නලින් පෙරේරා
සිංහල හින්දු අලුත් අවුරුද්දේ අපි ගොඩක් වෙලාවට ගෙදර ඉඳගෙන දරුවෝ එක්ක ඒ අවුරුද්ද සමරනවා. මම කතෝලික බව ඇත්ත. ඒත් අපි හැමෝම ශ්‍රී ලාංකිකයෝ. සිංහල අපිට සිංහල අලුත් අවුරුද්ද සමරන්න එපා කියලා බුදුරජාණන්වහන්සේවත්, ජේසුතුමාවත් කියලා නෑ. ඒ නිසා අපේ ගෙදරත් එදාට කිරිබත් හදනවා. හැම නැකැත් චාරිත්‍රයක්ම නොකළට අපිත් එදාට කිරි උතුරනවා. මම මුලින් හිටියේ හලාවත. දැන් ඉන්නේ මීගමුවේ. මේ පරිසරයන් දෙකම කතෝලික වැසියන් වැඩි වශයෙන් ජීවත් වෙන පරිසර. ඒත් බෞද්ධ මිනිස්සු සිංහල අලුත් අවුරුද්දට කැවිලි පිඟන් අපේ ගෙවල් වලට අරගෙන එනවා. අපි නත්තල් දවසට ඒ අයට කෑම පිඟන් අරගෙන යනවා. කොටින්ම මම වෙසක් එකට ගෙදර වෙසක් කූඩු පවා එල්ලනවා.
ඉතින්... අපි හොඳ දෙයක් කළොත් ඒවා දරැවොත් කවදාහරි ඉගෙන ගනීවි. මේ අවුරුද්දේදිත් අපි හතර දෙනා එකතුවෙලා අවුරුදු දවසට අපේ ගෙදර කිරි උතුරනවා. වැඩසටහන් කීපයකටත් ඒ දවස්වල සහභාගි වෙන්න තියෙනවා. ඉතින් මේ රටේ හැම ශ්‍රී ලාංකිකයෙක්ටම සුභම සුභ අලුත් අවුරුද්දක් වේවායි ප්‍රාර්ථනා කරනවා.
ශලනි තාරකා
මගේ තාත්තා බෞද්ධ කෙනෙක්. මගේ අම්මා කතෝලික. පුංචි කාලේ ඉඳන්ම මාත් පල්ලිය ආශ්‍රිතව තමයි වැඩ කළේ. හැබැයි සිංහල අලුත් අවුරුද්දට නම් අපි අනිවාර්යයෙන්ම තාත්තාගේ ගමේ යනවා. ඒ තමයි බලංගොඩ. මොන වැඩ තිබ්බත් අවුරුද්දටනම් අපි බලංගොඩ යනවාමයි. තාත්තාගේ නැදෑයෝ ගොඩාක්ම ඉන්නේ ඒ බලංගොඩ ගෙදර වටපිටාවේ. දුර පැතිවල ඉන්න නැදෑයොත් ඒ කාලෙට බලංගොඩට එනවා. ඉතින් එදාට අපි හැමෝම එකතුවෙලා අවුරුදු චාරිත්‍ර කරනවා. නොනගතේට අපි කට්ටිය සෙල්ලම් කරනවා. කැට ගහනවා. වැඩිහිටියන්ට බුලත් දීලා වඳිනවා. කෑම පිඟන් අරගෙන ගෙවල්වලට යනවා. පුංචි කාලේ අපි සිංහල අලුත් අවුරුද්ද එන්නෙ කවද්ද කියලා බලාගෙන තමයි ඉන්නේ. වත්තේ ලොකු ඔන්චිල්ලාවක් තාත්තලාට කියලා බැඳගෙන අපි ඇතිතරම් ඔන්චිලි පදිනවා. වැඩිහිටියන්ගෙන් එදාට තෑගි බෝග ලැබෙනවානේ. ඉතින් අපි හරිම ආසාවෙන් තමයි ඒවා ලැබෙනකන් බලාගෙන ඉන්නේ. දැන් අපි ලොකුවෙලා අපි වැඩිහිටියන්ට තෑගිබෝග දෙනවා.
අවුරුදු කාලේදී හැම චැනල් එකකම වගේ අවුරුදු වැඩසටහන් කරනවනේ. මටත් ඒ හැම එකකටම වගේ ආරාධානා නම් ලැබෙනවා. හැබැයි ගොඩක් වෙලාවට අවුරුදු දවසේ නම් මම බලංගොඩ ගෙදරට ගිහින් හැමෝත් එක්කම අවුරුදු චාරිත්‍රවලට සහභාගි වෙනවා. ඉතින් මම කතෝලික වුණාට හැම අවුරුද්දකම මටත් අවුරුදු තමයි.
රයිනි චාරුකා
ගිය අවුරුද්දේ සිංහල අලුත් අවුරුද්ද සැමරුවේ අකිල එක්කයි. අකිල බෞද්ධ කෙනෙක්. ඉතින් අපි එකතුවෙලා කෑම හැදුවා. කොකිස් හැදුවා. අකිලගේ වැඩේම මම හදන කොකිස් අරගෙන කන එක තමයි. අන්තිමට කෑම මේසෙට තිබ්බේ ටිකයි. විවාහ වෙන්න කලින්නම් මම සිංහල අලුත් අවුරුද්දට අලව්ව අපේ අම්මගේ ගෙදර යනවා. ආච්චිගේ ගේ වටේම ඉන්නේ අපේ නෑදෑයෝ. අපි කතෝලික වුණාට අපේ සමහර නැන්දලා බෞද්ධ අය එක්ක විවාහ වෙලා. සමහර මාමලා බෞද්ධ නැන්දලා එක්ක විවාහවෙලා. ඉතින් ඒ හැමෝම ගෙවල්වලට අවුරුදු චාරිත්‍ර කරනවා. අපිත් ඒවාට යනවා. අපි හැමෝම එකතු වෙලා සෙල්ලම් කරනවා.
ඒ කාලය හරිම ෂෝක්. අපි හැමෝම එකතුවෙලා ගෙවල්වල කිරි උතුරවනවා. හැබැයි ඉතින් පිටරට කැම්පස් ඉන්න කාලෙදීනම් එහෙම ලොකුවට අවුරුදු සමරන්න බෑනේ. පිටරටවල ඉන්න සිංහල මිනිස්සු ඒ අයගේ ගෙවල්වල කිරි ඉතුරවනවා. ඒ හැර කෑම බීම හුවමාරුවක්, නෑගම් යාමක් වෙන්නේ නෑ. හැබැයි ඒ රටවල සිංහල අවුරුද්දට අලුත් අවුරුදු උත්සව තියනවා. අපිත් ඒවාට රෙද්ද හැට්ට එහෙම ඇඳගෙන ගියා. ගොඩක් වෙලාවට අපි ඒ දවස්වල නැටුම් එහෙම පුරුදු වෙලා සිංහල සින්දුවලට නැටුවා. ගොඩාක් වෙලාවට ඒ රටේ ජීවත් වෙන ශ්‍රී ලාංකිකයෝ බොහෝ දෙනෙක් එදාට මුණගැහෙනවා. මේ පාරත් අකිලයි මායි අපි දෙන්නගේ ගෙදර සිංහල අලුත් අවුරුදු චාරිත්‍ර කරලා අලුත් අවුරුද්ද සමරනවා.
සුරෙනි ද මෙල්
මම විවාහ වෙන්න කලින්නම් සිංහල අලුත් අවුරුද්දට නැකැත් එහෙම ලොකුවට අනුගමනය කළේ නෑ. හැබැයි අපේ ගෙවල් පැත්තේ ඉන්න සිංහල බෞද්ධ මිනිස්සු එදාට අපිට කෑම අරගෙන ආවා. මම හරි ආසයි ඔය කැවුම්, කොකිස්, අතිරස වගේ සිංහල කැවිලි ජාති කන්න. ඉතින් චූටි කාලේ එහෙම කෑම පිඟන් අපේ ගෙදරටත් ආවට පස්සේ අපි ඒ මිනිස්සු ගෙදරින් යන්නත් කලින් හෙමිහිට කෑම පිඟානේ තියෙන කොකිස් එකක් හරි අරගෙන ගේ පිටිපස්සට ගිහින් කනවා. ඒ කාලේ තියෙන සිංහල අවුරුදු උළෙලවල්වලට අපි ගිහින් බලනවා. ඒ තරගවලට ඉදිරිපත් වෙනවා.
මම විවාහ වුණේ බෞද්ධ කෙනෙක් එක්කයි. අපි විවාහ වුණේ 2009 අගොස්තු මාසෙ. ඉතින් 2010 අවුරුද්දේ සිංහල අලුත් අවුරුද්ද අපි සැමරුවේ මගේ හස්බන්ඩ්ගේ අම්මලත් එක්ක. ඉතින් අපි නැකැත් හරියට කළා. ඒ අම්මට මම ඒ නැකැත් කරද්දී උදවු වුණා. අපි කිරි ඉතිරෙව්වා. වෙලාවට ආහාර අනුභව කළා. වැඩිහිටියන්ට බුලත් දීලා වැන්දා. ඒ හැම දෙයක්ම දැන් 2010 අවුරුද්දේ ඉඳන් අපි කරනවා. දැන් අපි ඒවා කරද්දී අපේ බබාවත් එකතුකරගන්නවා. ඇත්තටම සිංහල අලුත් අවුරුද්දේ ඒ චාරිත්‍ර කරන්න මම දැන් ආසයි. නැකැත් වෙලාවට මම දැන් ඒ දේවල් කරන්න මගේ මහත්තයාට උදවු කරනවා. ඉස්සරනම් සිංහල කැවිලිවලට ආසවුණා. මම දැන් ඒ සිංහල බෞද්ධ නැකැත්වලට හරි කැමතියි.