2020 ඔක්තෝබර් 10 වන සෙනසුරාදා

කතා කරන තරු කැන්දන ස්වර්ණවාහිනී

 2020 ඔක්තෝබර් 10 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 226

හෙලෝ මීඩියාවලින් මමයි සුමුදුයි මේ සැරේ සජීවී අත්දැකීමක් ලබාගන්න ඉරිදා රෑ හත වෙනකොට ගියේ ස්වර්ණවාහිනී නාලිකාවට. අපි යනකොටත් ස්වර්ණවාහිනියේ කොරිඩෝව දිගේ කුඩා දරුවෝ එහාට මෙහාට දුවනවා. ඔවුන්ගේ සුරතල් හිනා හඬ සහ පැහිච්ච කතාවල සුන්දරත්වය විඳිමින් කොරිඩෝ එකේ තැනින් තැන හිටි තරුණ සහ මැදිවියේ පිරිස තමන්ගේ ළමා කාලය හිතින් විඳිනවා වගේ ඔවුන්ගේ ඇස්වලින් පේන්න තිබුණා. අද ස්වර්ණවාහිනියේ හිත ඉල්ලන තරු වැඩසටහන විශේෂ වැඩසටහනක්.

මොකද අද හිත ඉල්ලන තරු වැඩසටහනට මේ සතියේ ඇවිල්ලා හිටියේ ස්වර්ණවාහිනියේ පටන්ගැන්මේදී තිබුණු වැඩසටහනක් වුණු හපන් පැදුරේ එදා වැඩසටහන කරගෙන ගිය ළමයි ටික. අද වන විට ඒ ළමයි ළමා කාලයෙන් තරුණ අවධියට පත්වෙලා ඔවුන්ගේ අත්වල පොඩි පොඩි පැටව් එල්ලිලා. එදා මව්පියන්ගේ, වැඩිහිටියන්ගේ අත්වල එල්ලිලා වැඩසටහනට ආව අයගේ අත්වල අද එක්කෝ කුඩා දරුවෝ එල්ලිලා ඉන්නවා, එහෙම නැත්නම් තමන්ගේ සැමියා, එහෙමත් නැත්නම් තමන්ගේ පෙම්වතිය, නැත්නම් පෙම්වතා තමයි දෑත් පටලවාගෙන හිටියේ. කඩිගුලක් ඇවිස්සිලා වගේ හැමෝම තම තමන්ගේ කාර්යය කටයුතුවල නියැලෙමින් ඉද්දී බොහොම අමාරුවෙන් අපි හිත ඉල්ලන තරු වැඩසටහනේ වැඩසටහන් අධ්‍යක්ෂ ජයන්ත අතපත්තු එක්ක වැඩසටහන ගැන කතා කරන්න පොඩි කාලයක් හදාගත්තා.

ඉරිදා රූ 9.30 කියන්නේ ඔබේ හිත ඉල්ලන තරුව ඔබගේ නිවසට එන දවස. මොකද ඉරිදා රූ 9.30ට තමයි ස්වර්ණවාහිනියේ රංගන ද සිල්වා තරු පිරිවරාගෙන පුරා හෝරා දෙකහමාරක් ගත කරන්න ඔබේ ආලින්දයට ගොඩවදින්නේ. අද හපන් පැදුරේ එදා සහ අදටත් ප්‍රේක්ෂකයන්ගේ ආදරය ලබාගත් දිනූපා කෝදාගොඩ, මාධවී වත්සලා, ඉනෝකා විජයංගනී, රන්මිණී ශාක්‍යා, කෝකිල පවන් සහ සජිත අනුත්තර තමයි සහභාගී වෙන්නේ. හිත ඉල්ලන තරු වැඩසටහනට රංගන ක්ෂේත‍්‍රයේ සහ ගායන ක්ෂේත‍්‍රයේ හෝ කලා ක්ෂේත‍්‍රයේ ඉහළින්ම ඉන්න තරු තමයි සහභාගි වෙන්නේ. මේ වැඩසටහන මේ වන විට සමීක්ෂණ වාර්තා අනුවත් ශ්‍රී ලංකාවේ වැඩිම පිරිසක් නරඹන චැට් ෂෝ එක විදියට අංක එකට පත්වෙලා තියෙනවා. අපි මේ වැඩසටහනෙන් කරන්නේ කාර්යබහුලව ජීවිත ගෙවන ප්‍රේක්ෂකයාගේ මනසට රසවින්දනයක් ලබාදෙන එකයි. පැය දෙකහමාරක් පුරා සජීවී විකාශනය වන හිත ඉල්ලන තරු වැඩසටහන මෙහෙයවන අපේ ආයතනයේ වැඩසටහන් අධ්‍යක්ෂ රංගන ද සිල්වා ඔහුටම ආවේණික රටාවකින් තමයි මේ වැඩසටහන මෙහෙයවන්නේ. පැය දෙකහමාරක් එකම රිදම් එකකින් වැඩසටහනක් සජීවීව පවත්වාගෙන යන එක පහසු දෙයක් නෙවෙයි.

අපි මේ වැඩසටහනට සූදානම් වෙන්නේ හවස තුනේ විතර ඉඳලා. මේ වැඩසටහන අංක එකට පත්වෙන්න හේතුව තමයි ටීම් වර්ක් කියන එක. පසුතල ශිල්පීන්, ආලෝකකරණය කරන ශිල්පීන්, කැමරා ශිල්පීන් විතරක් නෙවෙයි, කෑම ටික තේ ටික හදලා සපයන හැමෝමත් මේ වැඩසටහන සාර්ථක කරගන්න දායක වෙනවා. හිත ඉල්ලන තරු වැඩසටහන නිෂ්පාදනයෙන් තරිඳු අනූපම කටයුතු කරද්දී සහාය නිෂ්පාදනය චිරන්ත සිදු කරනවා. රත්න කුමාර ප‍්‍රමුඛ මේකප් කණ්ඩායම හැමෝම සුන්දරව හැඩ කරද්දී ආලෝකකරණය කරන්නේ විමලසිරි. මේන්ටේන්ස්, ට‍්‍රාන්ස්පෝර්ට්, එම්.සී.ආර්. එක, ශ‍්‍රව්‍ය දෘශ්‍ය අංශය, ඔන් එයාර් ප‍්‍රමෝ එක ඇතුළු ස්වර්ණවාහිනියේ සේවය කරන පවිත‍්‍රකරණ අංශයේ සේවකයන් පවා මේ වැඩසටහන සාර්ථක කරගන්න දායක වෙනවා.

වැඩසටහන පටන්ගන්න වෙලාව ආසන්න වුණු නිසා අපිත් දනිපනි ගාලා වාඩිවෙලා හිටිය පුටුවලින් නැඟිටලා ස්වර්ණවාහිනියේ මේන් ස්ටුඩියෝ එකට ගියා. හිත ඉල්ලන තරු ටිකයි වැඩේට දායකත්වය දෙන කණ්ඩායමයි, ඒ වගේම සංගීතය සපයන සංගීත කණ්ඩායමයි හැමෝම කාර්යබහුල වෙද්දී සුමුදුත් කාර්යබහුලවෙලා. ඔබ නිවසේ ඉඳගෙන සජීවීව වැඩසටහන නරඹද්දී මම ප‍්‍රධාන පාලක මැදිරියේ නිෂ්පාදක කණ්ඩායමට බාධාවක් නොවන විදියට හිත ඉල්ලන තරු වැඩසටහන නරඹන්න පටන් ගත්තා.

හිත ඉල්ලන තරු වැඩසටහනට සහභාගී වන තරුවලටත් හිත ඉල්ලන තරු වැඩසටහනටත් දේශයේ ආදරය පිරිනමමින් දේශයේ හදසර ස්වර්ණවාහිනී වැඩසටහන් අධ්‍යක්ෂ රංගන ද සිල්වාට විශේෂ ස්තුතිය පිරිනමනවා.