2017 අප්‍රේල් 01 වන සෙනසුරාදා

මම සුදු මහත්තයෙක් නෙවෙයි

 2017 අප්‍රේල් 01 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 207

මොකද නිශ්ශබ්ද... මාධ්‍යයේ වැඩිය පේන්න ඉන්න බවක් පෙනුණෙ නෑ?
එහෙම ප්‍රශ්නයක් නෑ. වෙනදා කරන දේවල්ම කරගෙන ඉන්නවා. විශේෂයෙන් කියලා නිශ්ශබ්දතාවයකුත් නෑ. මම කොහොමත් නිශ්ශබ්දයි. මාධ්‍යයේ වැඩිය මම පේන්නේ නැත්තේ ඉතින් මාධ්‍යවේදීන් මා ගැන කියන්නේ නැති නිසයි. මාධ්‍යයට මට කතා කළොත් මම යනවා. මාධ්‍යවේදීන් එක්ක මගේ කිසිම තරහක් නෑ.

කොහොමද ජිප්සීස්ලට දැන් වැඩ අඩුයිද?
එහෙම අඩුවක් නෑ. කරපු පිනක් නිසා අදටත් ජිප්සීස්ලට වැඩ තියෙනවා. ජිප්සීස්ලා කවදත් වැඩි සද්දයක් කළේ නෑ. අදටත් එහෙමයි. හැබැයි ඉස්සර වගේම ජිප්සීස්ලා වැඩටික හොඳට කරගෙන යනවා.
ඔබ බොහෝම විවෘතව කතාකරන මනුස්සයෙක්. ජීවිතේ ඉතා සංවේදී දේවල් පවා බිරියගේ දරුවන්ගේ පෞද්ගලික ජීවිත ගැන පවා ඔබ විවෘතව කතා කරපු කෙනෙක්. මේවා කතා කළාම ගෙදර මිනිස්සු බණින්නේ නැද්ද?
ගෙදර මට කතාකරන්න එපා කියන මාතෘකා දෙකයි තියෙන්නේ. ඒ දේශපාලනය සහ ආගම. ඒ මාතෘකා දෙක ගැන ප්‍රසිද්ධියේ මම කතාකරනවට ගෙදර මිනිස්සු කැමති නෑ. අනෙක් ඕනෑ දෙයක් කතා කළාට මට කිසි ප්‍රශ්නයක් නෑ.

ගෑනු ආකර්ෂණය මගේ බලයක්

දැන් දේශපාලනය ගැන කතා කරන්නේ නැත්තේ ගෙදර මිනිස්සු කියපු නිසාමද?
ඔව්... ඒකත් හේතුවක්. අනික මේ හැමෝටම තන්හාව. ඒ නිසා දැන් ඒ හැමෝම ගැන කලකිරිලා. මේ කුළල්කෑම තියනකන් මේ රට දියුණු වෙන්නේ නෑ. 

සුනිල් කියන්නේ කාර්යබහුල කලාකරැවෙක්. විවේකය ලැබුණහම ගෙදර මිනිස්සු එක්ක මොකද කරන්නේ?
ගෙදර ඉද්දිත් මම හැමවෙලේම විනෝදයෙන් තමයි ඉන්නේ. එහෙම නැතිව බෑනේ. මේ ජීවිතේ පොඩි කාලේදී මූණ දෙක කරගෙන ඉන්න එකේ තේරුම මොකක්ද? විනෝදයෙන් තමයි මම ඉන්නේ. ගෙදර කට්ටියත් ඒ වගේ. එහෙම හිනාවෙලා ඉන්න එකත් ලොකු වාසනාවක්. එදා දවසේ ඔය දේශපාලන දෙයක් හරි අල්ලගෙන අපි හිනාවෙනවා. එහෙම නැත්නම් ඔය කාලීන මාතෘකාවක් අල්ලගෙන හිනාවෙනවා.

මම අනන්තවත් වැරදි කරපු මනුස්සයෙක්.

ජිප්සීස් සුනිල්ට තාම කෙල්ලන්ගේ කාන්තාවන්ගේ ආකර්ෂණය අඩුවක් නැතිව තියෙනවද?
ඔව්... ඒක ආකර්ෂණයටත් වඩා මොකක් හරි බලයක් වෙන්න ඇති. එහෙම බලයක් ඇතිවීමත් එක අතකට වාසනාවක්. ඒක ලොකු පිනක්. මට ඒක එදත් තිබුණා. අදටත් තියෙනවා. ජිප්සීස් පටන් අරගෙන දැන් අවුරැදු හතළිස් හතක් වෙනවා. මේ අවුරුදු හතළිස් හත පුරාම මම සංගීත කණ්ඩායමේ ඉන්නවා. ඒ අයගේ ආදරය ආකර්ෂණය දිනාගැනීමට වාසනා ගුණයක්. තාමත් මගේ ඒ වාසනාගුණය මගේ ළඟ තියෙනවා.
ඔබ හිතන්නේ නැද්ද සුනිල් පෙරේරා මේ තරම් ජනප්‍රිය වුණේ ඔබ ළඟ තියෙන දක්ෂතාව නිසාම කියලා?
නෑ.. මගේ ළඟ එහෙම ලොකු දක්ෂතාවයක් තිබුණා කියලා මම විශ්වාස කරන්නේ නෑ. යම්තාක් දුරකට දක්ෂතාවක් තියෙන්න ඇති. ඒත් ඒකට වාසනාවත් බලපානවා. මින්ස්සුන්ට දක්ෂතාවය නිසා දිනන්න පුළුවන්. ඒත් මනුස්සයෙක් මතුවෙන්නේ වාසනාව නිසයි. පිං බලය නිසයි. 

ඕනෑ තරම් බීලා පිස්සු නටලා තියෙනවා.

බීලා පිස්සු නටලා පාටිවල විනෝද වෙච්චි දවස් ජීවිතේ අනන්තවත් ඇති නේද?
ඔව්... එහෙම දේවල් අනනත්තවත් වෙලා තියෙනවා. ඒත් ඒ වගේ දේවල් මම අනුමත කරන්නේ නෑ. හැබැයි ඉතින් බොරු කියන්න ඕනේ නැහැනේ. මම එහෙම බීපු අවස්ථාවන් ඕනෑතරම් තියෙනවා. මගේ ජීවිතේ බොහෝ වැරදීම් සිද්ධ වුණා. එහෙම වැරදීම් සිද්ධ වුණාම ආයේ ඒ වැරැද්ද සිදුනොවෙන්න මම උත්සහ ගත්තා. සමහර දේවල් ආයේ ආයෙත් වුණා. ඒ අතීතය දැන් කතා කරලා වැඩක් නැහැ. පාටිවල ඩ්‍රින්ක්ස් ගත්ත එකත් නතර කරන්න උත්සාහ ගත්තු වාර අනන්තයි. මගේ වැරදි හදාගන්න මගේ බිරිය මට ලොකු ශක්තියක් වුණා.

ජ්‍යොතිෂයේ තියෙන්නේ පට්ටපල් බොරු

නිරුවතින් ගෑනු ළමයින් නටවන්න ගිහින් පටලවා ගත්ත නඩුව දැන් ඉවරද?
නෑ.. ඒක තාම තියෙනවා. ඒක මගේ අතින් සිද්ධ වෙච්චි නරක සිදුවීමක්. ප්‍රසිද්ධ රජයේ පාසැලක තිබුණු උත්සවයකදී වෙච්චි වැරැද්දක් ඒක. මම දන්නවා ඒ මගේ අතින් සිද්ධ වුණේ සුදුසු නැති දෙයක්. මම හැම දෙයක්ම හරි විදිහට කරපු සුදු මහත්තයෙක් නෙවේ. මගේ අතින් වැරදීම් සිද්ධ වෙනවා. එදත් සිදුවුණා. ඒත් මම ඒ වැරදීම්වලින් පාඩම් ඉගෙන ගන්නවා. 

ඊට පස්සේ එවැනි උත්සවවලට ආරාධානා ලැබුණද?
ඔව්... අනනත්වත් ආරාධනා ලැබුණා. මම ඒවාට ගියේ නෑ. මගේ නෝනත් කිව්වේ සුනිල් යන්න එපා කියලා. ඒ පාර යද්දිත් මම ගංගාට බොරු කියලා ගියේ නෑ. ඒ වුණාට මගේ වයිෆ් ගංගා මම බොනවට කැමති නෑ. මම කලිනුත් කීවා වගේ ජීවිතේ මම අනන්තවත් වැරදි කරපු මනුස්සයෙක්. ඒත් මගේ ජිවිතේ වෙච්චි ඒ වැරදි දිහා බලලා කෙනෙක්ට පාඩම් ඉගෙන ගන්න පුළුවන්. 

ඔබ ජ්‍යොතිෂවේදිය විශ්වාස කරන කෙනෙක් නෙවෙයි නේද?
නෑ.. මම ජ්‍යොතිෂය විශ්වාස කරන්නේම නෑ. අසරණ මනුස්සයා හැම වෙලේම අසරණකමට අර දේවල් විශ්වාස කරනවා. නැත්නම් ජ්‍යොතිෂවේදයේ තියෙන්නේ පට්ටපල් බොරු.  ඔය වාලම්පුරි කියලා දෙයක් තියෙනවානේ. ඒවත් පට්ටපල් බොරු. ඔය වාලම්පුරි කියන දේවල් හරියට හරිනම් මට එකක් දෙන්න මම සල්ලි දෙන්නම්. අපි ඒක දුප්පත් පවුලකට තියලා බලමු හරි යනවද කියලා. බොරැ කියලා අසරණ මිනිස්සුන්ව මුලා කරනවා.

දැන් සුනිල් සීයා කෙනෙක් නේද?
ඔව්. දැන් මම සීයා කෙනෙක් වෙලා අවුරුදු දහයක් විතර වෙනවා. දැන් මට මිනිපිරියන් තුන්දෙනෙක් ඉන්නවා. ඒ අයගෙන් පොඩි කෙල්ලෝ දෙන්නා මාත් එක්කමයි නිදාගන්නේ. ඒ දෙන්නා මට හරිම කිට්ටුයි. තාමත් මගේ ජීවිතේ හරි සුන්දරයි. ගෙදර ගියාම පොඩි දෙන්නත් එක්කම තමයි මගේ කාලය ගෙවෙන්නේ. ඒ අය කියන දේවල් ඉස්කෝලේදී එයාලා හොයාගෙන ආපු දේවල් මාත් එක්ක කියනවා. ඒ පුංචි එවුන්ගේ ලෝකේ හරි සුන්දරයි.