මෙවර 5 Choiceවලට අපි සම්බන්ධ කර ගත්තේ ජනප්‍රිය වගේම දක්ෂ නළුවෙක්. ඔහු ඔබට ආගන්තුක නැති රොෂාන් පිලපිටිය. අපි රොෂාන්ගෙන් ඇහුවේ කැමතිම ගීත පහ ගැන.
උන්මාද සිතුවම් - ගුණදාස කපුගේ
1980 දී තිරගත වූ එක්ටැම් ගේ චිත්‍රපටයට මහාචාර්ය සුනිල් ආරියරත්න මහතාගේ ලියූ සහ සරත් දසනායකයන්ගේ සංගීතයෙන් හැඩ වුණු මේ ගීතයට තමා මගේ මුල්ම කැමැත්ත හිමි වෙන්නේ. ඉන්දියානු සංගීතය කොපි කරලා ගීත බොහොමයක් බිහි වුණු කාලයක සරත් දසනායකයන් ලාංකික සංගීතය මුසු කරමින් නිර්මාණය කළ ගීත අතර මේ ගීතයට මම මහත් සේ ඇළුම් කරනවා.
ඉරට අකීකරු - ඉන්ද්‍රාණි පෙරේරා
මේ ගීතයත් චිත්‍රපට ගීතයක්. 1979 දී තිරගත වුණු දිනුම් කණුව චිත්‍රපටයට මේ ගීතයත් ලියුවේ. මහාචාර්ය සුනිල් ආරියරත්න. සංගීතවත් කළේ සරත් දසනායක මහතා. කණ්ඩායම් සංගීතය ගැන කතා කරද්දී අපට අමතක කරන්නම බැරි කණ්ඩායමක් තමා ත්‍රී සිස්ටර් කියන්නේ. ඉතින් එකම පවුලක ගැහැනු දරුවන් තිදෙනෙක් ගීත ගයන මේ ත්‍රී සිස්ටර් කණ්ඩායම අපේ ගීත ඉතිහාසයේ විශේෂිත ලකුණක් කිව්වොත් නිවැරදියි. ඒ නිසා මගේ දෙවැනි මනාපය ඉන්ද්‍රාණි පෙරේරා මහත්මිය ගයන ඉරට අකීකරු ගීතයට.
සිහින ලොවක් - ක්ලැරන්ස් විජේවර්ධන
සුපර් ගෝල්ඩන් චයිම්ස් බෑන්ඩ් එක 1970 අග භාගයේදී විතර නිර්මාණය කළ මේ ගීතයත් මගේ කැමතිම ගීත පහ අතර තියෙනවා. සිංහල සංගීතය තුළ ආදරය ගැන තාරුණ්‍ය ගැන කතා කරපු ප්‍රබල චරිතයක් තමයි ක්ලැරන්ස් විජේවර්ධන කියන්නේ. පොප් සංගීතයේ සහ පොප් ගීත කලාවේ පුරෝගාමී චරිතයක් වෙන්නෙත් ක්ලැරන්ස් විජේවර්ධනයන්. ඉතින් එතුමාගේ ගීත බොහොමයක් මම රසවිඳිනවා. ඒ අතර මේ ගීතය විශේෂයි.
දෛව යෝගයකින් - වික්ටර් රත්නායක
මේ ගීතය ලියුවේ සුනිල් ආරියරත්න. සංගීතවත් කරමින් ගායනා කළේ වික්ටර් රත්නායක මහතා. මේ ගීතයට යොදා තියෙන සංගීතය ගැන කතා කළොත් බොක්ස් ගිටාරයකින් තමා මේ අපූරු මෙලඩි එක යොදලා තියෙන්නේ. ඉතින් මේ ගීත සියල්ලට වගේ කැමති වෙන්න ප්‍රධාන හේතුව තමා මේ ගී පද පෙළෙහි තියෙන සරල බව සහ යොදා තියෙන සංගීතයේ සරල බව කිව්වොත් නිවැරදියි.
යොවුන් වසන්තේ - නන්දා මාලනී
1976 දී තිරගත වූ දියමන්ති චිත්‍රපටයට මේ ගීතය ලියුවේ මහාචාර්ය සුනිල් ආරියරත්න. ඒ වගේම සංගීතවත් කළේ ඩී.ආර්. පීරිස් මහතා. ගීතය ගයන්නේ විශාරද නන්දා මාලනී මහත්මිය. මේ ගීතය ඇහෙද්දී මේ චිත්‍රපටයේ දර්ශන පවා මතකයට නැගෙනවා. ඒ තරමටම හරි සුන්දර සිනමා නිර්මාණයක් වගේම මෙහි රංගන දායකත්වය ලබා දෙන්නේ විජය කුමාරණතුංග, මාලනී ෆොන්සේකා සහ විමල් කුමාර ද කොස්තා වගේ අය. ඉතින් කැමතිම ගී පහ අතරට මේ ගීතයත් ඇතුළත්.