2017 අප්‍රේල් 08 වන සෙනසුරාදා

මැස්සා මල්ලිගෙන් නියම සින්දුවක්

 2017 අප්‍රේල් 08 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 205

ආදරේට හාදුවක් තරම්...
ලෝකෙම නෑ උතුම් වෙන දෙයක්...
ජීවිතයේ පළමු පෙම තරම්...
කාටත් නෑ මතක් වෙන යමක්.....

අපේ මල්ලි මැස්සෙක් වුණාට මොකද මිනිස්සු කියන සින්දුවක් කියාගෙන ගෙවල් පැත්තට ආවා. ආච්චි මේ සින්දුව අහගෙන හිටියේ.

ආ බොල. මොකද්ද තෝ ඒ කිය කිය ආවේ

ඇයි ආච්චි...?

ඇයි ආච්චි..., තමන්ට ගැළපෙන සින්දුවක් කියාපිය. තොපි හැදිලා ඉවරයි.

මොනවද ආච්චි අපිට ගැළපෙන සින්දු?

මල්ලි ඇහුවා. ඇත්තනේ කතාව. වැඩිහිටියෝ කියලා දෙන්න ඕන දරැවන්ට වයසට ගැලපෙන සින්දු වෙනවද කියලා. 
යකෝ ළමා කාලේ කියන්න ඕන සින්දු මොනවද...?

ළමා සින්දු...

උඹ ඔය ළමා සින්දුවක්ද කිව්වෙ?

ඇයි ඒක ළමා සින්දුවක් නෙමෙයිද?

යකෝ ළමයි ඔය සින්දු කිව්වොත් තොපි වැඩිහිටි වෙලා මොනවා නොකියයිද?

මොනවද ළමා සින්දු?

ඇයි ඒ කාලේ අපි කියපු සින්දු. ළමා සින්දු....

මොනවද ඉතින් ඒ?

ඇයි බං ළමයි කියන සින්දු තමයි මල් ගැන සමනල්ලු ගැන කුරුල්ලො ගැන කඳු ගැන විල් ගැන කියන සින්දු. 
හරි මම කියන්නම් එහෙනම්...

මොකද්ද...?

ළමා ගීතයක්

කියපන් බලන්න....

මල් මල් විලේ රොන් සොයා ඇයි ගියේ..
ඇයි මේ තරම් වේදනා ආදරේ....
සුසුමක් වුණේ ඇයි අපගේ සෙනේ...
කඳුළක් වුණා ඔබ මගේ ජීවිතේ.......

මට හිනාව පිට උගුරෙ ගියා.

ඒක ළමා සින්දුවක්ද බොල ඒක...?

ඇයි ආච්ච කිව්වෙ මල් ගැන විල් ගැන තියෙන සින්දු කියලා. ඒකෙ තව සඳ තරු ගැනත් කියනවා.

කෝ කියාපන් බලන්න.

සඳ තාරකා මල් පිපෙනා රැයේ

රිදවුම් ගෙනේ සිත රෑ තුන් යමේ...

හා හා හා නවත්තපන් නවත්තපන්. ගොනෝ ඒක ඇවිල්ලා ආදරේ විරහ වේදනාවෙන් කියන ෙප්‍ර්මාන්විත ගීතයක්.... 
හරි එහෙනම් හොඳම හොඳ ළමා ගීතයක් කියන්නද?

කියපන් බලන්න.

සමනලයා මල හා ළමයා සේ 
බාල ළමා වයසේ...

අන්න. අන්න බලපන්. අන්න සින්දු කියපන් කියපන්.

පෙර තිදෙනා සිටියේ එක යායේ...
ජීවිතයේ අරුමේ....

අන්න බලපන් ජීවිතයේ යථාර්ථය සහ ළමා කාලය ගැන කියවෙන සින්දුවක්. කියපන් ඉතිරි ටිකත් බලන්න.

මලට වඩා පැණි බී රිසි සේමා
සමනලයා පියැඹූ දවසේ...

ඒ මල ගාවා ඒ පොඩි ළමයා දෑස වසා සිටියා...

අන්න බලපන් පොඩි ළමයි මල් සමනල්ලු. ඒවනේ බං සින්දු... බොහොම හොඳයි පුතා.
ඇත්තමයි මට ආච්චිගේ ගීත සාහිත්‍ය දැනුම ගැන පුදුම හිතුණා.

එතකොට ආච්චි ආච්චිගේ වයසෙදි කියන්න ඕන සින්දු මොනවද?

මගේ වයසෙදි කියන්න ඕන බුදු ගුණ ගීත.
ආහ් මං කියන්නද අලුතින් ආපු බුදු ගුණ ගීතයක් දෙකක්.
දැන් එහෙම ඒවත් එනවද බං?

මොනවද කියන්නෙ...
කියපන් බලන්න.

පූජා කරන්නම් මලක් ඔයා නමින්.......

නියමයි. අන්න බලපන් ඉතින්....

වැඳ බුදන්ගෙන් පවා ඉල්ලුවේ ඔයා තමා... එතකොට තෙරුවණ් සරණයි ඔයාට...... මතු භවයෙදී පවා පතන්නේ ඔබ තමා....

අන්න බලපන්. මේ සින්දුවල තියෙනවා බුදු ගුණ විතරක් නෙමෙයි ත‍්‍රිවිධ රත්නයම තියෙනවා. එතනින් ගියාම පුනර්භවය ගැනත් කියවෙනවා. ඒකනේ මතු භවේ පෙර භවේ ගැන කතා කරන්නෙ.

ආච්චි එහෙම කිව්වා. මල්ලි එයින් එක සින්දුවක් දාලා පෙන්නුවා. ආච්චි දොහොත් මුදුන් තබාගෙන වැඳගෙන බලාගෙන උන්නා. සින්දුව ඉවර වෙද්දි සාදු කාර දුන්නා.

මම
හොස්ස ළඟින් ගිය මැස්සා