2020 ඔක්තෝබර් 31 වන සෙනසුරාදා

හම්බකරන එකෙන් බාගෙකටත් වැඩිය දන්දෙනවා

 2020 ඔක්තෝබර් 31 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 225

- මිෂෙල් දිල්හාරා

මිෂෙල් කොහොමද ජීවිතේ?
ආයෙත් කොවිඩ් වසංගතය පැතිරිලා. ඒ නිසා හරිම පරිස්සමෙන් තමයි ජීවිතේ ගතකරන්නේ. ගොඩක් පැතිවලට ඇඳිරි නීතිය. ළඟම ඉන්න ඥාතීන් ඒ අයගේ ජීවිතවලින් ඈත්වෙලා තියෙනවා. ඒ නිසා හැමෝගෙම ජීවිතේ මේ දවස් ටිකේ හරිම පරිස්සමෙන් ගත කරන්න කියලා මම හැමෝගෙන්ම ඉල්ලා සිටිනවා. මගේ ජීවිතෙත් මේ ප්‍රශ්නයත් එක්කම සාමාන්‍ය විදිහට ගතවෙලා යනවා.

ජීවිතේ පටන්ගත්තේ කොතනින්ද?
මම ජීවිතේ පටන්ගත්තේ මගේ අම්මා මේ ලෝකෙට මාව බිහිකරපු දා පටන්. මම පවුලේ වැඩිමල් දරුවා. මට තව නංගිලා දෙන්නෙක් ඉන්නවා. මම ඉපදුණු දා සිට අද දක්වා මගේ ලොකුම හයිය වුණේ මේ ආදරණීය පවුලයි. ඒක ආදරය උතුරන පවුලක්.

මිෂෙල් හීන දැක්කේ කවුරු වෙන්නද?
මගේ ජීවිතේ හීන දෙකක් තිබුණා. මම ගුරුවරියක් වෙන්න ආස කළා. ඒ වගේම මම රංගන ශිල්පිනියක් වෙන්නත් ආස කළා. රංගන ශිල්පිනියක් විදිහට මේ ක්ෂේත්‍රයට එන්නට පෙරම මම ගුරුවරියකගේ හීන හැබෑකරගත්තා. මම ළමා නිවාසයක වගේම වැඩිහිටි නිවාසයක ස්වෙච්ඡා ගුරුවරියක විදිහට සේවය කළා. මම මුලින්ම රඟපෑවේ මගේ අම්මා, තාත්තා, පවුලේ අයගේ ඉස්සරහයි. රූපවාහිනියේ වෙළෙඳ දැන්වීම් යද්දී මම ඒවා දිහා බලාගෙන මගේ පවුලේ අය ඉස්සරහා ඒවා අනුකරණය කළා. මම මිෂෙල් කියන කෙනා හරහා මේ ක්ෂේත්‍රයේ ඉස්සරහට යන්න ඕන වුණා. ඒ නිසා රංගන ශිල්පිනියක් වුණත් තාමත් මම මේ ක්ෂේත්‍රයේ පුංචිම පුංචි පැලයක් විතරයි.

Can you hear me? කියලා අහන්නේ කාගෙන්ද?
ඒක සුනිල් කොස්තා මහත්මයාගේ අලුත් නිර්මාණයක්. ඒක ලංකාවේ පළමුවෙනි වතාවට යූටියුබ් එකේ යද්දි ඉංග්‍රීසි උපසිරුසි යටතේ තමයි යන්නේ. %සුදු ඇඳගෙන කළු ඇවිදින්^ නිර්මාණය වගේම මේ ටෙලිනාට්‍යයත් වෙනස්ම නිර්මාණයක්. සමාජයේ කතා නොකරන චරිත කිහිපයක් වටා ගෙතුණ අපූර්ව නිර්මාණයක්. මේ ටෙලිනාට්‍යයේ මම රඟපාන්නේ මහිමි කියන ආර්ථික අපහසුතා නිසා බේකරියට රස්සාවට යන ඒ බේකරියේ ප්‍රධානියාගේ මානසික පීඩාව නිසා රස්සාව අතහැරලා ගෙදර යන්නත් හිතෙන ගෙදර ආර්ථික ප්‍රශ්න නිසා ගෙදරත් යන්න බැරි චරිතයක් තමයි රඟපාන්නේ.

මිෂෙල් ජීවිතේදී සමාජ සේවාවලට මුල් තැන දෙන්න හිතුණේ ඇයි? ඒකට විශේෂ අත්දැකීමක් තියෙනවද?
ඔව්. මගේ ජීවිතේ හැරවුම් ලක්ෂය වුණේ මට අවුරුදු පහළවේදියි. ඉස්සර මම සමාජශීලී ළමයෙක් නෙවේ. පාසලේදිත් මම වෙනුවෙන් කතා කළේ මගේ යාළුවෝ. මම හරිම නිහඬ චරිතයක්. මට අවුරුදු දාහතරේදී විතර මම තාත්තා එක්ක අසනීප වෙලා රෝහල්ගත වෙලා හිටපු මගේ මාමව බලන්න මීගමුව රෝහලට ගියා. රෝහලේදී කොරිඩෝවෙදි මියගිය රෝගියකුගේ මෘත දේහය ඉක්මනට ලබාදෙන ලෙස ඉල්ලමින් ඒ මියගිය කෙනාගේ ගෙදර අය අඬන සිදුවීම මම දැක්කා. ඒ මියගිය මෘත ශරීරය ළඟම සුදු රෙද්දකින් වහපු තවත් මෘත ශරීරයකුත් තිබුණා. හැබැයි ඒකට අයිතිකාරයෙක් හිටියේ නැහැ.

ඒක මිෂෙල්ගේ මතකෙ තිබුණද?
ඔව්. පහුවදා මාමාගේ ටිකට් කපද්දි මාමව ගෙදර එක්ක යන්න ආවෙත් මමයි මගේ තාත්තයි. ඒ වෙලාවෙදි මට හිතුණෙම අර කාත් කවුරුත් නැතිව තනිවෙලා තිබුණ මෘත ශරීරය ගැනමයි. මම එතන හිටපු සේවකයකුගෙන් අහද්දි ඒ මිනිය ගෙනියන්න කවුරුත් ආවේ නැති නිසා රජයේ මුදල්වලින් ඒක වැළලුවා කියලා කිව්වා. එකම රටක, එකම නගරයක, එකම කාල සීමාවක මැරිච්ච දෙන්නකුට අවසානයේදී ඉරණම් දෙකකට මුහුණ දෙන්න වුණා. මේක මට ලොකුවට දැනුණා. මේ අහිංසක මිනිසුන් වෙනුවෙන් යමක් කරන්න මට ඕන වුණා. නිහඬ චරිතයක් විදිහට හිටිය මට හඩක් නගන්න ඕන නිසා මගේ නිහඬතාව මම බිඳලා දැම්මා. එතකොට මට වයස පහළොවක් විතර ඇති. අවුරුදු පහළවේදී ආර්ථික වශයෙන් මම ස්ථාවර නැහැ. ඒ නිසා මම දන්න දේ ළමා නිවාසවල අහිංසක නංගිලා මල්ලිලා වෙනුවෙන් කියලා දෙන්න මට ඕන වුණා. ඒක තමයි මගේ මුල්ම ආරම්භය වුණේ.

නිහඬ චරිතයක් විදිහට හිටපු මිෂෙල් මුල්ම වතාවට ඉංග්‍රීසි ගුරුවරියක් විදිහට සේවය කරද්දි ලබපු අත්දැකීම් මොනවද?
මම මුලින්ම ඉංග්‍රීසි ගුරුවරියක් විදිහට ළමා නිවාසවල සේවය කළා. ආර්ථික පැත්තෙන් මම ශක්තිමත් නැති නිසා මම දන්න දේ ඒ අයට කියලා දුන්නා. මම වගේම තව පිරිසක් තමයි ඒ ළමා නිවාසවල ඉන්නේ. මම මුලින්ම ඒ ළමා නිවාසවල උගන්වද්දි මම එයාලට ගුරුවරියක් වුණේ නැහැ. ළමා නිවාසවල දරුවන්ට මම සහෝදරියක් වුණා. වැඩිහිටි නිවාසවල ආච්චිලා සීයලාට මම එයාලගෙම දුවෙක් වුණා. ඒ සමීප බවත් එක්ක එයාලා මට ගොඩක් ළං වුණා. ළමා නිවාසවල අයට මම එයාලගේම යාළුවෙක් වුණා. මමත් එතකොට පොඩියි. සමහර අයට ආදරය කියන දේ දැනිලා තිබුණේ නැහැ. මේ ඉගැන්වීම්වලින් පොඩි පිරිසකගේ ජීවිතේ වෙනස් කරන්න මට පුළුවන් වුණා.

පුංචි වයසේදිම සමාජ සේවා කටයුතු කරද්දි ගෙදරින් ලැබුණු සහයෝගය කොහොමද?
මේ හැමදේම කළේ මගේ අම්මා තාත්තාගේ ආශිර්වාදය ඇතිවයි. ඒ දෙන්නා තමයි මගේ ජීවිතේ ලොකුම හයිය වුණේ. මම මොන තීරණයක් ගත්තත් ඒ ගන්න කලින් අම්මා තාත්තා එක්ක ඒ දේවල් ගැන කතා කරනවා. මේ හැමදේකදිම ඒ ආශිර්වාදය, මග පෙන්වීම වගේම හැම ශක්තියක්ම මට ලබලා දුන්නා. අවුරුදු දෙකක් විතර මම එහෙම ළමා නිවාසවල ඉංග්‍රීසි ගුරුවරියක් විදිහට සේවය කළා. 2016දී මම මුලින්ම මගේ ටෙලිනාට්‍ය වුණ සල්සපුනා එකේ රඟපෑවා. එතනින් පස්සේ මට මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍යවලින් ලොකු සහයෝගයක් ලැබුණා. ඒ හරහා මම කරගෙන ආපු සමාජ සේවා කටයුතුවලට මට පිරිස එකතු වුණා. ඒ උදව්වෙන් මට ලොකු පිරිසකට ආමන්ත්‍රණය කරන්න අවස්ථාව ලැබුණා.

ජීවිතේ කලකිරුණ සිදුවීම් තියෙනවද?
අද වෙනකම් මගේ පවුලේ අය මාත් එක්කම හිටියා. දැනටමත් එහෙමයි. මම ගන්න හැම තීරණයකදීම ඒ අය මගේ පස්සෙන්ම ඉන්නවා. ඒ නිසා කලකිරුණු තැන්වලදී මගේ හිතට ඒක තදින්ම දැනුණේ නැත්තේ ඒ අය මාත් එක්ක හිටිය නිසාමයි. අවුරුදු පහළොවේදී සමාජය සේවය පටන්ගත්තු මම මේ වෙද්දි ලබපු අත්දැකීම් බොහෝයි. සංවේදී සිදුවීම් සිදුවුණ තැන් බොහෝයි. ඒ හැම මොහොතකම මාත් එක්ක පිරිසක් හිටියා. ඒ නිසා කොතැනකදීවත් මම තනි වුණේ නැහැ.

ජීවිතේදී මිෂෙල් නිළියක් කියලා හිතුණේ කවදද?
මම රංගනයට ආවට තාමත් මම මමමයි. රඟපාද්දි මම ඒ චරිතය වුණාට ඒ රාමුවෙන් අඩියක් ගන්න ගමන් මම මිෂෙල්මයි. අපි කරන්නේ චරිත. සල් සපුනා ටෙලිනාට්‍යයේ පොඩි පත්තරකාරියව මිනිස්සු හඳුනාගත්තා. ඒ වගේම සුදු ඇඳගෙන කළු ඇවිදින් ටෙලිනාට්‍යයේ ආයෝමිගේ චරිතයටත් බොහෝදෙනා ආදරේ කළා. එය බොහෝදෙනෙක් ජීවිතවලට ළංවුණ චරිතයක් වුණා. මේ වෙද්දි මම Can you hear me ටෙලිනාට්‍යයේ මහිමිගේ චරිතයටත් බොහෝ දෙනෙක් ඇළුම් කරනවා. ඒ හැම චරිතයක්ම ඔස්සේ බොහෝ දෙනා මිෂෙල් කියන චරිතයටත් ආදරේ කළා. හැබැයි තාමත් මම මමමයි.

ජීවිතේ තමන්ගේ මහන්සියෙන් හම්බකරපු මුදල මතකද?
ඔව්. මම මුලින්ම මගේ මහන්සියෙන් මුදලක් අතට ගත්තේ සල් සපුනා ටෙලි නාට්‍යයේ රඟපාලයි. ඒ මුල්ම මුදල අතට ගනිද්දි මම හිතාගත්තු දෙයක් තමයි මට ලැබෙන හැම ආදායමකින්ම 60ක් සමාජ සේවා කටයුතුවලට වෙන් කරනවා කියලා. අදටත් එහෙමමයි. අදටත් මට ලැබෙන හැම මුදලක්ම මට අයිති වෙන්නේ නැහැ. මට මේ චරිත රඟපාන්න බොහෝ දෙනෙක් උදවු කළා. නාට්‍ය කණ්ඩායමට වගේම ඒ චරිතයට ආදරය කරන අයටත් ඒ අයිතිය තියෙනවා. ඒ නිසා මට ලැබෙන මුදලින් 60ක් මම සමාජ සේවා කටයුතුවලට වෙන් කරනවා.

ජීවිතේ හැබෑ නොවුණු බලාපොරොත්තු මොනවද?
තියෙනවා. හැබැයි කොවිඩ් වසංගතයත් එක්ක නතර වුණා. මම දිවුලපිටියේ වැඩිහිටි ප්‍රජා ම්‍යස්ථානයක් විවෘත කළා. ඒකේ වැඩිහිටින් තුන්සිය දෙනෙක් ඉන්නවා. ඒක වැඩිහිටි නිවාසයක් නෙවේ. හැමදාම ඒ වැඩිහිටියන් ඒ මධ්‍යස්ථානයට ඇවිත් දවස ගෙවනවා. ගෙවල්වල පාළුවෙන් තනිවෙලා ඉන්න ඒ වැඩිහිටියන් එතනට ඇවිත් සින්දු අහන්න. අලුත් යාළුවෝ එක්ක කතාබහ කරන්න නිදහසේ ගෙවන්න පුළුවන්කම තිබුණා. කෝවිඩ් වසංගතය නිසා ඒක තාවකාලිකව නතර කරලා දැම්මා. ඒ වගේ ප්‍රජා ම්‍යස්ථාන කිහිපයක් ඉදිරියේදී ඇති කරන්න බලාපොරොත්තු වෙනවා.

 

                    සේයාරූ - සුමුදු හේවාපතිරණ