2020 ඔක්තෝබර් 03 වන සෙනසුරාදා

මට වැඩිහරියක් ඉන්නේ කකුල් හතරේ යාළුවෝ

 2020 ඔක්තෝබර් 03 වන සෙනසුරාදා, පෙ.ව. 06:01 267

- භානුක රාජපක්ෂ

භානුක ඔබට කකුල් දෙකේ යාළුවෝ හැරුණම තවත් යාළුවෝ ඉන්නවාද?
ඔව්. මට වැඩිහරියක් ඉන්නේ කකුල් හතරේ යාළුවෝ තමයි.

එයා යාළුවෙක්ද? සුරතලෙක්ද?
එයා කියන්නේ මල්ලි.... අපේ ගෙදර සුරතලුන් 7 දෙනෙක් ඉන්නවා. ඉතින් එක්කෙනෙක් කියලා නෑ....

ඔයාට කොහොමද එයාලාව හම්බවුණේ?
ඔව්. මම ඉස්සෙල්ලාම ගත්තේ බ්‍රැන්ඩිව. එයාට දැන් අවුරුදු 5ක් විතර ඇති. එයාව ටික කාලයක් ආදරයෙන් රැකබලාගෙන යද්දී මම තව බලු පැටව් තුන් දෙනෙක් ගත්තා. ඊට පස්සේ ටික කාලයක් යනකොට බ්‍රැන්ඩිට තව පැටියෙක් ලැබුණා. එයා තමා අලුත් කෙනා. ඊට අමතරව මට තව ඉන්නවා ඛෙත්තාරාමෙන් ගෙනාපු ස්ට්‍රීට් ඩෝග්ලා හතර දෙනෙකුත්.

එයාලාගේ නම් මොනවාද?
බ්‍රැන්ඩි - ගෝල්ඩන් රිට් රීවර්, මෝචා - චොකලට් ලැබ්‍රඩෝ, තියේඩෝ - අලුත් පැටියා, රයිලි - ජර්මන් ෂෙපර්ඩ්, හයිඩි - ක්‍රොකස් පැනියල් ඒ තමයි එයාලගේ නම්.

මෙයාලගෙන් ඔයා ගොඩක් ළඟින් සුරතල් කරන කෙනා කවුද?
මගේ ළඟින්ම ඉන්න කෙනා තමා බ්‍රැන්ඩි. මොකද එයා තමා මම ඉස්සෙල්ලාම ගෙනාපු මගේ යාළුවා. එයා කියන දේ හොඳට අහනවා. අනිත් අයත් කියන දේ අහනවා. ඒත් මෙයා විශේෂයි මට.

බ්‍රැන්ඩිගේ උපන්දිනය සමරන්නේ එහෙම නැද්ද?
බ්‍රැන්ඩිගේ විතරක් නෙවෙයි අනිත් අයගේ උපන්දිනත් අපි සමරනවා. බ්‍රැන්ඩි ගැන කතා කරපු නිසා මම එයා ගැන කියන්නම්. බ්‍රැන්ඩිගේ උපන්දිනය අප්‍රේල් විසිහය. හැමදාම උපන්දිනයට කේක් එකක් කපලා එයාලට චුට්ට චුට්ට කන්න දෙනවා. මොකද එයාලට වැඩිය පැණිරස හොඳ නැති නිසා. එදාට වෙනම ස්පෙෂල් කෑම දෙනවා. තව දෙයක් තමා පාරේ ඉන්නවා කෑමක් හොයාගන්න නැති බල්ලෝ. අපි ගිහිල්ලා එයාලටත් එදාට කෑම වේලක් දෙනවා.

බ්‍රැන්ඩිව ඔයා ගත්තේ කීයක් දීලද?
මම එයාව ගත්තේ රු.60,000කට. දැන්නම් මම හිතන්නේ ඊට වැඩිය ගොඩක් ගණන් ඇති.‍

භානුක ඔබ ක්‍රිකට් ක්‍රීඩාව කරන ගමන් කොහොමද මෙච්චර බල්ලෝ ගොඩක් ගැන බලන්නේ?

වෙලාවක් හදාගන්නවා. මම කොච්චර කාර්යබහුල වුණත් මම මෙයාලව අතහරින්නේ නෑ. හදිසියේ හරි මම ගෙදර නැති වුණොත් මට උදව් කරන්න අපේ ගෙදර වැඩකරන පුෂ්පා ඉන්නවා. තව මගේ ෆියොන්සේ (පෙම්වතිය)  ඉන්නවා. අපි තුන්දෙනා තමා මෙයාලව නාවන්නේ, කවන්නේ, ඔක්කොම කරන්නේ. අපි ඇවිදින්න යනකොට මෙයාලව මගේ වාහනේ දාගෙන යනවා. ඒක නිසා මම වෙලාව ප්‍රශ්නයක් කරගන්නේ නෑ.

බ්‍රැන්ඩි කරපු අමතක නොවන සිදුවීම් එහෙම ඇති නේද?
ඔව්. ඇත්තටම එකක් කියලා කියන්න බෑ. සිද්ධි ගොඩක් තියෙනවා. මම ක්‍රිකට් ක්‍රීඩාවට ගොඩක් ෆෝකස් වෙන්න බ්‍රැන්ඩි ගොඩක් හේතු වුණා.

ඒ කිව්වේ...?
මම ගොඩක් ගෙදර ඉන්න වෙලාවට බ්‍රැන්ඩි තමා ගෙදර ඉන්නේ. ඒක නිසා යාළුවෝ එක්ක එහෙම එහේ මෙහේ යන්න වෙලාව අඩුයි. ඉතින් මම හිතන්නේ මට බ්‍රැන්ඩි ඉන්න නිසා වෙන දේවල්වලට ෆෝකස් වෙන්න වෙලාව නෑ.

ඔයාගෙන් කට්ටිය අහන්නේ නැද්ද උඹට පිස්සුද මෙච්චර බල්ලෝ හදන්නේ කියලා?

අහනවා... අහනවා... හම්බවෙන හුඟ දෙනෙක් අහනවා.

භානුක ඔයා වගේම තව කට්ටිය හුරතල් සත්තු හදනවා. ඔයාට මොනවාද එයාලට කියන්න තියෙන්නේ?
ඇත්තටම මගෙනුත් කට්ටිය අහනවා දැන් පැටව් එහෙම නැද්ද කියලා. මම හුඟක් කට්ටියට දෙන්නේ නෑ. ගොඩක් අය බොරු ෂෝ එකට අරගෙන බල්ලන්ව කූඩු කරලා ගැටගහගෙන හදනවා. ඇත්තටම මම අකමැති දෙයක් තමා ඒක. මම කවදාවත් අපේ ගෙදර බල්ලෝ කූඩු කරලා ගැටගහලා හදලා නෑ. මම එයාලව ගැට ගහන්නේ නාවද්දි විතරයි. මොකද එයාලා නාවද්දි දඟ කරන නිසා. මම වගේ සත්තු හදන හෝ හදන්න ඉන්න අයට මට කියන්න තියෙන්නේ.... එයාලට නිදහස සතුට දෙන්න බැරිනම් සත්තු හදන්න එපා කියන එකයි. තවත් සමහරු පැටියා කාලේ හුරතල් කරලා හදනවා. පස්සේ අත අරිනවා. එහෙම කරන්න එපා කියලා මම සියලුදෙනාගෙන් ඉල්ලනවා.