අවබෝධ කරගන්න උදව්වුණ නිර්මාණයක් ගැන පොඩ්ඩක් කතා කරමුද?  වෙනදා වගේම තමා... ඒක ගීතයක් වෙන්නත් බෑ ඔබගේ නිර්මාණයක් නම් කොහොමත් බෑ....

මෙහෙමයි... එක නිර්මාණයක් කියන්න කිව්වාම... එකක් තෝරගන්න ටිකක් විතර අපහසුයි... මොකද අවස්ථාව ලැබෙන හැමවෙලාවෙම වගේ මම නිර්මාණ ගොඩක් ඇසුරු කරන කෙනෙක්.  විශේෂයෙන්ම පොතපත. මගේ චින්තනය කෙරෙහි බහුල වශයෙන් බලපාපු සුවිශේෂ දාර්ශනියෙක් තමයි බර්ට්‍රන්ඩ් රසල්. ඔහු රචනා කරපු සුවිශේෂ පොතක් තියෙනවා.. ඒ පොතේ නම තමයි Wisdom of the west (බටහිරයන්ගේ ප්‍රඥාව) කියන කෘතිය. බටහිර දර්ශනය හා දේශපාලන සැකසුම පිළිබඳව මිනුම් පිළිබඳ ‍ඓතිහාසික සමීක්ෂණයක්... ඉතිහාසය ගැන ගැඹුරින් අධ්‍යනය කරලා අපරදිග ලෝකයේ ප්‍රඥාව විකාශනය වෙච්ච විදිය අලංකාර ඡායාරූප සහිතව සම්පාදනය කරපු විශිෂ්ඨ කෘතියක්. 
ඔබට ලොකු හේතුවක් ඇති නේද බර්ට්‍රන්ඩ් රසල්ගේ බටහිරයන්ගේ ප්‍රඥාව කෘතියම විශේෂයෙන් තෝරගන්න....

ඔව්. මේ පොතේ ඉතා ගැඹුරු දෙයක් සරලව විග්‍රහකරනවා. අන්න ඒ නිසා තමයි මම මේ පොතට වඩාත්ම කැමති. බර්ට්‍රන්ඩ් රසල් කියන්නෙ විද්‍යාඥයෙක්නෙ... නමුත් ඔහු සාමාන්‍ය ජනතාවට රසවිඳිය හැකි විදියට මේ පොත රචනා කරනවා... මගේ ජීවිතයට ප්‍රශ්නයක් අපහසුතාවක් ආවාම මම මේ පොත කියවනවා. ඇත්තට මේ පොත මට හස්තසාර වස්තුවක් කිව්වත් වැරැද්දක් නෑ. විශ්ව කෝෂ හත අටක් කියෙව්වත් මේ දැනුම ගන්න බෑ... ඒ අතරම දැනුමක් මේ පොතේ අන්තර්ගත වෙලා තියෙනවා...

මේ පොත රසවිඳිද්දි ඔබගේ හිතට තදින් දැනුණු තැනක් මතකද?
රසල් එක තැනක කතාවක් කියනවා ගෝත්‍ර නායකයෙක් ගැන. ඒ ගෝත්‍ර නායකයාට සහචර සෙන්පතියෙක් ඉන්නවා... මේ සෙන්පතියාගේ මාර්ගයෙන් තමයි නායකයාට අවශ්‍ය දේවල් සෙසු ගෝත්‍ර මිනිස්සුන්ට කියන්නෙ. මේ සෙන්පතියා රැස්වෙලා ඉන්න මිනිස්සුන්ට කතාකරලා කියනවා... ගෝත්‍ර නායකයාට මෙච්චර ප්‍රමාණයක් එළුවෝ ඕනෙ... මෙච්චර ප්‍රමාණයක් ඉඩකඩම් ඕනෙ. තව වහල්ලු ඕනෙ කියලා... ඒ සියල්ල අර මිනිස්සු දෙන්න ඕනෙ... අඩුම තරමේ සෙන්පතියගෙන් ප්‍රශ්නයක්වත් අහන්න බෑ... බැරිවෙලා හරි ප්‍රශ්නයක් ඇහුවොත් එහෙම... ඉතා සරල පිළිතුරක් තමයි ඔවුන් දෙන්නෙ. ඒ තමයි මරණය... එතකොට හැම මිනිහෙක්ම දෙවැනි ප්‍රශ්නය අහන්න ජීවත් වෙන්නෙ නෑ... ඒ තමයි පැරුණි ගෝත්‍රවල සම්ප්‍රදාය සහ ප්‍රඥාව... ඔවුන් එහෙම තමයි මිනිස්සුන්ගෙ හඬ යටපත් කළේ. අන්න ඒ සිද්ධියට හරි අපූරුවට රසල් විස්තර කරනවා. ඒ නිසා මම ඒ තැනට කැමතියි... අනිත් විශේෂම කාරණාව තමයි මේ පොත ලියවුණු භාෂාව... ඒ ගැන විශේෂයෙන්ම කියන්න ඕනෙ... ඉතා මනරම් විදියට බර්ට්‍රන්ඩ් රසල් භාෂාව හසුරවලා තියෙනවා....

මෙච්චර වටිනා පොතක් ඔබට හම්බවෙන්නෙ අහම්බෙන් වෙන්න බැහැ ?
මම සෑහෙන පොත්පත් කියවන, කියවපු කෙනෙක්... පුරුද්දක් වශයෙන් ඉතා වැදගත් පොත්, වටිනා පොත් මම කියවනවා... එහෙම කියවද්දී මට මුණගැහුණු පොතක් තමයි බර්ට්‍රන්ඩ් රසල්ගේ මේ පොත.... 

ඔබ කී වතාවක්  දැනට මේ පොත කියවලා තියෙනවාද...?
මේ පොත ඉතා විශාල පොතක්... දැනට මම දෙපාරක් සම්පූර්ණයෙන්ම කියවලා තියෙනවා... මම කලිනුත් කිව්ව වගේ මට ප්‍රශ්නයක් ආපු වෙලාවක මේ පොතේ තැනින් තැන පිටු පෙරළලා කියවන්න පටන් ගන්නවා... කොහොම හරි මගේ ප්‍රශ්නයට පිළිතුර ඒ කොහේ හරි තියෙනවා. එහෙම නම් මම සෑහෙන වාර ගණනක් මේ පොත කියවලා තියෙනවා...

මේ පොත කියවලා ඔබගේ ජීවිතයට මොනවගේ දැනුමක් එකතු කරන්න පුළුවන් වුණාද?
මුළු ලෝකයේම හිටිය පෙර අපරදිග මිනිස්සුන්ගේ චින්තනය විකාශනය වුණු විදිය එක පොතකින් දැනගන්න පුළුවන් වුණා... එක අවස්ථාවක රසල් කියනවා මේ පොතේ සොක්‍රටීස් ගැන... සොක්‍රටීස් කියන්නෙ ලෝකයේ හිටපු තවත් විද්‍යාඥයෙක්නෙ. එයා ජීවත්වෙච්ච විදිය, එයා යම් යම් දේවල් ඉගෙනගත්ත විදිය කොටින්ම කියනවනම් සොක්‍රටීස්ගේ ජීවිතයේ සෑම දෙයක්ම වගේ මේ පොතේ සඳහන් වෙනවා. මේවා ගැන අධ්‍යනය කරන කෙනෙකුට සෑහෙන්න වැදගත් දැනුමත් මේ පොත හරහා ලබාගන්න පුළුවන්. 

මේ නිර්මාණය පළවෙනි වතාවට කියවලා අවසානයේ ඔබට මොනවගේ දෙයක්ද හිතුණේ..? ඒ හැඟීම වචනවලට පෙරළමුද?
මේ පොත කියවීමෙන් මගේ ජීවිතාවබෝධය එන්න එන්නම වැඩිවුණා... මට හිතුණේ මගේ පුස්තකාලයේ තියෙන පොත්වලින් රැකගත යුතුම පොත මේක කියලා.. මගේ ළඟ තියෙන පොත්වලින් තියෙන නිල නොලත් රාජකීය ග්‍රන්ථය මේක තමයි. අද සමාජයට මේ පොත පරිශීලනය කිරීමෙන් ලබාගන්න පුළුවන් කාරණා බොහොමයි.. ඒක නිසාමයි වෙනත් නිර්මාණ පසෙකලා මම මේ පොතම තොරගත්තේ... අනිත් කාරණාව තමයි බර්ට්‍රන්ඩ් රසල්ගේ ඥානය ගැන මට පුදුම හිතුණා... ඔහු කොහොම මෙවැනි දේ ලියන්නෙ කියලා... මෙවැනි කෘති වැඩි වැඩියෙන් අපේ තරුණ පරම්පරාව පරිශීලනය කළ යුතුයි කියලා මගේ හැඟීම... 
ඔහු කතාවට තිත තිබ්බේ එහෙමයි...

 

► Text - Danushka Wijesiri   /   Pic -  Internet