ඈත සිට පිරිනමන භක්තිය
ගෙනත් පාමුල තබන බුහුමන,
ඒ එකක්වත් නොවේ සෙනෙහස.
දිව රෑ දෙක හද සමීපේ
දෑස නොපියා බලා ඉන්නා
දෙයකි සෙනෙහස.
නොලැබ පරිභව මුත් කිසිත් අන්,
මොළොක් තෙපුලක් ලබාගැන්මට
ජීවිතය තිබෙන තුරු
මුහුණ මත ඇස් රඳා ඉන්නා
දෙයකි සෙනෙහස.
නොරිකෝ සං සහ දෙවෙන්දරෝ සං නොමියේවි කවදාවත්... මළගිය ඇත්තො, මළවුන්ගේ අවුරුදුදා සමඟ විතරක් නෙවෙයි අපේ හිත් අස්සෙ හැඬුම්බර ඉඩ හසරක නොරිකෝ දෙවෙන්දරෝ හැමදාමත් ජීවත් වේවී. මම ඒ තරම් ඒ දෙන්නට ආදරෙයි... හේතුවක් නැති ආදර කතා හුඟක් මේ ලෝකෙ තියෙනවා.. නොරිකොට දෙවෙන්දරෝට තියෙන මගේ ආදරෙත් ඒ වගේ.. නොරිකොගෙ සහ දෙවෙන්දරෝගේ තාත්තා ඔයා දන්නවද? මම නම් ඔව්. උත්තරේ එදිරිවීර සරච්චන්ද්‍ර... සරච්චන්ද්‍රත් නොමැරෙන මිනිසෙක්.
අද මට හිතුණා සරච්චන්ද්‍රගේ මම කැමතිම දරුවෙක් ගැන කතා කරන්න. ඒ දරැවගෙ නම පෙමතෝ ජායතී සොකො.
නික්ලේෂියැයි කී උද්දාල ඇඳුරිදුගේ මනස් සලෙලුන් වේදිකාවට කැන්දාලු ස්වර්ණතිලකා.. දප්පුලට, පිංගලට, අග්නිදත්ත්ට නවතාලන්නට බැරි වූ ඇඳුරිදු උද්දාල. සියල්ල පසෙක ලා ගැහැනියක හමුවේ මනසේ ප්‍රේමයත්, ඉඳුරන්ගේ රාගයත් නිදිගැට හැර අවධි වූ කල පිරිමියෙකු නවතාලන්නට හැක්කේ කාටද? එකී භාවයන් අබිමුව සියලු දාර්ශනික හිස් මොළ එක හා සමානය. වෙනස් වන්නේ ප්‍රේමයේ පරාසය ගුණාංග සහ අකලංක නිර්ව්‍යාජත්වයේ තරම පමණය. උද්දාල පරම පරමාදර්ශී ප්‍රේමවන්තයෙකි. එහෙත් දුර්වල මනුෂ්‍යයෙකි. ප්‍රතිපත්තියකින් තොර දාර්ශනිකයෙකි. ශිෂ්‍යන් විසින් රා පෙවූ ඇතකු යොදා මැරවූ ස්වර්ණතිලකා දර සෑයේ දැවෙද්දී ඒ දර සෑයටම පැන ඈ වෙනුවෙන් සාධාරණය ඉටුකළ අද ලොවේ අස්සක් මුල්ලක් නෑර පීරා සෙවුවත් සොයාගත නොහැකි අන්දමේ පිරිමියෙකි. ඒත් මොකක් හරි හේතුවක් නිසා පෙමතො ජායතී සොකො මගේ හිතේ රුඳුණා.
සරච්චන්ද්‍ර අද නෑ. ඒත් ඔහුගෙ නිර්මාණත් එක්ක ඔහු මළ බව අපිට දැනෙන්නෙ නෑ.
(පෙමතො ජායතී සොකො)
Sanju