2017 අප්‍රේල් 08 වන සෙනසුරාදා

හොල්මන් බන්ධනේ දැන් තිරයේ

 2017 අප්‍රේල් 08 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 282

මේ දිනවල ප්‍රදර්ශනය වන අලුත්ම චිත්‍රපටය බන්ධන වෙනස්ම ආකාරයේ නිර්මාණයක්. උදයකාන්ත වර්ණසූරිය ප්‍රවීණ සිනමාවේදියා විසින් නිර්මාණය කළ බන්ධනය පිළිබඳව හදසර සමඟ කතාබහකට එකතුවෙමින් පවසා සිටියේ ඔහු කාලයක පටන්ම අද්භූත කතාවලට දැඩි ලෙස ප්‍රියකළ අයෙක් බවය.

මම එකම වර්ගයට කොටුවුණ අධ්‍යක්ෂවරයෙක් නෙවෙයි. මේ මගේ 21 වැනි චිත්‍රපටයයි. මම විවිධ වර්ගයේ චිත්‍රපට හදලා තියෙනවා. බන්ධනය තුළින් මම අත ගහල තියෙන්නෙ වෙනස්ම විෂයකට. බය කියන්නෙත් එක්තරා රසයක්නෙ. මට ඕන වුණේ මේ රසය කොහොමද සිනමා මාධ්‍යයෙන් දෙන්නෙ කියලා. අපේ රටේ ජන සමාජයේ තියෙන යක්ෂ, මන්ත්‍ර, යාග, බලි තොවිල්, හූනියම්, බන්ධන, පිල්ලි වගේ දේවල් ඇසුරු කරගෙන මේක හැදුවෙ, මම දැකපු, අහපු, කියවපු සිද්ධිත් ඇසුරු කරගෙන. ත්‍රාසය, භීතිය පිරුණු මේ වගේ කතාන්දරයක් මම හිතන විදියට සිංහල චිත්‍රපටයකට නැගිලා නැහැ, ඔහු කීය.

බන්ධනය ට පසුබිම් වෙන්නෙ සත්‍ය සිද්ධියක්ද?

නැහැ. ඒත් මම මේ පිටපත ලිව්වෙ මෙවැනි සිද්ධීන් ගැන අහලා, දැකලා, කියවලා, පර්ෙය්ෂණ කරලා එකතු කරගත් තොරතුරු මත. මම ඒ කාලෙ ඉඳලම අද්භූත කතාවලට හරිම ආසයි.

මෙයට පාදක වෙන්නෙ මොන වගේ කතාවක්ද?

පළිගැනීමක් නිසා ඥාතීන් වන පවුල් දෙකක් අතර ඇතිවන ආරවුලක් දුරදිග යනවා. ඒ විරසකය නිසා එක පවුලක කුඩා දරුවෙකුට යම්කිසි යක්ෂ බන්ධනයක් කරනවා. ඒ තුළින් ඒ පවුල විනාශ කරන්න ගත්ත උත්සාහයක්. භයංකාර සිද්ධි රාශියක් කතාවට අන්තර්ගත වෙලා තියෙනවා.

භයංකාර සිද්ධි නිසා මේක කුඩා ළමුන්ට කෙසේ බලපාවිද?

චිත්‍රපටයේ අන්තර්ගතයේ තිබෙන භයංකාර සිද්ධි නිසා බන්ධනයට ලැබිලා තියෙන්නෙ වඩාත් සුදුසු වැඩිහිටියන්ටයි කියන වර්ගීකරණය. මේක පවුලේ හැමෝටම එකට ඉඳගෙන නරඹන්න පුළුවන් චිත්‍රපටයක්. ඒත් මම නම් අවුරුදු 12න් පහළ ළමුන්ට මේ චිත්‍රපටය නිර්දේශ කරන්නෙ නැහැ. මොකද කුඩා ළමයින්ගෙ හිත් කැළඹෙන්න පුළුවන් නිසා.

මෙහි නළු නිළියන් තේරීමේදී ඔබ විශේෂත්වයක් සිදුකළාද?

බන්ධනයට නළු නිළියන් තෝරා ගැනීමේදී මට ඕනෑවෙලා තිබුණෙ මේ චරිතවලට සාධාරණය ඉෂ්ට කරන්න පුළුවන් ශිල්පීන් යොදාගන්න. පෙර පරපුරේ හා නව පරපුරේ නළු නිළියන් රුසක් මම මේකට සම්බන්ධ කරගත්තා. විශේෂයෙන්ම සිරිල් වික්‍රමගේ ප්‍රවීණ රංගන ශිල්පියා. ඔහු තමයි කට්ටඩියාගේ ප්‍රධාන චරිතය කරන්නෙ. හේමාල් රණසිංහත් වෙනස්ම චරිතයක් නිරූපණය කරනවා. දුලානි අනුරාධා, නිල්මිණී තෙන්නකෝන්, රවීන්ද්‍ර යසස්, ප්‍රියංකර රත්නායක වැනි ප්‍රතිභාපූර්ණ නළු නිළියන් බන්ධනයට රංගනයෙන් දායක වෙනවා. මෙහි ප්‍රධාන ළමා චරිතයට පණ පොවන සහේළි සතරසිංහ මගේ අපූරු සොයාගැනීමක් කියලා තියෙනවා. ඇය විශිෂ්ට රංගනයක් ඉදිරිපත් කරන අතර ඒ තුළින් බන්ධනය්‍ ට සුවිශාල ආලෝකයක් ලබාදී තිබෙනවා.

බන්ධනය 3D (ත්‍රිමාණ) තාක්ෂණයෙන්ද ප්‍රදර්ශනය වෙනවා නේද?

ඔව්. සී.ඊ.එල්. මණ්ඩපයේ සිනමා ශාලා 60ක විතර බන්ධනය තිරගත වෙනවා. ඒ අතර ශාලා 12ක පමණ එය 3D තාක්ෂණයෙන් ප්‍රදර්ශනය වෙනවා. මේ රටේ සිනමාලෝලීන්ටත් එය අපූරැ අත්දැකීමක් වේවි. ඇත්තටම බන්ධනය එන්නෙ අපි ප්‍රදර්ශනය කිරීමට යෝජනා කළ කාලයට වඩා කළින්. ඊට හේතුව තමයි CEL මණ්ඩලයේ ප්‍රදර්ශනය වීමට තිබුණු චිත්‍රපටයක යම්කිසි ප්‍රමාදයක් නිසා ඇතිවූ අර්බුදකාරී තත්ත්වය. එනිසා බන්ධනය නියමිත කාලයට කලින් ප්‍රදර්ශනය කරන්න මම තීරණය කළා. සමහරු මගෙන් අහනවා අවුරුදු කාලයක චිත්‍රපටයක් මුදාහැරීම නුවණට හුරු දෙයක්ද කියලා. මගේ විශ්වාසය හා අත්දැකීම් අනුව නම් චිත්‍රපටයක් ප්‍රබල නම් එයට හොඳ ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ලැබේවි.