2020 මාර්තු 14 වන සෙනසුරාදා

එතුමා හිතුවේ මට මානසික රෝගයක් කියලා

 2020 මාර්තු 14 වන සෙනසුරාදා, ප.ව. 12:30 147

මෙහි මුල් කොටස ඉකුත් සතියේ පලවිය

ඔබ ව්‍යාපාර පැත්තට යොමු වුණේ කොහොමද කියලා ඇහුවොතින් මොකක්ද දෙන්න උත්තරය?

මම විශ්වවිද්‍යාලේ ඉගෙන ගන්න ගමන් සේල්ස් රෙෆ් කෙනෙක් විදියට ජොබ් එකක් කළා. මොකද මම විශ්වවිද්‍යාලයේ ඉද්දී තමයි අපේ තාත්තා නැති වුණේ. ඒ කාලේ පෙන්ෂන් එකක් හදාගන්න ගොඩාක් කාලයක් ගතවෙනවා. අද කාලේ වගේ නෙවෙයිනේ. අවුරුදු තුන හතරක් විතර යනවා. එතකොට අම්මා අක්කයි නංගිලයි ගැන බලන්න ඕනනේ. මම මගේ වියදම් හොයාගත්තා. අම්මට එතකොට අම්මගේ විශ‍්‍රාම වැටුප හම්බවුණා.

මට මහපොළ රුපියල් 400ක් හම්බවුණා. සේල්ස් රෙෆ් කෙනෙක් විදියට පඩියත් රුපියල් 700කුයි කමිෂන් එකත් රුපියල් 1000ක් විතර හම්බවුණා. එතකොට කැම්පස් එකේ බත් එකක් රුපියල් 03යි සත විස්සයි. 1987දී කැම්පස් වැහුවණේ. ආපහු අවුරුදු තුනකින් කැම්පස් එක ඇරියේ. මම මොකද්ද දන්නවා ද කළේ ඒ කාලය අතරතුර චාර්ටඩ් එකවුන්ටන් ඉගෙන ගත්තා. තව මාර්කටින් ඩිප්ලෝමා එකක් කළා. ඊට පස්සේ මම මල්ටි නැෂනල් කම්පණි එකත් එක්ක කළමනාකරණ පුහුණු රැකියාවකට ගියා. ඒකේ වැඩ කර කර ඉද්දී මම රේගුවටත් ඇප්ලයි කරලා හිටියේ. මාස හයක් වැඩ කරද්දී මට රේගු නිලධාරියෙක් විදියට වැඩ බාරගන්න කියලා ලියුම ආවා. ඒ 1988 ජූනි 01 වැනිදා. ජුනි 03නේ මගේ උපන් දිනය. මම රේගුවට යන්න නෙවෙයි හිටියේ. මම එතකොට කළ රස්සාව ආසාවෙන් කළේ. ඒත් එතකොට පුතේ කවදා හරි දවසක රජයේ රැකියාවක් කළාම පෙන්ෂන් එක හරි හම්බවෙනවනේ. ඒකට යන්න කියලා අම්මා මට කිව්වා.

මම මගේ ලොක්කා හම්බවෙලා මම අයින්වෙනවා කිව්වම එයා මගෙන් ඇහුවේ ඔයා ඇයි යන්නේ කියලයි. මොකද එයා එහෙම අහන්න හේතුවක් තිබුණා. එතකොට මගේ පඩිය රුපියල් 5000යි. කස්ටම් ඔෆිසර් කෙනෙක්ගේ පඩිය රුපියල් 1440යි. ඊට පස්සේ මම හේතුව ලොක්කට කිව්වම එයා මට කියනවා ඔයා ගිවිසුමකට අත්සන් කරලා ඉන්නේ කියලා. මොකද ගිවිසුමට අනුව මම මාස තුනකට කලින් අයින් වෙනවා කියලා නොකියන හින්දා මම ආයතනයට 5000 ගාණේ මාස තුනකට ආයතනයට සල්ලි ගෙවන්න ඕන. අපේ අම්මා ඒ සල්ලි දෙනවා කියලා මම ලොක්කට කිව්වම එයා මට කිව්වා සල්ලි  ඕන නැහැ. ඔයා යන්න කියලා. මම කස්ටම් එකේ අවුරුදු 17ක් වැඩ කළා. 

රයිගම් නමින්ද පටන් ගත්තේ ? නැත්නම් වෙන නමකින්ද? කවුද නම තිබ්බේ?

එක යාළුවෙක් මගේ නෑදෑයෙකුත් වෙනවා. එයා තමයි එම්.ඩී.කේ ෆුඩ් ප‍්‍රඩක්ට් එකේ චෙයාර්මන්. එයා මගේ ක්ලාස්මේට්. පියනන්ද කුලරත්න. රයිගම් කියලා නම දාන්න කිව්වේ පියනන්ද. අපේ තාත්තනේ මේ මද්දුමගේ දොන් කුලරත්න කියන නමේ අකුරු ටික අරන් අපේ බිස්නස් එකට නම දැම්මේ. මම බිස්නස් එකට නම දැම්මා නම් දාන්නේ රයිගම් කියන එක කියලා පියනන්ද කිව්වා. ඊට පස්සේ මමයි පියනන්දයි ක‍්‍රිෂානුයි තුන්දෙනා එක්ක ලක්ෂ පහ ගාණේ දාලා රයිගම් ආයතනය පටන් ගත්තා. පියනන්ද බිස්නස් එක පටන් අරගෙන පුද්ගලික හේතුවක් නිසා ටික කාලයකින් රයිගම් එකෙන් අයින් වුණා. ඒත් තාමත්  අපි හොඳ යාළුවෝ විදියට ආශ‍්‍රය කරනවා.

ව්‍යාපාරයක් පටන් ගත්තා කිව්වට ඔබ මොනවද කරන්න පටන් ගත්ත ව්‍යාපාරය සහ කොහොමද එකට අදහස ආවේ?

සෝයා මීට් බිස්නස්නේ පටන් ගත්තේ. ඒකටත් බලපෑව කතාවක් තියෙනවා. අපේ තාත්තා මස් මාළු කන්නේ නැහැ. එයා හැම පෝයකටම සිල් සමාදන් වුණු කෙනෙක්. අපිට නම් මස් මාළු කන්න දුන්නා. ඒත් අදටත් අපේ ගෙවල්වලටත් පෝය දවසට මස් මාළු කන්න තියා ගේන්නේවත් නැහැ. ඉස්සර සෝයා මාර්කට් එකට ආවේ පොලිතින් කොලේක ඔතලා. සෝයාමීට් වතුරට දැම්මම ගුල්ලෝ වතුරේ පාවෙනවා කියලා අපේ අම්මා හැමදාම චෝදනා කළා. එක පැකට් එකක ප‍්‍රමාණය උයන්න ගන්න පැකට් තුන් හතරක්වත් වතුරට දාලා බලන්න වෙනවා.

ඔන්න ඔය කතාව මම මගේ යාළුවෙක් හිටියා ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කෙමිස්ට්‍රි කරන හේමන්ත සියඹලාගොඩ කියලා. එයාට කිව්වා. ෆුඩ් සයන්ටිස්ට් කෙනෙක් හිටියා ප්‍රොෆෙසර් බමුණුආරච්චි කියලා. හේමන්තයා එතකොට කිව්වා අපි  ඕක බමුණාගෙන් අහමු කියලා. මේ බමුණා කියලා කිව්වට කොල්ලෝ හැමෝම ප්‍රොෆෙසර් බමුණුආරච්චිට ආදරේට තමයි එහෙම කිව්වේ. ඉතින් ප්‍රොෆෙසර් බමුණුආරච්චි දුන්නු උත්තරේ තමයි සෝයා කියන්නේ මස් මාළුවල වගේම අධික ප්‍රෝටීන් තියෙන ආහාරයක් කියලයි. තෙත් සහිත ආහාරවලට ඒ කියන්නේ මස් මාළු වගේ දේවල්වල පණුවෝ හැදෙනවා වගේ වියළි තත්ත්වයේදී සෝයවලදී වෙන්නේ ගුල්ලන්ව ඇදිලා එනවා කියලා. ඒකට විසඳුමක් විදිහට බමුණුආරච්චි සර් ලැමිනේටින් පැක් එකක් පාවිච්චි කරන්න කියලා උපදෙස් දුන්නා. 

රයිගම් ආයතනයට ආයතනයේ මේ වෙනකොට කොච්චර විතර නිෂ්පාදන සංඛ්‍යාවක් වෙළෙඳපොළට හඳුන්වලා දීලා තියෙනවාද?

මේ වෙනකොට බ‍්‍රෑන්ඩ් 80ක් විතර මාර්කට එකේ තියෙනවා. ආහාර ද්‍රව්‍යවලට අමතරව ෆර්නිචර්, ඇතුළු ව්‍යාපාර ජාලයක් අපිට තියෙනවා. කොටස් වැඩිපුර ප‍්‍රමාණයක් අයිති නිසා මම සභාපති විදිහට කටයුතු කරනවා. අපේ බ‍්‍රෑන්ඩ් 80ක ෆැක්ටරි 07ක් ලංකාවේ විවිධ ප‍්‍රදේශයන්වල පිහිටලා තියෙනවා. මේ වෙද්දී සේවක සේවිකාවන් 1700ක් විතර අපි ගාව සේවය කරනවා.

රයිගම් ආයතනය හිමි කරගෙන තියෙන සම්මාන ගැන සඳහන් කළොත්?

සම්මාන නම් ගොඩාක් හමුවෙලා තියෙනවා. අර මේසේ උඩ වගේම මේසේ යටත් තියෙන්නේ සම්මාන. ඒ වගේම මේ ආයතනයේ බොහෝ තැන්වල අපිට ලැබුණු සම්මාන තියලා තියෙනවා. ඕන කෙනෙක්ට දැකගන්න පුළුවන්. පහුගිය දවසේ ලස්සන වැඩක් වුණා. අපිට එක සම්මාන දෙන ආයතනයකින් කතා කරලා අපිට කියනවා ඔබගේ ආයතනය නොමිනේට් වෙලා තියෙනවා. මේසයක් වෙන් කරගන්නලු සල්ලි ගෙවලා. මම සල්ලි ගෙවලා සම්මාන ගන්න අපිට අවශ්‍ය නැති බව ඔවුන්ට කිව්වා. අපිට ලැබෙන සම්මානය තමයි පාරිභෝගික විශ්වාසය කියන ඉහළම සම්මානය. ඒක හැමදාම අපට තියෙනවා. ඒ වගේම මම සඳහන් කළ යුතුයි 2004දී ෆ්ලැටිනම් නැෂනල් ප‍්‍රඩකට් අවෝර්ඩ් එකත් අපිට හිමිවෙලා තියෙනවා. නැෂනල් අවෝර්ඩ් දෙතුන් වතාවක්ම හිමිවෙලා තියෙනවා.

ඔබ ආයතනයෙන් කරන සමාජ සත්කාර වැඩසටහන් ගැනත් මතක් කළොතින් ?

සමාජ සත්කාර සඳහා මිලියන 50ක් විතර වියදම් කරනවා. හොරණ රෝහලේ හදිසි අනතුරු වාටුව තනිකර අපේ වියදමෙන් කරගෙන යනවා. ඊට අමතරව කරන දේවල් එකින් එක විස්තර කරන්න අමාරුයි. මෙන්න මෙච්චර විතර ෆයිල් එකක් මම හැම සිකුරාදටම අත්සන් කරනවා. සමාජ සත්කාර වෙනුවෙන් කරන පිරිනැමීම්වලට. අනිත් එක තමයි ඕන කෙනෙක්ට මාව හමුවෙන්න පුළුවන්. වෙන සභාපතිවරු වගේ නෙවෙයි. මට කරන්න පුළුවන් ඕනම දෙයක් මම ඕනම කෙනෙක් වෙනුවෙන් කරනවා. දැනට වුණත් මම ලංකාවේ ඉන්නවනම් මළගෙයකට ගිහින් කොඩියක් දන්න එකට පවා සහභාගී නොවී ඉන්නේ නැහැ. සරල වුණාම ජීවත්වෙන්න පහසුයි. අපි සරල වුණු තරමට ජීවත්වෙනඑක පහසුයි.

ව්‍යවසායකයෙක් වෙන්න ඉන්න කෙනෙක්ට මොකක්ද ඔබට දෙන්න තියෙන පණිවුඩය? මොකක්ද ඒ ගැන ඔබගේ අදහස?

හොඳ ප‍්‍රශ්නයක්... අපේ රට ව්‍යවසායකත්ව හිඟයකින් පෙළෙනවා. ඒක හරියට කියනවනම් අයඩීන් මන්දපෝෂණයෙන් පෙළෙන ජාතියක් වගේ. අපේ රටේ ව්‍යවසාය සංස්කෘතියක් නැහැ. ඒකට අවදානම් ගන්න තියෙන බයත් එක හේතුවක්. අපේ රටේ ව්‍යාපාර කළමනාකරණය උගන්වන්න විශ්ව විද්‍යාල වගේම පෞද්ගලික ආයතනත් කොච්චර තියෙනවද? කීදාහක් මේවගෙන් ඉගෙනගෙන එළියට බහිනවද? ඒත් එහෙම ඉගෙනගෙන එළියට බහින කීයෙන් කීදෙනෙක්ද තමන්ගේම ව්‍යාපාරයක් ආරම්භ කරන්නේ? මම මගේ ජීවිතේ කස්ටමර් ඔෆිසර් කෙනෙක් විදිහට ඉද්දී එයින් අයින් වෙන්න ගියාම වුණු සිදුවීම කියන්නම්කෝ. එතකොට අපේ ලොක්කා විදිහට හිටියේ මිස්ටර් ජයතිලක. එතුමා නියම විදිහට සර්විස් එකට අනුව ඒ තනතුරට ආව කෙනෙක්. මම මගේ ඉල්ලා අස්වීම් ලියුම කිහිප සැරයක්ම දුන්නත් ඒක භාරගත්තේ නැහැ. දවසක් මම මගේ ඉල්ලා අස්වීමේ ලියුමත් අරගෙන ලොක්කා ගාවට යන්න බලාගෙන ඉන්නවා. එදා මගේ ප‍්‍රධානියා කාර්යබහුල වෙලා හිටියේ. එතකොට ප‍්‍රධානියාගේ සෙකට්‍රි විදිහට හිටියේ ලියනගේ කියලා කෙනෙක්. එදා ප‍්‍රධානියා හමුවෙන්න ඇපොයින්මන්ට් දාලා ගොඩාක් අය එළියේ බලාගෙන හිටියා. අපි හදිසි වෙලාවට පිටිපස්සේ දොර ගාව ඉඳලා ඇතුළට යනවා. එදා ලියනගේ එක්කෙනෙක් එළියට එනකොටම මට ඇතුළට යන්න කියලා මාව පිටිපස්සෙ දොරෙන් ප‍්‍රධානියා ගාවට යැව්වා. මම කොහොම හරි ප‍්‍රධානියා ගාවට ගිහින් ඉල්ලා අස්වීමේ ලිපිය දුන්නා. එතකොට ඒක බලලා මම ජීනිවාවල මිටින් එකකට යන හින්දා කාර්යබහුලයි. මම මේක ඇවිල්ලා අත්සන් කළාට කමක් නැද්ද කියලා මගෙන් ඇහුවා. සති දෙකකින් එනවා කියලත් කිව්වා. 

අයින් වෙලා මොනවද කරන්න හදන්නෙ කිව්වම මම කිව්වා මගේ දැනට කරගෙන යන බිස්නස් එක වැඩිදියුණු කරගන්නයි අයින් වෙන්නේ කියලා. රේගු නිලධාරියෙක් විදිහට වැඩ කරන ගමන් ඒක කරන්න කියලා එතුමා මට කිව්වා. මම ඒ වෙලාවේ කිව්වා. මම එහෙම කරන එක මගේ හෘද සාක්ෂියට අනුව හරි නැහැ කියා දැනෙනවා. මට තවත් මේ රුකියාවෙන් ජීවත් වෙන්න  ඕන කියලා මට හිතෙන්නේ නැහැ කියලා මම රේගුවේ වැඩකරන එක මගේ චර්යා ධර්මයන්ට විරුද්ධයි කියලා මම කිව්වා. ඔයාගේ වයිෆ් ඩොක්ටර් කෙනෙක්නේ. එයා එක්කත් කතාබහ කරලා මානසික වෛද්‍යවරයෙක් හමුවෙන්න කියලා මට එතුමා කිව්වා. එතුමා හිතුවේ මට මොළේ අමාරුවක් තියෙනවා කියලයි. එතුමා එදා එහෙම කළ එක සාධාරණයි. මගේ අම්මා කිව්ව විදිහට ව්‍යාපාරයක් කළාම සහ පෞද්ගලික අංශයේ පෙන්ශන් එකක් හමුවෙන්නේ නැහැ. මම සබරගමුවේ විශ්ව විද්‍යාලය උපාධි ප‍්‍රදානෝත්සව කිහිපයකට ප‍්‍රධාන ආරාධිතයා විදිහට සම්බන්ද වුණා. මම ඒ හැම වෙලාවෙම කිව්වේ තමන්ගේ කියලා වඩේ කඩයක් හරි දාගන්න කියලයි. මොකද ව්‍යාපාර කළමනාකරණය ඉගෙනගෙන ඒ හැමෝම යන්නේ තවත් තියෙන ව්‍යාපරයක සේවය කරන්න. මම කියන්නෙ ඉල්ලුමට සැපයුම තියෙන්න ඕන. බිස්නස් නැතුව රැකියා කොහොමද උත්පාදනය වෙන්නේ. ව්‍යවසායකයෝ නැතුව ව්‍යාපාර කොහොමද ඇතිවෙන්නේ. බිස්නස්කාරයෝ නැතුව බිස්නස් නැතුව රැකියා කොහොමද ඇතිවෙන්නේ. හිතලා බලන්න ඒ ගැන. මම කියන්නේ ව්‍යවසායක උන්මාදයක් අපේ රටේ ඇති කරන්න ඕන. අවදානම් ගන්න බය වෙන්න එපා. හරියට කරන දේ සමීක්ෂණය කරලා කරන්න. ව්‍යවසායකයෙක් වෙන්න බය වෙන්න එපා. මම කවදාවත් ව්‍යවසායකයෙක් වෙන්න හිතුවේ නැහැ. ඒත් ව්‍යවසායකයෙක් වුණාම ඔබට කරන්න පුළුවන් දේ ගැන හිතන්න.

මම 2004 ජාතික ව්‍යවසායකයාට හිමි ප්ලැටිනම් සම්මානය හිමිකර ගත්තා වගේම එම වසරේම හොඳම ව්‍යාපාර නායකයාට හිමි CIMA පිනකල් සම්මානය ලබාගත්තා. මා දන්නා පරිදි එකම වසරකදී මෙම සම්මාන 2කම දිනාගත් එකම ව්‍යවසායකයා මමයි.

Text — Chandana Waravitage