අද My pet එකෙන් සුරතල් සතුන් ගැන කතා කරන්න අපිත් එක්ක එකතු වුණේ නම කීවම නොදන්න කෙනෙක් නැති ඡායාරූප ශිල්පියෙක් සහ ගායකයෙක්. ඔහු දයාන් විතාරණ. ඔහුගේ සුරතළුන් ගැන My pet එක්ක මෙන්න මෙහෙම කතාව පටන් ගත්තා.
ගෙදර හදන සුරතලුන් යාළුවොද එහෙම නැත්නම් සුරතලුන්ද?
ම්... අපේ ගෙදර පූසෝ පස් දෙනෙක් හිටියා. එයින් පූස් අම්මා මැරුණා. සතුන් ගැන මම දකින විදිහ කියලා ඉන්නම්කෝ... මිනිස්සුන්ටනම් කතා කරන්න හිනා වෙන්න වගේ හැම දෙයක්ම කරන්න පුළුවන්නේ. සතුන්ට ගොඩාක් වෙලාවට ගොඩාක් දේවල් කියා ගන්න බැහැ. සමහර වෙලාවට එයාලා අපිට එයාගේ දුක කිව්වත් තේරෙන්නේ නැහැ. එයා සුරතලෙක් වෙන්න පුළුවන් යාළුවෙක් වෙන්න පුළුවන්. මම දකින විදිහට සතෙක් කියන්නේ පිං මදි වෙලා සතුන් වෙලා ඉපදිලා ඉන්න තමන්ට රිසි සේ දෙයක් කරගන්න බැරුව ඉන්න අය නිසා අපේ යුතුකම වෙන්නේ අපි එයාලට අවශ්‍ය දේවල් හොයලා බලලා දෙන එකයි. මම කිව්වේ අපිට බඩගින්නක් ආවොත් මොනවාහරි හදාගෙන හරි කොහෙන් හරි ඕඩර් කරලා හරි කන්න පුළුවන්. එත් එයාලට එහෙම බැහැනේ. එයාලට දෙනකම්ම බලාගෙන ඉන්න වෙනවනේ.
සුරතලයට සතුන් හදන්න පටන් අරගත්තේ කොයි කාලේ වගේද?
මම පුංචි කාලෙ ඉඳලා සතුන් හදනවා. එයාලට කන්න බොන්න දෙනවා විතරක් නෙවෙයි එයාලව හුරතල් කරනවා. වෛරම් වැටුණු පූසන්ට මම ගොඩක් කැමතියි. එහෙම අය මට පොඩි කාලේ ඉඳලම හිටියා. මම පොඩි කාලේ චිත‍්‍ර අඳිනවා. මම චිත‍්‍ර අඳිද්දී පූසා ඇවිල්ලා බ‍්‍රෂ් එක ලෙව කනවා. ඒක සමහරවිට එයාට අගුණත් ඇති. ඒත් පොඩි කාලේ මට හිතුණේ එයා මගේ චිත‍්‍රයට උදව් වෙනවා කියලා.
සුරතල් සතුන් නිසා බොහොම සතුටෙන් වගේ නේද ඉන්නේ?
සමහර වෙලාවට ලොකු දුකකුත් ඇති වෙනවා. හිටපුගමන් දැනගන්න ලැබෙනවා අන්න පූසෙක්ව සර්පයෙක් දෂ්ඨ කරලා කියලා. එක පූසෙක් හිටියා නයෙක් ගහලා. දවස් ගාණකට පස්සේ කාණුවක ඉඳලා හම්බුණා. එයාට ප‍්‍රතිකාර කරලා එයාව බේරගත්තා. ගොඩාක් වෙලාවට පූසොන්ට සර්පයෝ දෂ්ඨ කරලා මැරෙනවා. මම යාපනේ ගිහිල්ලා ඉන්නකොට එක්කෙනෙක් ටික දවසකට කලින් සර්පයෙක් ගහලා මැරිලා. මට ඒක ආරංචි වුණා. මට ගොඩක් දුක හිතුණා. ඒත් මම දැක්කේ නැති නිසා මට හිත හදාගන්න පුළුවන් වුණා.
කොහොමද එයාලව හමුවුණේ?
පූසෙක් හදන්න තියෙන ආශාව නිසා ටැබී කියන පූසාව ඉල්ලගෙන ආවා. ඔය සමහර කඩ තියෙනවා සල්ලි ගන්නෙ නැතුව දෙනවා. ඔය ටැබී කියන එක්කෙනා ගැහැනු සතෙක්. ඔය දැන් ඉන්න එක්කෙනා වගේමයි. දැන් ඉන්නේ පිරිමි සතෙක්. ටැබී මම ස්ටුඩියෝ එකට යද්දී එනවා. එයා අපි හැමෝගෙම අවධානය ගන්න විදිහට එක එක දේවල් කරනවා. පින්තූරයක් ගන්න හදද්දී පුටුවක වාඩිවෙනවා කියමුකෝ. මෙන්න ටැබී පැනලා ඒකේ ඉඳගන්නවා. ඒ වගේ හැමෝගෙම අවධානය එයා ගන්නවා. මම එයාගෙත් ෆොටෝ ගන්නවා. ගොඩක් දෙනෙක් ඒවා දැකලා එයා කොහොමද එච්චර හොඳට ෆෝස් කරන්නේ කියලා පුදුම වුණා. එයා පැටවු දාලා හිටියේ. දෙසැම්බර් 25 වැනිදා එයා එක පාරටම අතුරුදන් වුණා. සතියකට විතර පස්සේ හොයලා හොයලා කාණුවක වැටිලා ඉඳලා හොයාගත්තා. බොහොම අබලන් තත්ත්වයක හිටියේ. බෙහෙත් කරලා කරලා එයාව ටිකක් පණ ගහලා ආවා.
මේ සුරතලුන් එක්ක කාලය ගෙවද්දී අමතක නොවන සිදුවීම් ඇති නේද?
එක පූසියෙක්ට පැටවු අට දෙනෙක් හමුවෙන්න හිටියා. ඒත් එයාගේ පැටව් ඉන්න කොටස පුපුරලා පැටවු ජීවත් කරන්න අපහසුයි කියලා අයින් කරන්න වුණා. ඒත් අට දෙනාගෙන් එක්කෙනයි බේරගන්න පුළුවන් වුණේ. ඒ බේරුණු කෙනා ගෙදර හිටියා. එයා බිහි කළ පූස් අම්මගෙනුයි එයාගේ වැඩිමහල් පූසියකගෙනුයි දෙන්නගෙන්ම කිරි බොන්න පටන් ගත්තා. ඒකත් ලස්සන වැඩක්. ඒ පැටියා එයාගෙ ලොකු අම්මගෙනුයි අම්මගෙනුයි දෙන්නාගෙන්ම කිරි බොනවා. ලොකු අම්මගේ හිටියේ එක පැටියයි. එයා අර පැටියාවත් ඇදගෙන ගිහිල්ලා කිරි පොවනවා. එයාගේ පැටියා එයා පැන පැන වගේ ගියේ. ටිකක් ආබාධිත කෙනෙක්. එයා මැරුණු නිසා අර පූස් අම්මා දුකෙන් ඉන්න ඇත්තේ. ආ... අපි පැන පැන ගිය පූස් පැටියට නම දාලා තිබුණේ අඟර දඟර කියලා.
සුරතලයට හදන මේ සුරතලුන්ගේ උපන් දින සාද එහෙමත් පවත්වන්වද?
අනේ නැහැ. මම ඒවා දකින්නේ විකාර වැඩ විදිහට. ඕව කළා කියලා පූසන්ට තේරෙන්නේ නැහැනේ. පූසන්ට ඇඳුම් අන්දලා, එක එක කෑලි එල්ලලා ඕව කරන්නේ තමන් සතුටු වෙන්නනේ. ඒකෙන් පූසා හෝ තමන් හදන සුරතල් සතුන් සතුටු කිරීමක් නෙවෙයි වෙන්නේ. ඒක එයාලට වදයක්. ඉතින් සතුන් කියන්නෙ සතුන්. එයාලට දෙන්න ඕන ආදරය සහ කෑම බීම ටික දීලා ආදරෙන් බලා ගත්තනම් ඇති විකාර වැඩ නොකර.
ඔබගේ සුරතල් සතුන් ගැන විශේෂයෙන් කියන්න දෙයක් තියෙනවද?
ඔව් ඔව්. පූසොත් හරි ආඩම්බරකාරයෝ. බඩ පිරුණම අපිව ගණන් ගන්නෙ නැහැ. මූඩ් ආවම තමයි අපි ළඟට එන්නේ. මම එයාව අරගෙන පපුව උඩ තියාගත්තම මම දිහාම බලාගෙන ඉන්නවා. ඇස් පිය නොහෙලා බලාගෙන ඉන්නවා. හරිම ලස්සනයි. සමහර වෙලාවට ඇහැක් පොඩි කරලා බලනවා. විකාර වැඩ තියෙනවා එයාලගේ.
සුරතලුන් හදන්න කැමැත්තෙන් ඉන්න අයට හරි හදන අයට හරි මොනවා හරි විශේෂ පණිවිඩයක් දෙන්න තියෙනවද?
මම දකින දේ තමයි සතුන්ට ආදරය කරන අය තමන්ට වගේම අනිත් හැමෝටමත් ආදරය කරනවා. ඒත් මම කුරුල්ලෝ හිරකරගෙන හදන එකටනම් විරුද්ධයි. එයාලව හිර කරන් තියාගෙන ඉන්න එක පාපකර්මයක්. එයාලා නිදහසේ ඉන්න ඕන. පූසෝ බල්ලෝ ගෙවල්වල හැදෙන්නේ. බල්ලන්ට එහෙම වැඩිය සැප දෙන්න හොඳ නැහැ. මගෙ බල්ලෙක් හිටියා එයාට එක වේලයි කෑම දුන්නේ අපි. එයාට හොඳ බත් එකක් අපි දුන්නම එයා ඒක එයාට අවශ්‍ය වෙලාවට කනවා. එයා අවුරුදු 14ක් ජීවත් වුණා. එයාට ලොකු බත් එකක් දෙනවා. ඩොක්ටර්ලා මට කිව්වා එයාට ජීවත් වෙන්න එක හේතුවක් තමා ඕනවට වඩා කෑම නොදුන්න එක කියලා. එයා ලැබ‍්‍රඩෝර් ක්‍රොකස්පැනියල් මික්ස් එක්කෙනෙක්. එයාගේ කුරු ගතියක් තියෙනවා. ලැබ‍්‍රඩෝග් තරම් උස නැහැ. බර වැඩි වුණාම එයාලට අපහසුයි. එයාගේ අවසාන කාලෙනම් අපහසුතා ආවා. පුදුම වැඩක් කියන්නේ මම ආසම ආදරය කරන අය නැති වෙන්නේ මම රට ගිහින් ඉද්දී. එයත් නැති වුණේ එහෙමයි. මගේ අම්මා නැති වුණෙත් මම රට ගිහිල්ලා ඉද්දී. මම දැකල තියෙනවා මම ගෙදර නැති වෙලාවේ තමයි එයාලා නැති වෙන්නේ. එයාගේ නම රූනි. හොඳ ගතිගුණ තිබුණු කෙනෙක්. එයාට ඊළඟ ආත්මේ මනුස්ස ආත්මයක් ලැබෙන්න කියලා මම හැමවෙලාවෙම ප‍්‍රාර්ථනා කරනවා.