2017 අප්‍රේල් 08 වන සෙනසුරාදා

කොණ්ඩ කැවුම්වල කොණ්ඩෙ හොරෙන් කෑවා...

 2017 අප්‍රේල් 08 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 99

මතකද විවාහ වෙන්න කලින් ඔයා අවුරුදු සමරපු හැටි..?

අම්මෝ.... හොඳට මතකයි. අදට වඩා බොහෝම පිළිවෙළට ඒ කාලේ අපි අවුරුදු සැමරුවා. මගේ අප්පච්චිගේ ගම ගනේමුල්ලේ. අම්මගේ ගම මාතලේ. ඒ කියන්නේ අම්මා උඩරට. අප්පච්චි පහතරට. අම්මා උඩරට නිසා චාරිත්‍ර වුණත් උඩරට විදිහට තමයි අපට පුරුදු කළේ. අම්මනේ ගෙදරක පවුලක් මෙහෙයවන්නේ. අම්මා කියන විදිහට තමයි හැම දෙයක්ම පුරුදු පුහුණු වුණේ.

කොහොමද ඒකට මුලින්ම ලක ලෑස්ති වුණේ?

එක අවුරුද්දක් ඉවර වෙච්චි දා ඉඳලම ඊළඟ අවුරුද්දට හීන දකිනවා. ඒ තරම් ඒ කාලේ හරිම විචිත්‍රයි. අවුරුද්ද ලබන්න සතියකට විතර කලින් අපේ ගේ ඉස්සරහ තියෙන ලොක අඹ ගහේ ලොකු ඔන්චිල්ලාවක් බඳිනවා. අපි ඇතිතරම් ඔන්චිලි පදිනවා. පාන්දර නැගිටලා දුවගෙන යන්නේ ඒ ඔන්චිල්ලාව ළඟටයි.

එතකොට ඇඳුම් පැළඳුම් එහෙම?

අපේ අම්මට හරි ලස්සනට ඇඳුම් මහන්න පුළුවන්. ඒ දවස්වල අම්මට අර කකුලෙන් පාගලා මහන මැෂිමක් තිබ්බා. ඒකෙන් තමයි අම්මා අපි හැමෝටම ඇඳුම් මහන්නේ. ඔන්චිල්ලාව ළඟ නැත්නම් මම ඉන්නේ අම්මගේ මහන මැෂිම ළඟ තමයි. ඉතින් ළඟට වෙලා අම්මා මහන දිහා බලාගෙන ඉන්නවා. අම්මට ඉඳිකට්ටට නූල දාලා දෙනවා. 

ගෙදර රසකැවිලි, අවුරුදු කැවිලි හදද්දී ළඟට වෙලා හිටියද?

ඔව්. මගේ අම්මට හරි රසට කැවිලි හදන්න පුළුවන්. ඉතින් පොඩි බංකුවක් ළඟින් තියාගෙන ළිපට ගින්දර දාන්නේ මම. කොකිස් එක බැදෙද්දී ඉරටුවෙන් තාච්චියෙන් එළියට ගන්නේ මම. ඒවා හරි සුන්දර අත්දැකීම්. අවුරුද්ද දවසේ නොනගතේ වෙලාවේ කන්න බොන්න ගේ ඇතුළේ දෙන්නේ නෑනේ. තේ ටිකක් වක්කරන්නේත් එළියේ ළිපක් බැඳලයි. ඒ දවස්වල අද වගේ මොන හීටර්ද? කරන්ට් නැහැනේ.

නොනගතේට කන්න එපා කිව්වට ඔය කැවිලි එහෙම හොරෙන් කෑවේ නැද්ද?

කෑවා... අපි හරියට හොරෙන් කෑවා. කොකිස්වල සමහර ඒවාවල කෑලි නෑ. අම්මා හොඳට හදපු කොණ්ඩ කැවුම්වල කොණ්ඩෙ කඩාගෙන දුවගෙන ගිහින් ඔන්චිල්ලාවේ ඉඳගෙන කාපු කාලේ අනන්තවත් තිබුණා. ඒවා අම්මලාත් දැනගෙන හිටියා. හැබැයි නොදන්නවා වගේ හිටියා.

කොහොමද වැඩ අල්ලීම් නැකතදී... මොකද කළේ?

ඒ වෙලාවට අර සතුට ඉහවහා ගිහින්. අම්මලා මහල දෙන අලුත් ඇඳුම් ඇඳගෙන අපි අම්මලා එක්ක පන්සල් යනවා. එදාට මුළු පන්සලම ගමේ අයගෙන් පිරිලා. ඉතින් සැම යාළුවෙක්ම පන්සලේනේ. ඉතින් ගවුම්වල හැඩ වැඩ බලනවා. වැඩ අල්ලනකොට අපි රතිඤ්ඤා පත්තු කරනවා. මුලින්ම මං අම්මටයි තාත්තටයි බුලත් දීලා වඳිනවා. අපේ අම්මා තෙලක් තියලා තියෙනවා. ඒ තෙල්වලින් ටිකක් ඇඟිලි තුඩුවල ගාලා මම බුලත් දීලා වඳින්නේ අර තෙල් ටිකක් අම්මගෙයි තාත්තගෙයි කකුලේ ගාලයි. ඊට පස්සේ අපි පොත් අරගෙන ටිකක් පාඩම් කරනවා. හැබැයි සිහිය තියෙන්නේ පොතේ නෙමේ. එළියේ තියෙන ඔන්චිල්ලාවට. එහෙම නැත්නම් පිට්ටනියට. චාරිත්‍රයකට අනුව ඔහේ ටික වෙලාවක් පොත දිහා බලාන හිටියා විතරයි.

කුමාරි පවුලේ වැඩිමලා නිසා ඔයාටත් හරි හරියට ගරු සත්කාර ලැබෙන්න ඇති නේද?

ඔව්... මට බාල හත් දෙනෙක් ඉන්නවා. ඉතින් මට හරි ජොලි. අර හත් දෙනාම මගේ කකුල්වල තෙල් ටිකක් ගාලා මට වඳිනවා. හත්දෙනාම මට පෙරළි පෙරළි වඳිනවා. තෙල් පීරිසියෙන් තෙල් චුට්ටක් ගන්න කිව්වට සමහර නංගිලා තෙල් ගොඩක් අරගෙන කකුල් දෙකේ ගාලා වඳිනවා.

ඔහොම සිංහල අලුත් අවුරුදු සමරපු ඔබ කතෝලික කෙනෙක්ව විවාහ කරගත්තා. මතකද දෙන්නගේ මුල්ම සිංහල අලුත් අවුරුදු සැමරුම?

ජැක්සන්ලා හොඳ කතෝලික. එයාලා මුල් බැහැපු කතෝලිකයෝ. අපි විවාහ වුණාට පස්සේ තිබුණ මුල්ම සිංහල අලුත් අවුරුදු කාලෙදී අපි දෙන්නා හිටියේ ජැක්සන්ගේ මහ ගෙදරයි. ඉතින් එහේදී චාරිත්‍ර අර විදිහට කරන්න මට බැහැනේ. ඉතින් මම හෙට අවුරුද්ද කියලා අද ජැක්සන්වත් එක්කරගෙන අපේ මහගෙදර යනවා. ජැක්සන්ගේ අම්මලාටත් අපේ ගෙදර අවුරුදු කෑම කන්න ආරාධනා කරලා මම අපේ ගෙදර යනවා. ඒ ගියාම ජැක්සනුත් අපේ චාරිත්‍රවලට හැම දෙයක්ම සමරනවා. අවුරුදු දවසේ දවල් කෑම මේසෙට ජැක්සන්ගේ අම්මලාත් අපේ ගෙදර එනවා. ඒ වගේ වසර කීපයක්ම අපි අවුරුදු දවස්වලට මහගෙදර ගියා.

ඔබ දෙපළ එකතුවෙලා තනියම වෙන ගේක මුලින්ම අවුරැදු සමරපු කාලය මතක් කරමු...?

මගේ අම්මා ජීවතුන් අතරේ ඉන්නකම්ම අපි දෙන්නා අවුරුද්ද සැමරුවේ අම්මත් එක්කමයි. අම්මා නැතිවුණාට පස්සේ අපි දෙන්නා අපේ චාරිත්‍ර ගෙදරදි කළා. ඒ දේවල් කරලා අපි මහගෙදර ගියා. හැම අවුරුද්දකම අපි ඒ සිංහල අවුරුදු කෑම ටික නම් හදනවා. මට හොඳට කැවුමේ කොණ්ඩේ ගන්න පුළුවන්. කොකිස්, මුං කැවුම්, ආස්මී මේ හැම දෙයක්ම හදනවා. ජැක්සන් කොකිස් කන්න හරි ආසයි. රහට තියෙන ඕනෑම කෑමක් කන්න ජැක්සන් ආසයි. කටට දිවට රහට තියෙනවා නම් ඕනෑම කෑමක් එයා කනවා. එයා සිංහල කෑමවලට හරි ආසයි.

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00