අවුරුදු ගණනාවකට කලින් රේඩියෝ එකකට කියලා අහන්න අපේ රටේ තිබුණේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව විතරයි. ඔය අතරේ එෆ්.එම්. 99 කියන පළමු පෞද්ගලික ගුවන්විදුලි නාලිකාව කොළඹ ප්‍රදේශයේ තියෙන තරු පන්තියේ හෝටලයකදී ආරම්භ කරනවා. මේ ගුවන්විදුලි නාලිකාව ඊට වසර කිහිපයකට පස්සේ %සවන^ කියන නමින් තමන්ගේ ශ්‍රාවකයන් අතරට යනවා. 2000 වසරේදී මෙන්න මේ කියන ගුවන්විදුලි නාලිකාව ශ්‍රී එෆ්.එම්. කියන නමින් අලුත් නමකින් තමන්ගේ සුවහසක් ශ්‍රාවකයන් අතරට ගිහිල්ලා ලංකාවේ අංක එකේ නාලිකාව විදියට බොහෝ කාලයක් වැජඹෙනවා. මෙන්න මේ ශ්‍රී එෆ්.එම්. නාලිකාවේ උදේ 7 ඉඳන් 9 වෙනකම් ශ්රීට හිතැති ශ්රීට ආදරය කරන තමන්ගේ ශ්‍රාවකයන්ට මොනවද අහන්න දෙන්නේ කියලා දැනගන්න මමයි සුමුදුයි ශ්‍රී එෆ්.එම්. ගුවන්විදුලි නාලිකාව තියෙන කොල්ලුපිටියේ කාර්යාල පරිශ්‍රයට ගොඩවැදුණා. කහ පාටින් සැරසුණු කහ කිරිල්ලියක් වගේ හැඩකාර කටකාරියක් එක්ක අඳුරු මොහොතක දැක්කටනම් අඳුනගන්න අපහසු කඩවසම් කටකාරයෙක් ඇවිත් අපිව ඉතාම ආදරයෙන් පිළිගත්තා. වැඩිපුර කාලයක් නොගෙනම කතාවට මුලපිරුවා.
ශ්‍රී එෆ්.එම්. නාලිකාවේ උදේ 7 ඉඳන් උදේ 9 වෙනකම් ‘පුබුදමු ශ්‍රී ලංකා' කියන වැඩසටහන තමයි ප්‍රචාරය වෙන්නේ. අපි අපේ ගුවන් කාලය තොදොල් වෙමින් බොරුවට හිනාවෙමින් ශ්‍රාවකයන්ගේ මනස සහ දෙසවන දූෂණය කරමින් ගුවන් කාලයත් ශ්‍රාවකයන්ගේ කාලයත් නාස්ති කරමින් කරන වැඩසටහනක් නෙවෙයි කරන්නේ. අපේ වැඩසටහනේ තියෙන විශේෂත්වය තමයි අපි සතියේ දින පහේම විවිධ වූ විෂය පථයන් පිළිබඳව ශ‍්‍රවකයන්ගේ විඥානය සකස් කරමින් මනස වෙනස් කරන්න උත්සාහ කරනවා. සඳුදා දිනයේ පුබුදමු ශ්‍රී ලංකා වැඩසටහනෙන් ධනාත්මක චින්තනයකට ශ්‍රාවකයන් අභිප්‍රේරණය කිරීමේ අරමුණ පෙරදැරිව ආචාර්ය දයා රෝහණ අතුකෝරාළ මහතාගේ වැඩසටහනකින් ආරම්භ කරලා සතියේ ඉතුරු දින පහ සඳහා නිරෝගිකම, නීතිය, ව්‍යවසායකත්වය සමාජ ව්‍යවසායකත්වය, ක්‍රීඩා, අධ්‍යාපනය ඇතුළු විවිධ ක්ෂේත්‍ර ගැන පුළුල් විෂය කාරණා ඔස්සේ වැඩසටහන් පෙළගස්වලා තියෙනවා. ඒ වගේම අපේ වැඩසටහනට සවන්දෙන ශ්‍රාවකයන්ට දයා රෝහණ මහතා විසින් සටහන් පොතකුත් නොමිලයේම ලබාගන්න හැකියාව තියෙනවා අපිට කතා කළොත්. ඔබට එෆ්.එම්. 100, 100.2කෙන් ශ්‍රී එෆ්.එම්. අහන්න පුළුවන් වගේම ලෝකේ කොහේ හිටියත් ඔබට අන්තර්ජාලය හරහාත් ශ්‍රී එෆ්.එම්. අහන්න පුළුවන්. ඒ වගේම දවසට රුපියල් 50,000ක් වටිනා ‘ශ්‍රී එෆ්.එම්. බඩුමල්ල' ඔබගේම කරගන්නත් ඔබට පුළුවන්කම තියෙනවා.
ශ්‍රීගෙ නිල ෆේස්බුක් පිටුවේ වෙබ් අංශයේ ශෂිප්‍රභා සූරියආරච්චි මේ වැඩසටහන ගැන දිනපතා නැවුම් තතු විත්ති වාර්තා කරනවා. තරුවක් ගෙනල්ලා ඔවුන් කන්නෙ මොනවද, අඳින්නෙ මොනවද වගේ ජනප්‍රිය අයගේ ඕපදූප කතා කරනවට වැඩිය මේක උඩුගම්බලා පිහිනීමක් වුණත් තරු ජනමාධ්‍යයට වැඩිය ඒක යහපත් දෙයක්. සෑම වැඩසටහනක්ම සාර්ථක කරගන්න දශක ගණනාවක් තිස්සේ ලැබූ අත්දැකීම් සහ නිරන්තර අධීක්ෂණයෙන් ඒ ගමනට නිරන්තරයෙන් ශක්තියක් වගේම මඟපෙන්වීමක් ප්‍රධාන මෙහෙයුම් නිලධාරී චන්දන තිලකරත්න මහතා ලබා දෙනවා.
වැඩසටහන ගැන කියවන ඔබ දැනගත්තා වගේම මේ වැඩසටහන මෙහෙයවන මනරම්ව වචන හසුරුවන ඔවුන් දෙන්නා ගැනත් ටිකක් හරි දැනගන්න කැමති ඇතිනේ නේද.? මුලින්ම අපි බෝල වලහා කියන සුරතල් නාමයෙන් හඳුන්වන ඔහුගෙන් ඔහුගේ විස්තර විමසුවා.
මම ගයාශාන් ලක්මාල්. ශ්‍රී එෆ්.එම්. ගුවන්විදුලිය කියන්නේ මගේ ප්‍රථම මාධ්‍ය අත්දැකීම. මම ඉන්නේ මාලඹේ. දැනට නාවල විවෘත විශ්වවිද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය හදාරනවා. අනාගතේ දවසක ව්‍යවසායකයෙක් සහ සමාජ ව්‍යවසායකයෙක් වෙන්න බලාපොරොත්තු තියාගෙන වැඩිදුර අධ්‍යාපනය හදාරනවා. මම ඉගෙන ගත්තේ මාලඹේ යශෝධරා මහා විද්‍යාලය සහ මාලඹේ ආදර්ශ පිරිමි විද්‍යාලයෙනුයි. තවමත් තනිකඩ, පෙම්වතියක්වත් නැහැ කී ඔහුගේ කතාවට නැවතුම තබා ඇයගේ හඬට දෙසවන් යොමු කළා.
මම ලක්ෂි රාමනායක. මම ශ්‍රී එෆ්.එම්. පවුලට එකතුවෙලා අවුරුදු 5කට වැඩියි. ශ්‍රී එෆ්.එම්. එකේ ගුවන්විදුලි ආදර කතාව ඉදිරිපත් කිරීමෙන් පස්සේ මට පුබුදමු ශ්‍රී එෆ්.එම්. වැඩසටහනට සම්බන්ධ වෙන්න පුළුවන් වුණා. 2007 දී මම මැක්ස් රේඩියෝව සහ මැක්ස් රූපවාහිනී නාලිකාවෙන් මාධ්‍ය ක්ෂේත්රයට පය තිබ්බත් මම කොළඹ කෙනෙක් නෙවෙයි. මම ඉපදුණේ නුවර. මම පාසල් ගියේ ශාන්ත අන්තෝනි බාලිකා විදුහලට. මම කොළඹ විශ්වවිද්‍යාලයෙන් මාධ්‍ය අධ්‍යයනය වැඩිදුරටත් හදාරමින් ශාස්ත්‍රපති උපාධිය අපේක්ෂාවෙන් සිටිනවා.
ඒ තමා දෙන්නගේ විත්ති. එහෙමනම් අහමුද පුබුදමු ශ්‍රී ලංකා...