2020 මාර්තු 07 වන සෙනසුරාදා

අඩිකෝදුවෙන් ගුටි කන්න බැරිනිසා වාණිජ විෂය කළා

 2020 මාර්තු 07 වන සෙනසුරාදා, ප.ව. 12:30 149

- රයිගම් ඔෆ් කිංඩම් සමූහ ව්‍යාපාරයේ සභාපති ආචාර්ය රවී ලියනගේ

මේ කියන්න හදන්නේ කඳු ගැටයක පිහිටලා තියෙන සුන්දර පාසලක සිදුවීමක්. මෙතැන තියෙන ගොඩනැගිලි දැක්කම මතකයට එන්නේ ඉන්දියාවේ පිහිටලා තියෙන ශාන්ති නිකේතනයයි. ගහකොළ වලින් පිරී තියෙන මේ පාසලේ පහළ පන්තිවල ඉගනුම ලබන දඟයෝ කට්ටියක් පාසල් වත්ත පුරා කෝච්චියක් යන්නයි සූදානම. එකිනෙකාගේ කරට අත තබාගෙන පෙට්ටි ටිකනම් මේ වෙනකොට හැදිලා අහවරයි. මෙන්න හැමදාම වගේ අවදානම් ගන්න බය නැති දඟකාරයා කෝච්චියේ ඇංජිම වෙන්නේ සුපුරුදු පරිදිමයි. ඔන්න දැන් කෝච්චිය ඔය හූ තියමින් කුචු කුචු හොස් ගාමින් පාසල් වත්ත පුරා මේ වෙද්දී යනවා. ටික වෙලාවක් යද්දී මේ කෝච්චිය යන්නේ කන්ඳේ ඉහළට. එකපාරටම කෝච්චිය අනතුරට පත්වෙනවා. එංජිම විදිහට හිටිය කුඩා දරුවගේ අතක් දෙපළකින් කැඩෙනවා. දැන් පාසලේම එකම ගාල ගෝට්ටියක්.

අපි කතාවේ ඉතුරු ටික අහන්න “Yes I can පිටුවට අද එකතු කරගත්තේ ඔය කිව්ව කතාවේ ඇංජිම. ඒ වෙන කිසිවෙක් නෙවෙයි මේ රටේ පමණක් නොව විදේශයන්ගේද තම ව්‍යාපාර සන්නාමය රන් අකුරින් බැබළුව ඔහු තමයි රයිගම් ඔෆ් කිංඩම් සමූහ ව්‍යාපාරයේ සභාපති ආචාර්ය රවී ලියනගේ. අපි ඔහුගෙන්ම අහමු ඔහුගේ ජීවිතයේ ඒ සිදුවීම ගැන.

මම මගේ මුල්ම පාසල ගැන කියලාම ඔය කතාවට එන්නම්. අපේ අම්මයි තාත්තයි දෙන්නම ගුරුවරු. මම අපේ අම්මගේ අතේ එල්ලිලා අම්මා ඉගැන්නුව පාසල යහල කැලේ ද්විතියික පාසලට ගියා. මට මතක හැටියට ඒ 1967 වගේ. දැන් නම් ඒ පාසලේ නම මොරගහහේන මධ්‍ය මහා විද්‍යාලය. මම ඊට පස්සේ ශිෂ්‍යත්වය සමත් වෙලා හොරණ තක්ෂිලා විද්‍යාලයට ගියා. මගේ තාත්තා හොරණ තක්ෂිලාවේ ගණිතය විෂය උගන්වන ගුරැවරයා. තක්ෂිලා එකේදී තමයි ඔය කෝච්චි ගිහින් මෙන්න මේ අත තැන් දෙකකින් කඩා ගත්තේ. දන්නවනේ ඉතින් ළමයි හැම තිස්සෙම දඟලනවනේ. අපේ ගෙදර තිබුණේ හොරණ කදන්වෙල. හොරණයි මහරගම්යි අතර මැද තමයි අපේ ගම තියෙන්නේ. හොරණට වැඩිය ළඟ මහරගමට. අපි ඉතින් ඉස්කෝලේ යන කාලේ ඉස්කෝලේ ගිහින් ඇවිත් පොත් ටික ගෙයි කොහේට හරි විසිකරලා එළියට බැස්සම ආපහු ගෙදර එන්නේ හවසනේ. එතකම් ඉතින් සෙල්ලම තමයි. මගේ තාත්තට හිටියේ මල්ලි කෙනෙක් විතරයි. අපේ සීයා ඒ කියන්නේ තාත්තගේ තාත්තා මේසන් බාසුන්නැහේ කෙනෙක්. එයා දර පෝරණු බඳින්න ඒ පළාතේ නම් දරාපු කෙනෙක්. අපේ සීයා තාත්තටයි බාප්පටයි හොඳට උගන්නලා තියෙනවා. විශේෂයෙන්ම සීයා තාත්තලාට ඉංග‍්‍රීසී අධ්‍යාපනය හොඳට දීලා තියෙනවා. මගේ පවුල ගැන කියනකොට මට ඉන්නේ අක්කා කෙනකුයි නංගිලා දෙන්නෙකුයි විතරයි.

මගේ නංගිලා දෙන්නා නිවුන්නු. මගේ අක්කා ශ්‍රී ලංකා මහ බැංකුවේ ඉහළම නිලයක් දරන්නේ මේ වෙනකොට. එක නංගි කෙනෙක් වනජීවී එකේ ඉහළ නිලයක් දරනවා. අනෙක් නංගි ඉන්ජිනියර් කෙනෙක්. මගේ බිරිඳ ගීතා ලියනගේ. ඇය වෛද්‍යවරියක්. අපිට එක පුතෙක් සහ දියණියක් ඉන්නවා. විදේශ අධ්‍යාපනය නිමාකර පුතා නම් මේ වෙද්දී රයිගම් ආයතනයට සම්බන්ධ වෙලා සේවය කරනවා.

ඔබගේ කුඩා කාලය සහ පාසල් කාලයේදී හෝ ව්‍යාපාරයක් කරන්න ඕන කියලා අදහසක් තිබුණ ද?
නැහැ... බොරු කියන්න ඕන නැහැනේ. ඕන නම් මට කියන්න පුළුවන් ඔව් මම පුංචි කාලෙම ව්‍යාපාර කරන්න තමයි හිතාගෙන හිටියේ කියලා. ඒත් බොරු කියන්න ඕන නැහැනේ. ව්‍යාපාරය ආරම්භ කිරීම අහඹු සිදුවීමක්. මම උසස් පෙළ කරන්න වාණිජ විෂය ධාරය තෝරා ගත්තා. මම වාණිජ විෂය තෝරා ගත්තේ ගණිත විෂය ධාරාව තෝර ගත්තනම් මට ගෙදරවත් නිදහසේ ඉන්න වෙන්නේ නැති හින්දා.. (හිනාවේ..)

මොකක්ද ඒ කතාව?
මගේ තාත්තානේ තක්ෂිලා එකේ ගණිත විෂය ධාරාව උගන්වන්නේ. මට එදා අද වගේ හොඳට මතකයි මම සාමාන්‍ය පෙළ සමත් වෙලා ගෙදරට ඇවිල්ලා මම වාණිජ විෂය ධාරවෙන් උසස් පෙළ කරනවා කිව්වා. එතකොට සමගි පෙරමුණ ආණ්ඩුව තිබිලා ඊළඟ ආණ්ඩුව පටන් ගත්ත විතරයි. හැමදේම රජයටනේ අයිතිය තිබුණේ. පුද්ගලික අංශයක් ඒ කාලේ තිබුණේ ඉතාම අඩුවෙන්නේ. ඒ කාලයේ වාණිජ කියන විෂය ධාරාවට තිබුණේ ඉතාම අඩු තැනක්. තාත්තා නලළ රැළි කරගෙන මගෙන් අහනවා. “ඔයා ඇයි වාණිජ විෂය කරන්නේ කියලා. “මම කිව්වා මට ව්‍යාපාරිකයෙක් වෙන්න ඕන කියලා.

ඒ කියන්නේ ඔබඒ කාලයේ ඉඳන්ම ව්‍යාපාරිකයෙක් වෙන්න හිතාගෙන ද හිටියේ?
මොන පිස්සුද? මගේ තාත්තනේ තක්ෂිලාඑකේ ගණිත විෂය උගන්වන්නේ. ඉස්කෝලෙදීත් ගුටි කාලා ගෙදරිත් මට ගුටි කන්න වෙයිනේ. මම වාණිජ විෂය තෝරා ගත්තේ තාත්තගෙන් බේරිලා ඉන්න ඕන හින්දා. මොක්ද එයා ගහන්නේ අඩි කෝදුවේ අර දාරේ තියෙන පැත්තෙන් ළමයින්ට. වේවැලකුත් තියාගෙන ඉන්නේ කොයිවෙලේ බැලුවත්. එදා ළමයින්ට ගහලා ගුරුවරු හැදුවා. අද නම් මොනවා වේවිද එහෙම කළානම්. ඒත් හැමෝම දන්නවා වැරදි හිතකින් ගුරුවරු ළමයි එහෙම ළමයින්ට ගහන්නේ නැහැ කියලා. ඒ වගේම ඒ කාලේ ගුරුවරු දුර්වල ළමයින්ව හවස කාලේ ස්කෝලෙම තියාගෙන නොමිලේම ටියුෂන් දුන්නා. අද කාලේ නම් එහෙම කරනවද නේද? 

ඒ කාලයේ වාණිජ විෂයට තිබුණු තැන කොයි වගේද කියවානම් එක පන්තියකට අවශ්‍ය ළමයි ගාණ හොයා ගන්නවත් නැහැ. ඒක තමයි වාණිජ විෂයට තිබුණු තැන. මම උසස්පෙළ සමත් වෙලා 1983දී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට ඇතුළත් වුණා. ඒත් මම වාණිජ විෂයෙන් ඉස්සරහට ගියාට අපේ තාත්තට ඕන වුණේ මාව ඉංජිනියර් කෙනෙක් කරන්න. එක දෙයක් කියන්න ඕන අක්කා නංගිලා දෙන්න හැමෝම මාස්ටර්ස් කළා. ඒ කාලේ අපි කුඹුරු වැඩ කළා කියලා කිව්වනේ. අක්කායි මමයි නංගිලා දෙන්නයි පුවක් කොළ දෙකක් එකට ගැට ගහලා හදාපු කොළපතකින් පීල්ලෑවේ වැලි එගොඩට අදිනවා. මම මේ ලස්සන කතාවක් කියන්න හදන්නේ..  වැස්සට පස්සේ කුඹුරට වැලි ඇවිල්ලා ගොඩ වෙනවනේ. ඒවා ගොඩට අදින්න තාත්තට උදව්කාරයෝ වෙන්නේ අපිනේ. ඔන්න එදාට අපේ තාත්තා කුඹුරේ අමුඩෙකුත් ගහගෙන වැඩ. ඒ කාලේ අමුඩේ කියන්නේ ඉතින් ජාතික ඇඳුමක් වගේනේ. පස්සේ කාලෙක නම් අපේ ගෙදර අය තාත්තා අමුඩේ ගහනඑක ලැජ්ජාවක් කියලා දිග කලිසම් කපලා කුඹුරේ වැඩ කරද්දී අඳින්න දුන්නා. මම මේ කියාගෙන ආවේ තාත්තා වැඩ කර කර ඉද්දී ඔන්න පොලිස් ජීප් එකක් හොරෙක් අල්ලලා ඇවිත් ලොකු උන්නැහේ කියලා තාත්තා එක්ක සිංහලෙන් කතා කරලා ආවා.  ඕ.අයි.සී. සාජන් එක්ක ඉංග‍්‍රීසියෙන් කතා කරනවා. තාත්තාත්  ඕ.අයි.සී එක්ක කතා කළේ සිංහලෙන්. ඒ දෙන්නා ගියාට පස්ස තාත්තා කියනවා ඒ දෙන්නා කතා කළ ඉංග‍්‍රීසි වැරදියි. ඒ මනුස්සයෝ අධිකරණය වගේ වැදගත් තැනවල වැඩ කරන හින්දා ඒ මිනිස්සුන්ට හරියට ඉංග‍්‍රීසි ටිකක් කියලා දෙන්න කෙනෙක් නැහැනේ. මේවා කාට කියන්නද කියලා. 

තාත්තා එච්චර ඉංග්‍රීසි භාෂාව දැනගෙනත් ඒ අය ඉස්සරහා දැන් කියන විදියට නම් පොරක් වෙන්න ගියේ නැහැ. මොකද ඒ අය බොහෝම නිහතමානී මිනිස්සු. ඔයා දන්නවද ගොයම් කපා පෑගුවාට පස්සේ අපි ගමේ දුප්පත් ගෙවල් වලට වී මළු කරේ තියාගෙන ගිහින් දෙනවා. මම වී මළු දෙකක් කරට ගන්නවා. තාත්තා තව මල්ලක් ගන්නවා. අපි හැම ගෙදරකටම නෙවෙයි දුප්පත් ගෙවල්වලට එහෙම වී මළු උස්සන ගිහින් බෙදනවා. අපි ඉස්සර ගොයම් කපන කාලෙට ගොයම් කපනවා. මඩ වැඩ කාලෙට ඒවා කරනවා. ඒ කාලේ වැඩ කරන පුරුද්ද තියෙන නිසා අදටත් මට මේ කම්පණි එකේ මැෂිමක් අස්සට රිංගලා හරි වැඩ කරන්න හැකියාව තියෙනවා. අන්න මට කෑම බීම හදන්න ලැබුණු එකත් වාසනාවක් කියලයි මම හිතන්නේ.


ඉතුරු කොටස ඊළඟ සතියට

 

► Text — Chandana Waravitage