2020 ඔක්තෝබර් 03 වන සෙනසුරාදා

තනිකඩකම මතක් වෙන්නෙ කමිසයේ බොත්තමක් ගැලවුණාම

 2020 ඔක්තෝබර් 03 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 230

තනිකඩයන්ගේ හදගැස්ම ඉසියුම් සුගැඹුරු ළෙන්ගතුකමකින් පිරිමදින්න අපිට හිතුණා... හුදෙකලාව තරම් සොඳුරු හැඟීමක් ලෝකයේ තවත් තියෙනවද කියලා කෙනෙකුට හිතෙද්දි දැනෙද්දි තවත් කෙනෙකුට හිතෙන්න දැනෙන්න හැඟෙන්න පුළුවන් අකම්පා නොවී ඉන්න බැරි වේදනාවක් දෙන දරුණුම හැඟීම හුදෙකලාව කියලා... ඒ කොහොම වුණත් මට හිතෙන එක දෙයක් තියෙනවා. අර්හත් නොවූ හැම හදවතක්ම හොයන්නෙ ඉල්ලන්නෙ ආදරය...

අද තනිකඩයා සම්මානිත මහාචාර්ය  සුනිල් ආරියරත්න.

තනිකඩ ජීවිතය ඔබට දැනෙන්නෙ මොන විදිහටද?
මම තනිකඩයෙක් කියන එක කොයි වෙලාවකවත් මගේ සිහියට එන්නෙ නැහැ. සමහර අය අහනවා මගේ නිර්මාණවලට තනිකඩ ජීවිතය සම්බන්ධ වෙනවද කියලා. ආපහු හැරිලා බැලුවම මම සින්දු 1000කට ආසන්න සංඛ්‍යාවක් ලියලා තියෙනවා. ඒත් තනිකඩ ජීවිතේ අත්දැකීමක් ඒ කිසිම ගීතයක නැති තරම්. ඒකට හේතුව තමයි කොයි මොහොතකවත් මම තනිකඩයෙක් කියලා නොහිතන එක. ඔබේ මාතෘකාව නිසා මට ඒක මතක් වුණා මිසක්, මම ඒ ගැන හිතන්නෙවත් නැහැ, මතක් වෙන්නෙත් නැහැ. තනිකඩයා කියන වචනෙවත් මගේ ශබ්දකෝෂයේ නැහැ. මමත් වෙනත් ජීවියෙක් වගේම තමයි කියලයි මට හිතෙන්නෙ.

ඔබ මේ ජීවිතේ ගැන සතුටු වෙනවද?
ඒකෙන් කියවෙන්නෙ නැහැ තනිකඩ ජීවිතේ ප්‍රීතිකාරියි, අනිත් ජීවිත කනගාටුදායකයි කියලා. තනිකඩ කියන වචනෙ මගේ ජීවිතේට ඇතුළත් කරගෙන නැහැ.

තනිකඩව ඉන්න ඔබට බලපෑ හේතුවක් තිබුණද?
එහෙම වෙන්න හේතුවක් හොයාගෙන යනකොට මට ඒකට හේතුවක් තියෙනවා. මම තනිකඩයෙක් වෙන්නෙ නැහැ, මගේ ප්‍රථම ප්‍රේමය පරාජිත ආදරයක් නොවුණානම්. මගේ ප්‍රථම ප්‍රේමය විශ්වවිද්‍යාල ජීවිතේ වෙච්ච සිද්ධියක්. ප්‍රේම සම්බන්ධයක්. ඒක ඇතිවුණේ මට වඩා වයසින් අවුරුද්දකින් වැඩිමහල් කෙල්ලෙක් එක්ක. ඇය ඒ වෙනකොට විවාහ වෙන්න ලැහැස්තිවෙලා හිටියෙ. එයාට ප්‍රේමවන්තයෙක් හිටියා. ඒ අතර තමයි මම එයාගේ ජීවිතේට සම්බන්ධ වුණේ. එයාගෙ පෙම්වතාව අත්හරින්න නම් මම එයාව කසාද බඳින්න ඕනෙ. ඒ වගේ තීරණාත්මක වෙලාවක තමයි මහාචාර්ය නන්දසේන රත්නපාල මට අවවාදයක් දුන්නෙ. ඔහු මගේ ගුරුවරයෙක්. මගේ පෞද්ගලික ජීවිතේ ගොඩාක් දේවල් දන්න කෙනෙක්. අද ඔහු ජීවතුන් අතර නැහැ. ඔහු මේ ගෑනු ළමයවත් දන්නවා. මම ඔහුට මේ සිද්ධිය කිව්වම ඔහු කෙළින්ම කිව්වා, මේක කරන්නම එපා කියලා. මම ඒ වන විට සින්දුවක් දෙකක් ලියලා තිබුණා. පොතක් දෙකක් පළකරලා තිබුණා. ඔහු කිව්වා ඔබට දීප්තිමත් අනාගතයක් තියෙනවා. ඔබ හදිස්සියේ විවාහයක් කරගත්තොත් ඔබේ මුළු අනාගතයම අඳුරු කරගන්නවා  කියලා. ඔහු මට දැඩි ලෙස අවවාද කළා. ඒක 100%ක් හරි කියලා මට අද හිතෙනවා. ඒ දේ මම කරගත්තනම් අද මට මේ නිර්මාණ ලෝකෙ මේ තරම් දුර ගමනක් එන්න ලැබෙන්නෙ නැහැ. මගේ ගීතවල ප්‍රථම ප්‍රේමය ගැන ගොඩක් ලියැවිලා තියෙනවා. 

ඒ තීරණය ගැන ඔබ පසුතැවෙන්නෙ නැහැ?
නැහැ. මම කම්පා වෙන්නෙම නැහැ.

ඔබ කලින් වයසක් ගැන සඳහන් කළා. ඇත්තටම ආදරයට වයස් පරතරය තදින්ම බලපාන සාධකයක්ද?
වයස ආදරයට කොහෙත්ම බලපාන්නෙ නැහැ. මගේ ප්‍රථම ප්‍රේමයට සම්බන්ධ තරුණිය හා මා අතර තිබුණෙ අවුරුද්දක පරතරයක්. මම මේකත් කියන්න ඕනෙ. මගේ ප්‍රථම ප්‍රේමයෙන් පස්සෙ මගේ ජීවිතේ ප්‍රේම සම්බන්ධතා ඇතිනොවුණා නෙවෙයි. මගේ ජීවිතය මම ප්‍රථම ප්‍රේමය වෙනුවෙන් කැප කළේ නැහැ. ඊටපස්සෙ ඇතිවුණු සම්බන්ධතා අතර විශාල වයස් පරතරත් තිබුණු සම්බන්ධකම් තිබුණා. ඒ නිසා වයස කියන එක ආදරයට කිසිසේත්ම බලපාන්නෙ නැහැයි කියලා මම අත්දැකීමෙන්මයි කියන්නෙ. ඒක තියෙන්නෙ ආදරය මත මිසක් වයස මත නෙවෙයි.

අවිවාහක කෙනෙකුගෙ ජීවිතේ සුරක්ෂිතභාවය, විශේෂයෙන් වියපත් වුණු කාලෙක, යම්කිසි අවදානමකට ලක්වෙනවා කියලා ඔබට හිතෙන්නෙ නැද්ද? ඒ ගැන බයක් දැනෙන්නෙ නැද්ද?
ඒක මම දන්නවා. ඒක දැනගෙන මම අනාගතයට සූදානම්වෙලා ඉන්නවා. මම රෝගාතුර වෙන්න පුළුවන්. සාත්තු සප්පායම් කරන්න කෙනෙක් නැතිවෙන්න පුළුවන්. මම ඒ තත්ත්වයට මුහුණදෙන්න සූදානමින් ඉන්නෙ. ඕනෑම තනිකඩයෙක් තමන්ගෙ ජීවිතේ සුරක්ෂිතභාවය ගැන විවාහකයකුට වඩා තදින් හිතන්න ඕනෙ. ලෝකෙ මට ඉන්නෙ මම විතරයි කියන තැන ඉඳලා තමයි මම අනාගතයට පැහැදිලිව සූදානම්වෙලා ඉන්නෙ. අනිත් තනිකඩයන්ටත් මම කියන්නෙ තමන්ගෙ අනාගතය සුරක්ෂිත කරගන්න ඕනෙ කියලා. ඒ සඳහා දැනුම්වත්වෙලා ඉන්න ඕනෙ, තමන් කවදාහරි තනිවෙනවා කියලා.

තනිකඩ ජීවිතයක් සාර්ථකව ගතකරන කෙනෙකු තුළ තිබිය යුතු ප්‍රධානම ගුණාංග මොනවද?
විවාහ ජීවිතයකදී ස්වාමියාට, භාර්යාවට, දූ දරුවන්ට, ඥාතීන්ට ඉෂ්ඨ කළ යුතු විශාල වගකීම් සම්භාරයක් තියෙනවා. මඟුල් කාලා තියෙනවා, මරණ තියෙනවා. තනිකඩයා කියන කෙනා ඒ ඇලීම්, බැඳීම්වලින් තොර කෙනෙක් වෙනවා. ඒ නිසා ඔහුට ජීවිතේ විශාල කාලයක් ඉතුරු වෙනවා. මම විශ්වාස කරන හැටියට ඔහු අර්ථසම්පන්න පුද්ගලයෙක් වෙන්නනම් ඔහුට ඒ ලැබෙන කාලයෙන් ලෝකය වෙනුවෙන්, රට වෙනුවෙන්, සමාජය වෙනුවෙන් යුතුකමක් ඉෂ්ඨ කරන්න යොදාගන්න ඕනෙ. එහෙම නැත්නම් සොබාදහම විසින් ලබාදෙන ඒ කාලය නිෂ්ඵලව ගත කරන්න සිද්ධ වෙනවා. 

ඔබ අනුගමනය කරන්නෙත් ඒ ක්‍රමවේදයම තමයි?
ඔව්. මම මගේ ජීවිතේ බොහෝ දේවල් කළේ මගේ තනිකඩකම නිසා කියලයි මම හිතන්නෙ. මම දවසෙ පැය 24ම යම් වැඩක නිරතවෙලා ඉන්න කෙනෙක්.

ඔබ තනිකමට වෛර කරපු එකම එක දවසක්වත් තිබුණෙම නැද්ද?
මම කිසිම දවසක තනිකමට වෛර කළේ නැහැ. ඒත් කමිසයේ බොත්තමක් කැඩුණු වෙලාවක ඒ බොත්තම් කාසය මහගන්න මතක් වුණාම, මට මතක් වෙනවා හානේ මම තනිකඩයෙක් නේද? කියලා. ඒකත් ඉතින් තත්ත්පර ගාණකට විතරයි. මම මගේ ඇඳුම් පැළඳුම් හෝදන්නෙත් නැහැ. ඒවා ලොන්ඩරියට දානවා.

ඔබේ තනිකඩ ජීවිතය පූර්වාදර්ශයට ගන්න උත්සාහ කරන අය එහෙම ඉන්නවද?
සමහර අය මගෙන් අහනවා, ඔයා මොනවද හිතන්නෙ, මම තනියෙන් ඉන්න එකද හොඳ, කසාද බඳින එකද හොඳ කියලා. ඒ වගේ අවවාද, අනුශාසනා ලබාගන්න එන අයට මම කියන්නෙ ඕගොල්ලො කසාද බඳින්න. මාවනම් පූර්වාදර්ශයට ගන්න එපා කියලා. එතකොට ඒගොල්ලො කියන්නෙ ඔයා හරිම ආත්මාර්ථකාමීයි. ඔයා ජොලියෙ තනිකඩව ඉඳලා අපිට බඳින්න කියනවා. කියලා. මම තනිකඩව ඉන්න එක ඇත්ත. ඒත් මම අසාමාන්‍ය, අතිවිශේෂ චරිතයක්. මම මුල ඉඳන් තනිකඩව ඉන්න පුරුදුවෙලා. ඒකට ආර්ථික ශක්තියක්, සමාජ පසුබිමක් හදාගෙන ඉන්න නිසා මට එහෙම ඉන්න පුළුවන්. හැම කෙනෙකුටම එහෙම ඉන්න බැහැ. මම ඒ අයට කියන්නෙ &කසාද බැඳලා බලන්න, බැරිනම් දික්කසාද වෙලා ඉන්න, මම දිහා බලාගෙන කසාද නොබැඳනම් ඉන්න එපා කියලා.

ශාරීරිකව නොවුණත්, ආධ්‍යාත්මික වශයෙන් ඔබේ හැඟීම් තේරුම් ගැනීමට කෙනෙක් ජීවිතේට අවශ්‍ය වෙන්නෙ නැද්ද?
මගේ ප්‍රථම ප්‍රේමය බිඳවැටුණට මගේ ආදර සම්බන්ධතා නැතිවුණේ නැහැ. මගේ ජීවිතයේ කිහිප දෙනෙක් මට ඉන්නවා. තනිකඩකම හිතෙන්නෙ නැත්තෙ ඒ නිසා වෙන්නැති. ආදරය, ස්නේහය මට නොඅඩුව තාමත් ලැබෙන බව මම අවංකව හා කෙළින් කියනවා. මට ආදරේ කරන අය ඉන්නවා ජීවිතේ. මගේ නිර්මාණවලත් ඒ ආදරේ සුවඳ ගැබ්වෙලා තියෙනවා.

ජීවිතේ ආපස්සට යන්න වරමක් ලැබුණොත්, ඔබ තනිකඩව ඉන්න ගත්ත තීරණය වෙනස් කරාවිද?
ඒත් නැහැ. ආපස්සට මගේ විශ්වවිද්‍යාල කාලයට ගියත් මම ඒ තීරණය වෙනස් කරන්නෙ නැහැ, ඒ ගත්ත තීරණය නිවැරදි එකක් නිසා.

ඔබ ප්‍රාතිහාර්යයන් විශ්වාස කරනවද?
ප්‍රාතිහාර්යයන් නෙවෙයි, දෛවය නම් විශ්වාස කරනවා. දෛවය විසින් යම් දෙයක් අහිමි කරනවනම් ඒක අහිමි වෙනවා. බොහෝ දේවල් දෛවෝපගත විදිහට මගේ ජීවිතේ සිද්ධවෙලා තියෙනවා.

දෛවෝපගත විදිහට ඔබේ තනිකඩ ජීවිතේට ආයුබෝවන් කියන දවසක් ආවොත්?
ඔබ අදහස් කරන්නෙ විවාහයක් ගැනනම්, එහෙම දෙයක් වෙන්නෙ නැහැ. මොකද මම මේ ගෙවන ජීවිතේට ප්‍රේම කරන නිසා. ඒත් දෛවය විසින් මොනවා වෙයිද කියලා මම දන්නෙ නැහැ. මම ඒකත් දෛවයට බාර කරනවා.

සේයාරුව: සරත් පෙරේරා