2017 අප්‍රේල් 01 වන සෙනසුරාදා

දරුවා නැතුව මම පිච්චෙනවා

 2017 අප්‍රේල් 01 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 391

ගයාන් වික්‍රමතිලකගේ හිටපු බිරිය පසුගිය දිනෙක සමාජ ජාලා වෙබ් අඩවියක් හරහා මුදාහැර තිබූ වීඩියෝපටය බොහෝ දෙනාගේ අවධානයට ලක්වුණා. තමාට බලවත් අසාධාරණයක් සිදුවී ඇති බවත් ඒ කවර ආකාරයෙන්ද යන්නත් තම වැඩිමහල් පුතු ආසාධාරණ ලෙස තමන්ගෙන් ඈත්කර ඇතිබවටත් ඇය චෝදනා කරනවා. ඇයට මාධ්‍ය හමුවේ කියන්න ඇතිදේ  සහ ගයාන් සහ චතුරිකාට ඒ පිළිබඳව දක්වන්නට ඇති අදහස් අපි විමසුවා.

දරුවා නැතුව මම පිච්චෙනවා

ගෑනියෙක් විදිහට මවක් විදිහට ගොඩාක් අසාධාරණකම්වලට මේ වෙද්දී මට මූණදෙන්න සිද්ධවෙලා තියෙනවා. හැමෝම දන්නවා ඇති මම කවුද කියලා. මම ගයාන් වික්‍රමතිලකගේ හිටපු බිරිඳ. මගේ අහිංසක රත්තරන් දරුපැටවු දෙන්නටයි මටයි වෙච්ච ලොකු අසාධාරණයක් පෙන්නලා දෙන්න ඕන හින්දයි මම මේ වීඩියෝ එක දාන්නෙ.

මට දරාගන්න බැරි දුකක් තියෙන්නේ. මම මේ වෙනකොට විදේශගතවෙලයි ඉන්නේ. රැකියාවක් සඳහායි ඇවිල්ලා ඉන්නේ. ඒ එන්න හේතුවත් ගයාන්. ගයාන් මාත් එක්කයි මගේ දරුවෝ දෙන්නත් එක්කයි ජීවත්වෙන කාලේ එයා ගොඩක් ණය වුණා. මගේ අම්මලා ලවා එයා ගොඩාක් සල්ලි අරන් තියෙනවා පොලියට. ඊට පස්සේ එයා ගෙදරින් ගියා මාවයි දරුවො දෙන්නවයි දාලා. යද්දි එයා ඒ ණය පියවලා නෙමෙයි ගියේ. ඒ නිසා මට ඒ දේවල්වලට තනියම මුහුණදෙන්න සිද්ධ වුණා. ණයකාරයෝ ගෙදරට හොයාගෙන ආවා. නඩත්තුවට ණයවලට එයා මට ගෙව්වේ තිස්දාහයි. ඊට වැඩිය දෙන්න බැහැ කිව්වා. මම කුලී ගේක ජීවත් වුණේ හැමදෙයක්ම කරගෙන. ඒ සල්ලිවලින් තමයි මම දරුපැටවු දෙන්නා එක්ක ජීවත් වෙන්න ඕනෙ. මට ගොඩාක් උදවු කළේ මගේ අම්මයි තාත්තයි.

මම ලංකාවෙන් එද්දී මගේ රත්තරන් පුතාලා දෙන්නව මගේ අම්මට බාරදීලා ආවේ. මට මේ ගමන එන්නම වුණා. මට වෙන විකල්පයක් තිබුණේ නෑ. මම මෙහේ ආවට පස්සේ මම ආවා කියලා දැනගෙන ගයාන් මගේ දරු දෙන්නව අරගෙන ගිහින් තිබුණා. අරගෙන ගිහින් එයා මාතලේ මහගෙදර නතර කරලා තිබුණා. මම කිව්වා මගේ දරු දෙන්නව ගෙනියන්න එපා කියලා. කිව්වට එයා ඇහුවේ නෑ.
මගේ පුතාලා ඉස්පිරිතාලේ හිටියා. මගේ චූටි පුතා ඉස්පිරිතාලේ ඉද්දී ලොකු පුතා කෝල් කරලා කිව්වා අප්පච්චි.. මල්ලි ඉස්පිරිතාලේ එන්න කියලා. ඒ ආවෙත් නෑ. මගේ ලොකු පුතා ඉස්පිරිතාලේ ඉද්දී පුතා කතා කරලා කිව්වා අප්පච්චි මම ඉස්පිරිතාලේ කියලා... ඒ ආවෙත් නෑ. ඉස්සර මාස හත අටකට සැරයක් බලන්න ආවේ. කෝල් ගත්තට ආන්සර් කරන්නේ නෑ. 

ඒත් එකපාරට මම රට ආව බව ආරංචිවෙලා කවදාවත් නැතිව ආදරයක් එකපාරට පහළවෙලා දරු දෙන්නව අරගෙන ගියා. මගේ ලොකු පුතාගේ ඔළුවට අනවශ්‍ය විෂබීජ දාලා මාත් එක්ක කතා කරන්න දෙන්නේ නෑ. මම පිච්චෙන පිච්චිල්ල කවුරුවත් දන්නේ නෑ. මගේ දරුවන්ව ඈත් කරන්න මේගොල්ලෝ ගොඩාක් උත්සහ කරනවා. ඇයි වතුරිකායි ගයානුයි මෙහෙම කරන්නේ. ඇයි එයාලට ඒගොල්ලන්ගෙ දරුවෙක් හදාගන්න බැරි. ඇයි මගේ අහිංසක දරුවෝ පස්සෙ පන්නන්නේ. ඉස්කෝලේ යනවා කිව්වට ළමයා තාම ගෙදර. දැන් මාස තුනකුත් ඉවරවෙන්න එනවා. තාම මගේ දරුවා ගෙදර තියාගෙන ඉන්නවා ඉස්කෝලේ දාලා නෑ. මම ජීවත් වෙන්නේ මම හුස්ම ගන්නේ මගේ දරුවෝ දෙන්නා හින්දා. මට ඒ දේ නැති කරන්න එපා. මට ජීවත් වෙන්න බැරිවෙයි.

චතුරිකා

චතුරිකා මොකද මේ දවස්වල සද්දයක් නැත්තේ 

සද්දයක් දාන්න නම් අවශ්‍ය නෑ. මොකද ඕනෑවට වඩා සද්ද දාලා උඩ පනින අය ඉක්මනට බිම වැටෙනවනෙ. 
ගයාන්ගේ ලොකු පුතාට ඔබ දැන් ඇත්තටම අම්මා කෙනෙක් වුණාද?
ඔව්. ඒනෙතුසර. ගයාන්ගෙ ලොකු පුතා. දැන් එයාට අවුරුදු අටක්. පහුගිය දවස්වල එයාට පාසලක් හොයාගන්න ගැටලුව තිබුණා. ඉතින් පෞද්ගලික ගුරුවරු ගෙදෙරට ගෙනැල්ලා එයාට ඉගැන්නුවා. මොකද නෙතුසර ලබන සතියෙ ඉඳන් පාසල් යනවා. මට ඕනි වුණේ පාසලේ අනික් ළමයින්ගෙ සම මට්ටමටම නෙතුසරව ගන්න. එක වාරයක් නෙතුසරට පාසල් යන්න බැරි වුණා. මම මට පුළුවන් උපරිමේටම නෙතුසරගෙ පාසල් වැඩවලට කැප වුණා. මට හොඳටම පුළුවන් ගණිත විෂය. මම නෙතුසරට ගණන් කියලා දුන්නා. පහුගිය වාර විභාගෙ එයා ගණන්වලට සීයට අනූ අටක් අරන් තියෙනවා. ඉංග්‍රීසිවලට 94 ක් අරන් තියෙනවා.
හැබැයි ගයාන්ගෙ පෙර බිරිඳ ඔබට චෝදනා කරනවා ඔබ ගයාන්ගෙ දරුවට වෙනස්කම් කරනවා කියලා .

මම හිතන්නෙ ඕවට කලබල වෙන්න ඕනි නෑ. නෙතුසරම ලොකුවෙලා ඕවට උත්තර දෙයි. මමයි ගයානුයි තමා පුතාගෙ අතින් අල්ලගෙන ඉස්කෝලෙට එක්ක ගියෙ. නෙතුසර අවුරුදු හතරක් වෙනකල් නර්සරි ගිහින් තිබුණෙත් නෑ. මමයි ගයාන්ට බල කරල කියලා පුතාව සසෙක්ස් එකට දැම්මෙ. පළවෙනි වසරෙදි නෙතුසරගෙ පොත්වලට කවර පවා දාලා දුන්නේ මම. එයාගෙ පොත්පත්වල වැඩ ඔක්කොම කරලා දුන්නෙ මම. එයා ලකුණු 98 ක් අරන් ආපු දවසෙ දුවගෙන ඇවිත් මාව බදාගත්තා. මම ඇහුවා ඇයි පුතේ කියලා. එතකොට කිව්වා පංතියේ වැඩිම ලකුණු තිබ්බෙ එයාට කියලා. මට තැන්කියු කියලා මට වැන්දා. මට ගොඩක් දුක හිතුණා. අපි එයාව බලෙන් තියාගෙන නෑ. එයාගෙ අම්මට ඇවිල්ලා ඕනි වෙලාවක එයාව අරන් යන්න පුළුවන්. හැබැයි බලහත්කාරයෙන් නෙවෙයි. පුතත් කැමති නම් එයා එක්ක යන්න එයාට අරන් යන්න පුළුවන්.

ඇත්තද දරුවව බලෙන් නවත්වගෙන ඉන්නවා කියන්නේ?
කිසිම කෙනෙක්ගෙ ළමයෙක් අපි බලෙන් තියාගෙන නෑ. මේ ප්‍රශ්නෙ මගෙ ඔළුවට වදයක් කියලා මම කවදාවත් ගයාන්ට කියලා නෑ. මේ ළමයි ගේන්න අහපුවාමත් මම එපා කිව්වෙ නෑ. මට එහෙම කියන්න බෑ. මොකද මම පොඩි ළමයින්ට හරි ආදරෙයි. මම මුලදිත් ළමයින්ට ගොඩක් උදව් කරලා තියෙනවා. ඒ හැම ළමයකුටම වඩා මට නෙතුසරව ගොඩක් විශේෂයි. එයා මට හරිම ආදරෙයි. මම පොඩි විහිලුවක් හරි කළොත් එයාට දුක හිතෙනවා. එයා හරිම සංවේදී ළමයෙක්. මම කිසිම වෙලාවක පුතාව තනි කරන්න කැමති නෑ. දරුවෙක් කුසෙන් බිහි කරන්නම ඕන නෑ දරුවෙකුට අම්මා කෙනෙක් වෙන්න.

වැඩිපුරම කැමති රඟපෑමට ද? නිෂ්පාදනයට ද?
අපේ නිෂ්පාදනවල රඟපාන්න තමා ගොඩක් කැමති. මට ඕනි ඔළුව නිදහසේ වැඩ කරන්න. 

රොෂාන් පිලපිටියත් එක්ක රඟපාන්න ලැබුණොත් බාරගන්නවා ද?
අම්මෝ නෑ. කොච්චර හොඳ නිර්මාණයක් වුණත් මනිරත්නම් කළත් සංජේ ලීලා බන්සායි කළත් මම නම් කැමති වෙන්නෙ නෑ.

අතීතය ගැන හැරිලා බලද්දි මොකද හිතෙන්නේ?
අතීතේ වෙච්ච දේවල් ජීවිතේට හොඳම හොඳ අත්දැකීම්. ඒවායින් ලොකු පන්නරයක් ලැබුණා. 

සෝෂල් මීඩියා ඔබේ පවුල් ප්‍රශ්න කතා කරන විදිහ ගැන මොකද හිතෙන්නෙ?
මේ දවස්වල සෝෂල් මීඩියා වලින් අපිට හරියට ගහනවා. මේ වගේ චෝදනා එද්දි මට මගේ පවුල ගැන හිතේ තියෙන ආදරේ දෙගුණ තෙගුණ වෙනවා. පුතාගෙ හිතෙත් එහෙමයි. දැන් පුතා අන්තර්ජාලය පාවිච්චි කරන දේවල් ඔපරේට් කරන්න දන්න ලොකු ළමයෙක්. මේ වෙන දේවල් අපි හොඳ අතට තමා ගන්නෙ. පවුලක් විදිහට අපිට ආදරෙන් ශක්තිමත්ව ඉන්න පුළුවන් වටපිටාවක් සෝෂල් මීඩියා අපිට හදලා දෙනවා.

ගයාන්

මේ අවුරුද්දෙ විවාහ වෙනවද?
ඔව්. මේ අවුරුද්දෙ අනිවාර්යයෙන් අපේ විවාහය සිද්ද වෙනවා. තව මාස කීපෙකින් වගේ. මායි චතුරිකායි හොඳම කාලයක් එනකල් බලන් හිටියා. අපිට ඕනි වුණේ හැම අතින්ම අපි ස්ථාවර තත්ත්වයකට එනකල් ඉන්න. 

මේ වෙද්දි ඔබේ පෙර බිරිඳ ඔබටයි චතුරිකාටයි චෝදනා කරනවා දරුවව ඔබ තියාගෙන ඉන්නවා. සලකන්නෙ නෑ පාසල් යවන්නෙ නෑ කියලා. ඇය දරුවා ඉල්ලමින් සමාජ ජාලා වෙබ් අඩවිවලට වීඩියෝ පවා මුදාහැරලා තියෙනවා. මේ ගැන ඔබේ අදහස මොකක්ද?
මට කිසිම අදහසක් නෑ. මම 2012 අවුරුද්දෙ එයාගෙන් අයින් වුණේ. ඊට පස්සෙ මගෙ පුතාල දෙන්නට යන එන මං නැති වුණා. එයාගෙ අම්මලා මට කිව්ව දරුවො දෙන්නව අරන් යන්න කියලා. ඊට පස්සෙ කඩවත පොලීසියේ පැමිණිල්ලක් දාලා තමා මට දරුවො බාර දුන්නෙ. මම අරන් ආවා. ඊටපස්සෙ ඒ ගොල්ලො ආර්ථික ප්‍රශ්න විසඳගෙන ළමයි ඉල්ලලා වීඩියෝ දානවා. මම දන් නෑ මේකෙන් මොනවා බලාපොරොත්තු වෙනවද කියලා. මට ඇත්තටම මේවට උත්තර දෙන්න වුවමනාවක් නෑ. මගෙ ලොකු පුතා යමක් කමක් තේරෙන වයසෙ ඉන්නෙ. ඒ ළමයා ඉස්කෝලේ යනවා. දරුවට ආදරයක් තියෙනවා නම් මේ වගේ නින්දා අපහාසයක් කරනවද. මගෙ පොඩි පුතා ඉන්නෙ එයාගෙ අම්මල ගාව. ලොකු පුතා මා ගාව නතර වෙලා ඉන්නවා. ඒ ළමයා කැමති නම් ඒ ගොල්ලන්ට ඕනි වෙලාවක දරුවා අරන් යන්න පුළුවන්. පුතාව ඉස්කෝලේ යවන්නෙ නෑ කියන්නෙ සම්පූර්ණ බොරුවක්. මෙයා මුලින්ම ගියෙ සසෙක්ස් කොලේජ් එකට. මමමයි එක්ක ගියෙ. ප්‍රයිවට් ස්කූල් එකකට දවසින් දෙකෙන් ළමයෙක් දාන්න පුළුවන්. ඒත් රජයේ පාසලකට එහෙම බෑ. ඒක කරන්න කිසියම් ක්‍රමවේදයක් තියෙනවා. ළමයව ඉස්කෝලේ දාන වැඩ දැන් ඔක්කොම වගේ ඉවරයි. ලබන සතියේ ඉඳල පුතා ඉස්කෝලෙ යනවා. ඒ ගොල්ලො ඉතින් ඉස්කෝලේ ගිහින් නැති නිසා ඕව ගැන දැනගන්න විදිහක් නෑ.

චතුරිකා මොකද මේ ගැන කියන්නෙ? 
චතුරිකා හැමදාම හිටපු කෙනා විදිහට අදත් ඉන්නෙ. එයා කිසි දෙයක් සම්බන්ධයෙන් කලබල වෙන්නෙ නෑ. අර කතාවක් තියෙනවනෙ ළමයෙක් වදන්න ලේසියි හදන්න අමාරුයි කියලා. මම ඒක දකිනවා. ළමයි වදලා අතෑරල රට රටවල් වල යන්න පුළුවන්. දැන් ළමයව උස් මහත් කරන්නෙ බලාගන්නෙ චතුරිකා. ඕවා අණබෙර ගහලා අපි ලෝකෙට කියන්න යන්නෙ නෑ. මම හිතන්නෙ මේ අපේ පවුල් ප්‍රශ්නෙට වඩා මේ රටේ මිනිස්සුන්ට ලොකු ප්‍රශ්න තොගයක් තියෙනවා. ඒවා බලාගන්නෙ නැතුව මගෙ මේ දරු දෙන්නෙක් අල්ලගෙන නටන්න හදන නාඩගම මොකක්ද කියලා මට තේරෙන්නේ නෑ. ඔය වීඩියෝ වෙබ් සයිට්වල දාන්නෙ ඒ ගොල්ලන්ගෙ පේජ් එකට ලයික් වැඩිකරගන්නයි. වීව්ස් වැඩිකරගන්නයි. මම දැක්කා කෑම හදන රෙසිපි වෙබ් සයිට් එකකත් මේක දාලා තියෙනවා. ඒ ගොල්ලො මේ වගේ ඒවා දාලා ඒ ගොල්ලන්ගෙ සයිට් එක ප්‍රමෝට් කරගන්නයි හදන්නේ. අපි මේවට කලබල වෙන්නෙ නෑ. දරුවා උස්මහත් වෙලා මුලු ලෝකෙටම කියයි දරුවා චතුරිකාට කොච්චර ආදරේද මට කොච්චර ආදරේද කියලා. මේවට උත්තර දෙන්න ඉන්න හොඳම කෙනා දරුව මිසක් මේවට උපදෙස් දෙන්න ඉන්න පණ්ඩිත ඔස්තාර්ලා නෙවෙයි.

 

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00