මේ සති අන්තයේ My pet ගැන කතා කරන්න අපි සමඟ එකතු වෙන්නේ කවුරුත් දන්න රංගන ශිල්පිනියක්. ඒ තමා ශලනි ප්‍රනාන්දු (දෙවැනි ඉනිමේ චූටි මැණිකේ)
ඔබ සුරතලයට ඇති කරන්න වැඩියෙන්ම කැමති මොන සතුන්ද?
මම කැමති බල්ලන්ට.
ඇයි ඔබ බල්ලන්ටම කැමති?
පොදුවේ මම හැම සතෙකුටම ආසයි. මම පොඩි කාලේ පූසෝ, ලේන්නු, හාවෝ, ගිරව් වගේ ගොඩක් අය හැදුවා. ඒත් දැන්මම ගොඩක් ආස බල්ලන්ට. එයාලව ගේ ඇතුළේ හුරතලෙන් හදන්න පුළුවන් නිසා.
මේ වනවිට ඔබ ළඟ බල්ලන් කී දෙනෙක් ඉන්නවාද?
දැනට මම ගාව බල්ලන් 3 දෙනෙක් ඉන්නවා. රොට් වයලට් දෙන්නයි, English රිට්රීවර් කෙනෙක් ඉන්නවා.
එයාලගේ නම් මොනවාද?
ජෙනී - රොට් වයලට් (අම්මා) බෲනෝ - රොට් වයලට් (පැටියා) ශ්‍රෙක් - ඉංග්ලිෂ් රිට්රීවර්
මේ සුරතලුන් තුන් දෙනාගෙන් ඔබ ගොඩක් ළෙන්ගතු සහ ආදරය කරන කෙනෙක් ඉන්නවාද?
අපේ රොට් වයලට් දෙන්නා වස නිසා අම්මයි, මමයි, අයියයි තුන්දෙනාම ශ්‍රෙක්ට තමා ටිකක් වැඩියෙන් ආදරේ. එයා හරි හුරතල්. ඒ වුණාට මේ තුන්දෙනාටම මම කැමතියි.
ශලනි ඔබගේ සුරතලුන් කරන නරක පුරුදු එහෙම ඇති නේද?
අම්මෝ අනන්තවත් තියෙනවා. ජෙනීව මට හම්බවුණේ මාස 6ක් විතර කාලයේදී. එයා ටිකක් වසයි. මොකද එයා පොඩි කාලේ ඉඳන්ම නෙවෙයිනේ අපි හැදුවේ. මාවයි, අම්මවයි, අයියවයි පුරුදු වෙන්න ටික කාලයක් ගියා. ඒත් හැබැයි අපි තුන්දෙනාගෙන් ජෙනී වැඩියෙන්ම ආදරේ අපේ අයියට. හැබැයි කන්න බොන්න දෙන්නේ, නාවන්නේ ඔක්කෝම කරන්නේ මමයි අම්මයි. අයියාගේ ළඟටවත් මට යන්න දෙන්නේ නෑ. සමහර දවස්වලට අයියා නිදාගෙන ඉන්නකොට මම අයියාව ඇහැරවන්න මම අතින් අදිනවා. එතකොට ජෙනී හිතන්නේ මම අයියාට ගහනවා කියලා. ඒ වෙලාවට මාව හපන්න හදනවා. ඔන්න ඔය වගේ නරක පුරුදු තමා කරන්නේ.
ශලනි ඔබ රංගන කටයුතුවල නිරත වෙන ගමන් කොහොමද බල්ලන් තුන් දෙනෙක් හදන්නේ?
කොච්චර රෑ වෙලා ආවත් මමයි අම්මයි මෙයාලත් එක්ක පැයක් පැය භාගයක් ඉන්නවාමයි. අනිත් එක අපි කොච්චර මහන්සි වෙලා ගෙදර ආවත් මෙයාලාව දැක්ක ගමන් මහන්සිය නැතිවෙලා යනවා. ඉතින් කොච්චර කාර්යබහුල වුණත් මෙයාලා ගැන බලන් නැතිව ඉන්නේ නෑ.
ඔබගේ සුරතලුන්ගේ උපන් දින එහෙම සමරනවාද?
එහෙම උපන් දින නම් අපි සමරන්නේ නෑ. හැබැයි අපේ අම්මාගේ අයියාගේ, මගේ උපන් දිනවලට අපි මෙයාලාට කේක් කෑල්ලක් දෙනවා. මේ තුන්දෙනා අපේ පවුලේ අය වගේ තමා.
ශලනිට කොහොමද ගෙදරින් ලැබෙන සහයෝගය?
අපේ ගෙදර කට්ටිය මාරම විදිහට සත්තුන්ට ආදරෙයි. අපේ අම්මාත් පොඩි කාලේ ඉඳන්ම සත්තු හදනවා. මගේ අයියත් එහෙමයි. අයියා ආසායෙන් ඉන්නවා ඇමරිකන් බුලී කෙනෙක් ගේන්න. මමත් ආසයි. හැබැයි අම්ම නම් කියනවා අනිත් අයත් එක්ක ඇමරිකන් බුලී කෙනෙක් හදන්න අමාරුයි කියලා. හැබැයි එයා කවදාවත් එපා කියලා නෑ.
ඔයා සුරතලයට ඇති කරන්න කැමැති හොඳ වර්ගයේ සතුන් විතරද?
එහෙම නෑ. මම පාරවල ඉන්න සත්තුන්ටත් ගොඩක් ආදරෙයි. සමහර වෙලාවට පාරේ ඉන්න අයට මමයි අයියයි කෑම හිටන් ගිහින් දෙනවා. ඒත් එයාලව ගෙදර ගේන්න බෑ. මොකද අපේ ගෙදර ඉන්න අය එක්ක හදන්න අමාරුයි. අපේ ගෙදර ඉන්න ශ්‍රේක් කැමැති නෑ එයාට වඩා වෙන අයට ආදරේ කරනවාට. නැත්තන් මමයි අයියයි අනිවාර්යයෙන් අසරණ වෙලා ඉන්න සත්තු හදන්න ගොඩක් ආසයි.
ඔබ විවාහ වූ දාට ඔබගේ ස්වාමිපුරුෂයා සතුන්ට අකමැති වුණොත් ඔබ මොකද කරන්නේ?
මම ඇත්තටම හොයාගන්නේ මම වගේ සතුන්ට ආදරේ කරන කෙනෙක්. අනිවාර්යයෙන්ම එයා සතුන්ට අකමැති වුණත් කැමැති කෙනෙක් වෙන්න ඕනා. මම විවාහවෙලා ගියාට පස්සේ බල්ලෝ තුන් හතර දෙනෙක් හදනවාමයි. මෙයාලව නම් අපේ අම්මා අරන් යන්න දෙන්නේ නැතිවෙයි. මොකද අම්මාත් මෙයාලට ආදරේ නිසා. හැබැයි මම කොහොම හරි වෙන කට්ටියව හරි ගන්නවාමයි.
ඔබ සහ ඔබගේ පවුලේ අය දුරබැහැර ගියොත් කවුද මෙයාලව බලාගන්නේ?
අපේ එහා පැත්තේ ගෙදර නංගි කෙනෙක් ඉන්නවා. එයා තමා මෙයාලව බලාගන්නේ. අපේ ජෙනී පොඩ්ඩක් සැරයි. හැබැයි ඒ නංගිට එයා එකතුයි. ඉතින් ඒ නිසා අපි එයාට දීලා යනවා.
ශලනි ඔබ අහලා ඇති සමහර මිනිසුන් සත්තුන්ව බෝ වීම නවත්වන්න සැත්කම් කරනවා. ඒ ගැන ඔබේ අදහස පොඩ්ඩක් කියන්නකෝ?
ඒක පව්. මම කැමැති නෑ ඒකට. මොනවා වුණත් එයාලත් කැමැති අම්මා කෙනෙක් වෙන්න. අනික එයාලට කතා කරලා කියන්න බෑනේ ඕක කරන්න එපා කියලා කියන්න. අඩුම තරමේ දෙපාරක්වත් එයාලට මවක් වෙන්න අවස්ථාවක් දෙන්න කියලා තමා මම කියන්නේ.
ඔබ වගේ සුරතලුන් හදන අයට සහ හදන්න ඉන්න අයට මොනවාද ඔබට කියන්න තියෙන්නේ?
ඉස්සෙල්ලාම කියන්න ඕනේ ආදරයෙන් හදන්න බැරිනම් සත්තු හදන්න ගන්න එපා. මගේ අයියයි, අම්මයි, මමයි තුන්දෙනාටම අදාළ ඒ නීතියයි. සත්තුන්ට කතා කරන්න බෑ. එයාලට බඩගිනියි කියලා කියන්න බෑ. මට රිදෙනවා කියලා කියන්න බෑ. ඒක නිසා මම කියන්නේ පොඩි කාලේ විතරක් හුරතල් කරලා ලෙඩක් එහෙම හැදුනාම එයාලාව කොහෙට හරි ගිහිල්ලා දානවා නම් කවදාවත් කිසිම සතෙක් හදන්න එපා. ජෙනී, බෲනෝ, ශ්‍රේක් තුන්දෙනාට කලින් අපේ ගෙදර තව බල්ලෝ දෙන්නෙක් හිටියා. එයාලව අපි ගෙනාවේ පොඩි කාලයේදීමයි. එයාලා මැරෙන කොටත් අපේ ගෙදරමයි හිටියේ. එයාලා මැරුණේ අපේ අම්මාගේ අත්දෙක උඩමයි. එදා නම් මාර දුකක් දැනුණේ. ඒක නිසා මට කියන්න ඕනේ මෙයාලාව ආදරයෙන් හදන්න බැරිනම් හදන්න එපා කියලයි.