2020 මාර්තු 07 වන සෙනසුරාදා

ජයට මඟුල් නොකෑවට අපි හොඳින්

 2020 මාර්තු 07 වන සෙනසුරාදා, ප.ව. 12:30 133

සිංහල අලුත් අවුරුද්දත් ළං වෙනවා. ප්‍රසංගවලට මේ පාරත් දමිතා විදෙස් සංචාරවලට සහභාගී වෙනවද?
ඔව්. ගිය මාසෙත් ප්‍රසංගයකට සහභාගී වුණා. අප්‍රේල් මාසෙදිත් දෝහාවලට යන්න ආරාධනාවක් ලැබුණා. මේ කාලෙදි කොරෝනා රෝගය නිසා ප්‍රසංගය බොහෝමයක් අවලංගු කළා. මේ රෝගය නිසා බොහෝදෙනා ප්‍රසංග සංවිධානය කරන්න බයයි. ඒ නිසා ගිය වසරේ අප්‍රේල් කාලෙට වඩා මේ වසරේ ප්‍රසංග සංවිධානය වෙන්නේ හරිම අඩුවෙන්. ලංකාවෙත් ප්‍රසංග කිහිපයකටම ආරාධනා මේ වනවිටත් ලැබිලයි තියෙන්නේ.

රංගන ශිල්පිනියක් වීම පුංචි කාලේ දැකපු හීනයක්ද?
නැහැ. මම කවදාවත් රංගන ශිල්පිනියක් වෙන්න පුංචි කාලෙදි හීන දැක්කේ නැහැ. මට තාම මතකයි මම පුංචි කාලෙදි නැටුම් ගුරුවරියක් හෝ සංගීත ගුරුවරියක් වෙන්න හීන දැක්කා. පුංචි කාලෙම දයා නෙල්ලම්පිටිය ගුරුවරිය යටතේ මම ඉගෙනගත්තා. ඊටපසුව අවුරුදු පහේදි මම කලා භූමියට සම්බන්ධ වුණා. එහෙම ඉගෙනගනිද්දි මට ඒ ගුරුවරියක් වගේ ආදරීණීය ගුරුවරියක් වෙන්න ආස කළා. මටත් කවදහරි මේ විදිහට ළමයින්ට උගන්වන්න පුළුවන්නම් කියලා මටත් හිතුණා. තව කෙනකුට උගන්වන්න අදටත් මම හරි ආසයි. මේ අවුරුද්දෙදි මම විශාරද විභාගය කරනවා. ඒ හැමදේම හෙමිහෙමීට කරගෙන යන්නේ පුංචි කාලේ මම දැකපු ඒ හීනය නිසාමයි. ගුරුවරියක් වෙන හීනය හැර නිළියක් වෙන්න මම හීන දැක්කේ නැහැ. නාලන් මෙන්ඩිස් මහතාගේ පස්ස ගෙගනා මනමාලි ටෙලිනාට්‍යයේ සෝමාගේ චරිතයෙන් මාව රංගන ශිල්පිනියක් වීමට මඟ පෑදුවා. ඒ වෙනස මාර්ගයත් එක්ක මේ තරම් දුරක් එන්න පුළුවන් වෙයි කියලා මම හිතුවේ නැහැ. මගේ රටේ හැම සම්මානයක්ම නියෝජනය කරන්නට, ඒ සම්මාන දිනාගන්නට මට පුළුවන් වුණා. ජාත්‍යන්තර සම්මාන ලබන්න පුළුවන් වුණා. ඒ කිසිම දෙයක් එදා මම බලාපොරොත්තු වුණේ නැහැ. කොහොමහරි අද වෙනකොට මම මේ ආපු ගමන ගැන ගොඩක් සතුටුයි.

අද වෙනකොට දමිතා මේ ක්ෂේත්‍රයට පැමිණ දශක දෙකකටත් වැඩියි. මේ ගමන එන්න එතරම් පහසු වුණේ නැහැ නේද?
මම මේ ක්ෂේත්‍රයට මගේ පොඩි කාලේ ඉඳන් ආපු නිසා ක්ෂේත්‍රය පිළිබඳව අවබෝධයක් ඇතිව මේ ගමන මට එන්න පුළුවන් වුණා. මම හැමවෙලේම අවබෝධයෙන් වැඩ කරන්න පුළුවන් වුණා. ඒ නිසා ක්ෂේත්‍රය පැත්තෙන් මට එහෙම කවදාවත් කිසි දෙයක් වෙලා නැහැ. ප්‍රවීණයන් වන මගේ පරපුරේ අයගෙන් මට කිසිම ප්‍රශ්නයක් වෙලා නැහැ. නමුත් මෑත කාලයේදී මේ ක්ෂේත්‍රයට අලුතින් එකපාරටම ආපු අය නිසා පොඩි හිත්රිදීම් ඇතිවුණා. ඇත්තම කිව්වොත් මට ඒ අය එක්ක තරගයට කරන්නවත් වටිනා චරිත නෙවේ. ඒ නිසා ඒ අයට මම අනුකම්පා කරනවා හැර මම ඒ අය එක්ක කිසිම තරහක් නැහැ. ඒ අය මේ කලාව, මේ ක්ෂේත්‍රය අතපත ගාන්නේ, සැරිසරන්නේ දැන්. කාපු බීපු තැන්වල කතා කරන දේවල් පවා ඇත්තටම හරිම කැතයි. තමන්ගේම අය ගැන ඒ මිනිස්සු ගොඩක් අපහාස කරනවා. ඇත්තටම ඒ අය ගැන තියෙන්නේ මට කලකිරීමක්. කෙනකුගේ පෞද්ගලික ජීවිතය ගැන විවේචනය කරන්න කාටවත් අයිතියක් නැහැ. කිසිම කෙනකු ගැන විනිශ්චයක් ලබනා දෙන්න අපිට අයිතියක් නැහැ. මේ භෞතික ලෝකයේ ජීවත් වන අය හැටියට අපිට තවත් මනුස්සයෙක්ව විනිශ්චය කරන්න අයිතියක් නැහැ. අතේ ඇඟිලි පහ වුණත් වෙනස්. එක අම්මගේ බඩවැල කඩාගෙන ආපු සහෝදරයන්ගේ වුණත් සිතුම් පැතුම්, ගති ලක්ෂණ වෙනස්. ඒ නිසා කිසිම කෙනෙක්ව විනිශ්චය කරන්න වගේම ඒ අයගේ පෞද්ගලික ජීවිතය විවේචනය කරන්න කිසිම කෙනෙක්ව විනිශ්චය කරන්න වගේම ඒ අයගේ පෞද්ගලික ජීවිතය විවේචනය කරන්න කිසිම කෙනකුට අයිතියක් නෑ. මේ ක්ෂේත්‍රයට ඇවිත් මම අනන්තවත් දේවල් දැකලා තියෙනවා. විඳලා තියෙනවා. මූණට හොඳට කතා කරලා හැරිලා යද්දී විවේචනය කරන අය මම අනන්ත අප්‍රමාණ දැකලා තියෙනවා. ඒ දේවල් දැකලම මම දැන් මොනවා කිව්වත් ගණන් ගන්නේ නැහැ. මට මේ ක්ෂේත්‍රයේදී දැන් දිනන්න දෙයක් නැති තරම්. හැම සම්මානයක්ම මම දිනලා තියෙනවා. ජාත්‍යන්තර සම්මාන දිනලා තියෙනවා. ඒ නිසා කිසිම දේකින් මගේ හිත රිදවන්න බැහැ.

ජාත්‍යන්තර සම්මාන විතරක් නෙවේ අප්‍රමාණව ජනතා සම්මාන පවා ලැබෙන දමිතාට මේ දේශපාලන රුල්ලට එන්නට ආරාධනා ලැබිලා නැද්ද?
ඕනතරම් ආරාධනා ලැබිලා තියෙනවා. ඒ ආරාධනා දැනුත් ලැබෙනවා. නමුත් දේශපාලන විෂය හරි ගැඹුරක් තියෙන විෂයක් කියලා මගේ රටේ දේශපාලනය කරන කී දෙනෙක් දන්නවද කියන එකත් මට ප්‍රශ්නයක්. ඇත්තටම ඒ ගැන මට තියෙන්නේ කලකිරීමක්. මේ දේශපාලනය කරන බහුතරයක් දේශපාලනය කරන්නේ රටට ආදරේ නිසාද? මේ රට සංවර්ධනය කරන්නද? එහෙම නැත්නම් තමන්ගේ සහ පවුලේ අයගේ දියුණුව වෙනුවෙන්ද කියලා හොයලා බලන්නම ඕන. අපේ රට හරි පුංචි රටක්. මේ පුංචි රටේ රට පාලනය කරන්න දේශපාලනඥයෝ කීදෙනෙක්නම් ඉන්නවද? පුංචි රටක් වෙච්චි අපේ පාර්ලිමේන්තුවේ දෙසිය ගාණක් ඉන්නවා. චීනය වගේ විශාල රටවල්වල එහෙම විශාල පිරිසක් නැහැ. මේ රට පාලනය කරන්න දක්ෂ දහයක් පහළොවක් හිටියත් හොඳටම ඇති. එහෙම නැතිව මේ වැදගත්කමකට නැති පිරිසකට මේ මුළු රටේම මිනිස්සු පඩි දීලා ඇති වැඩේ මොකද්ද? කලාකරැවන් කියන්නේ ජනතාව ආදරය කරන අයයි. ඒ නිසා කලාකරැවකු දේශපාලනයට යොමු වෙනවට මම පෞද්ගලිකව කැමති නැහැ.

ඉතින් කොහොමද දැන් ලෙන්ලි එක්ක ගතකරන ජීවිතේ?
අපි දෙන්නා දැන් මුණගැහිලා අවුරුදු දාහතක් වෙනවා. අපි හොඳට තේරුම් අරගෙන ජීවත් වෙන්නේ. මේ අවුරුදු දාහත පුරාවට අපි බැඳපු අය, ආයේ ඒ විවාහ දික්කසාද වුණ අය ඕනෑතරම් දැක්කා. අපි විවාහ වෙලා දැන් අවුරුදු හතරක් වෙනවා. ජයට වෙඩින් ගන්න අපි දෙන්නම කැමති වුණේ නැහැ.

 

► Text - Dishani   /  Pic – Sumudu /  Internet