2020 මාර්තු 07 වන සෙනසුරාදා

දොස්තර හීනයට තටු දුන්න ’ඩවුන් සින්ඩ්‍රොම්’ තාත්තා

 2020 මාර්තු 07 වන සෙනසුරාදා, ප.ව. 12:30 110

අපි ලෝකෙ දිහා, මිනිස්සු දිහා බලන විදිහ කොයි තරම් පොඩි ද කියලා හිතෙන විදිහෙ සිදුවීම් ලෝකෙ විවිධ තැන්වලින් අපිට අහන්න දකින්න ලැබෙනවා. මේ ඒ වගේ තවත් සිදුවීමක්. මේක වාර්තා වෙන්නේ සිරියාවෙන්. ලංකාවෙ අපිට නම් මන්ද බුද්ධික කියන ගැරහිල්ලට ලක්වෙන ඩවුන් සින්ඩ්‍රොම් රෝගී තත්ත්වයෙන් ඉන්න ජනතාවගේ හදවත කොයිතරම් උණුසුම් ද ජීවිතයේ කොයිතරම් සාර්ථකත්වයක් එයාලට ළඟාකරගන්න පුළුවන් ද කියන එකට හොඳ උදාහරණයක් විදිහට මේ සිදුවීම හඳුන්වන්න පුළුවන්. 

ජැඩ් ඉසා කියන්නේ උපතින්ම ඩවුන් සින්ඩ්‍රොම් රෝගයට ගොදුරු වුණු කෙනෙක්. හැබැයි ඒ රෝගී තත්ත්වය ඔහුව ජීවිතයේ පැත්තකට තල්ලු කරලා දාන්න සමත් වුණේ නැහැ. ඔහු හැමවෙලාවෙම අනෙක් අයට වඩා කිහිපගුණයකින් අභියෝගයක් වෙච්චි තමන්ගෙ ජීවිතේ නිවැරදි දිශාවට මෙහෙයවන්න උත්සාහ ගත්තා. එහි ප්‍රතිඵලය විදිහට ඔහුගේ පුත් සේඩර් ඉසා මේ වෙද්දි දන්ත වෛද්‍යවරයෙක් වෙන්න ඉගෙනගන්නවා. 

ලෝකය ජැඩ්ගේ කතන්දරය දැනගන්නේ ඔහුගේ පුතා සේඩර් මෑතකදී සමාජ මාධ්‍ය හමුවේ තැබූ සටහනකිනුයි. තමන්ට ජීවිතේ ජයග්‍රහණ ළඟාකරගන්න, ඩවුන් සින්ඩ්‍රොම් තත්ත්වයෙන් පීඩා විඳින තමන්ගෙ පියා කොච්චර උපකාරී වුණාද කියලා ඔහු හරිම හෘදයාංගම විදිහට ප්‍රකාශ කරලා තිබුණා.

“මගේ පියා අවුරුදු විස්සක් තිස්සේ ඇඹරැම්හලක සේවය කළා. ඒ උපයාගත් මුදලින් ඔහු අපේ පවුල නඩත්තු කළා. මට ඉගැන්වූවා. අද මම දන්ත වෛද්‍ය විද්‍යාව හදාරන තෙවැනි වසරේ සිසුවෙක්. මට මගේ පියා ගැන ගොඩක් ආඩම්බරයි” සේඩර් කියලා තිබුණා. 

තමන්ගේ දහඩිය මහන්සියේ ප්‍රතිඵලයක් විදිහට සේඩර් මේ වෙද්දි දන්ත වෛද්‍ය විදුහලේ ඉගෙනගන්න එක තරම් තවත් සතුටක් ජැඩ්ට ලැබිලා නැහැ. තමන්ට පාරෙ තොටේදී හමුවන අයට පවා, මගේ පුතා දොස්තර මහත්තයෙක් කියලා ජැඩ් හරි ආඩම්බරයෙන් කියන්නෙ ඒ සතුට ගොඩක් විශාල හින්දමයි.

“තාත්තා කා එක්ක හරි මා ගැන කතාකරද්දි එයා වචනයෙන් නොකිව්වත් ඇස්වලින් කියන එක කතාවක් තියෙනවා. ඒ තමයි, ඔව් මට ඩවුන් සින්ඩ්‍රොම් තමයි. හැබැයි මම මගේ උපරිම ශක්ති ප්‍රමාණෙන් මේ කොල්ලව උස් මහත් කළා විතරක් නෙමෙයි, අනිත් මිනිස්සුන්ට උදව් කරන්න පුළුවන් විදිහට ඌව දොස්තර මහත්තයෙකුත් කළා”.

ජැඩ්ගේ මේ සංවේදී කතාව ලෝකෙ පුරාම පැතිර ගිහින්. ඒක ජැඩ් වගේම ඩවුන් සින්ඩ්‍රොම් රෝගයත් එක්ක පොරබදින ගොඩක් මව්පියන්ගේ කතාව බවට සැකයක් නැහැ. අනිත් අතට 2012දී කරපු සමීක්ෂණයකට අනුව විද්‍යාඥයෝ තහවුරු කරගෙන තියෙන විදිහට ඩවුන් සින්ඩ්‍රොම් රෝගය වැළඳුණු මව්පියන් අතුරින් සියයට 97ක්ම තමා තමන්ගේ දරුවන් ගැන ආඩම්බරයට පත්වෙන බවත්, සියයට 79ක්ම දරැවන් නිසා තමන්ගෙ ජීවිත වාසනාවන්ත වුණු බවත් විශ්වාස කරනවා.

ඩේලි ටයිම්ස් ඇසුරෙන්

► Text - Suranga   /   Pic -  Internet