2020 නොවැම්බර් 07 වන සෙනසුරාදා

ආදරය වෙනුවෙන් ආදරය නොකර ඉන්න

 2020 නොවැම්බර් 07 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 101

ආදරය වෙනුවෙන් ආදරය නොකර ඉන්න.... ඇයි මම එහෙම කීවේ කියලා ඔයා හිතන්න ඕනෑ. ආදරය කියන්නේ බැඳීමක්. ඒ බැඳීම ලිහිච්ච දවසක්, ලිහෙන දවසක්, ලිහෙන්නෙ නැති වුණත් සමුගන්න දවසක්, අත්හැරලා දාලා යන්න වෙන දවසක් ආවොත් ඒ වේදනාව අනිත් කෙනාට දරාගන්න බැරිවෙයි නේද කියලා ආදරයක් වචනවලට පෙරළන්න ඉස්සර හිතන්න පුළුවන් නම්.... ඔයාට එයාව හමුවෙන්නේ කවදාහරි සමුගත යුතුයි යන යථාර්ථය මුණගැසෙන පරිච්ඡේදයකදීනම් මම ඔයාට කියන්නෙ ආදරය වෙනුවෙන් ආදරය නොකර ඉන්න කියලා...

අයිලා - කොරියානු සිනමා රෑපකාරකය අවසානයේ මගේ හිතෙත් ඉතුරු කළේ ඒ සිතුවිල්ල. Can Ulkay අධ්‍යක්ෂණය කළ Ayla කියන කොරියානු චිත්‍රපටයට පසුබිම් වෙන්නේ යුද සමයේදී ගිනිබත් වෙන එක් ගම්මානයක නොමැරී ඉතිරිවන අයිලා කියන පුංචි දැරිවියගේ ජීවිත කතාන්දරයයි. අයිලා අඬන්නේ ජීවත් වුණ සතුටටද නොමැරුණු වේදනාවටද කියලා හිතාගන්න බැරිතරම් ඛේදවාචකයක් තුළ තනිවෙද්දී ඇගේ ජීවිතයට ස්නේහයෙන් හුස්මක් දෙන්න ලෙයින් නොබැඳුණු මුත් ළය ලෙයින් බැඳෙන තාත්තා කෙනෙක් හමුවෙනවා. ඒ එදා ගම්මානයම ගිනිබත් වූ දවසේමයි.

ඔහු හමුදා නිලධාරියෙක්. පුංචි අයිලාගේ අත අල්ලාගෙන හදවතේ පදිංචි වෙන්න දොර ඇරලා දෙන මේ තාත්තා යුද්ධය, හමුදා ජීවිතය සහ මගේ නොවන මගේම දරුවෙක් වෙනුවෙන් ඉපදුනු ස්නේහය සමඟ කරන අරගලය, මුහුණ දෙන අභියෝග හා දරු ස්නේහය තුළ අත්විඳිනා සහකම්පනය මේ සියල්ල මේ සිනමා රූපකාරකය තුළින් ඉසියුම් රංගරාමු තුළ නිරෑපණය කරනවා.
ඔයා විශ්වාස කරනවාද ආදරණීය වේශයන්ගෙන් සංසාරයේ හතුරන් වගේම මිතුරන් අපිට මුණ ගැහෙනවා. අහම්බයකදී ජීවිතය පුරා හොයපු ආදරයක් අයිතියක් කියන්න බැරි ඉසව්වකදී අපට මුණගැහෙන්න පුළුවන්. ඒත් ආදරය කියන්නේ ආදරයට මිසක් අයිතියට නෙවෙයි. 

ඕෂෝ කියනවා ආදරය මලක් නම් ඒ මලට පි‌ෙපන්න දෙන්න කියලා. එය නෙලා නොගන්න. නෙලා නොගෙන එයට ආදරය කරන්න කියලා. ආදරය කියන්නෙම කොන්දේසි විරහිත බන්ධනයක් මිසක් ගනුදෙනුවක් නොවෙන වග අයිලට තාත්තෙක් වෙන ඒත් අයිලාගේ ලේ තාත්තා නොවන සැබෑ තාත්තා හරි අපූරුවට ලෝකයටම කියාදෙනවා.

හුදෙකලා වූ පුංචි කෙල්ල මේ තාත්තා වෙත බැඳෙන්නේ මහා පුදුමාකාර විදිහට. පොරෝනාව තුළ ගුලිගැසී තාත්තාගේ පපුවේ උණුසුමට තුරුල් වී නිදියන ඇය කෙරෙන් ඔහු ඉවත් වූ විට ඇය ඇහැරී හැම මොහොතකම ඔහු සොයනවා. ඝනකම් පොරෝනාවේ තද උණුසුම ඇයට තාත්තාගේ පපුවේ උණුසුම ළඟ සීතලක් විදිහට දැනෙනවා ඇති. ඇය හැමතැනකදීම හොයන්නේ ඒ තාත්තාව. හැම මොහොතකම ඉල්ලන්නේ ඒ තාත්තාගේ ආදරය. 

ඇයව පාසලකට ඇතුළත් කර, ඇයව තම බාරයෙන් නිදහස් කරන්න වරෙක මේ හමුදා නිලධාරියාට සිදුවෙනවා. ඔහු ඇයව රුකගන්නේ දැඩි හමුදා නීතිවලින් හැංගීගෙන සඟවාගෙන. ඇය පුංචි දරුවන් සමඟ හරිම සතුටින් ගී ගයනවා. ඒත් ඇයට මොහොතකින් දැනෙනවා තාත්තා තමන්ගෙන් දුරස් වී යන වග. ඇය හඬමින් තාත්තා තාත්තා කියමින් ඔහු පසුපස දිව යනවා. ඇත්තටම ඒක ඇස් දෙකට කඳුළු ගෙනෙන අතිශය සංවේදී දර්ශනයක්.

තාත්තා ඔයා තමයි මගේ ජීවිතය. ඇය හැමතැනකදීම නොකියා කියන්නේ ඒ ආදරය. ආදරණීයයන් ජීවිතයෙන් වෙන් කරද්දී කාලය කොයිතරම් නපුරුද, ආදරණීයයන් ළඟ ඉද්දී කාලය එකතැන අල්ලලා නතර කරගන්න පුළුවන් නම් කියලා හිතෙනවා නේද? තත්ත්පරයක් තත්ත්පරයක් ගානේ වර්තමානය අතීතය බවට පත් කරන්නේ කාලය විසින්. ඒ අතීතය කියන මහ කන්දේ මතක පුංචි පැල, මතක මහ ගස්, මතක මල් කොච්චර හැදිලා පිපිලා තියෙනවද? සමහරවිට හුදෙකලාවේ තනිවෙන මොහොතක ආදරයෙන් හුස්මක් ගන්න අපි ඒ අතීත කන්ද දිගේ ඇවිදිනවා. අපි ආසා පුංචි පැල, මහ ගස් ළඟ අපි නවතිනවා. ඒ අතීත කාමයෙන් මිදෙන්න, අත් නොහරින්න අපට බෑ.

මේ සොල්දාදු තාත්තාටත් තමන්ගේ ලේ අයිතියක් නැති අයිලාව අත් අරින්න සිදුවෙනවා. ඒ තමා ලෝකේ හැටි. නිර්ලෝභීව අත්හැරියා නොවෙයි. අත් නොහැර බැරිකමට අත්හරිනවා. මේ සොල්දාදු තාත්තා පසු කලෙක ඔහුගේම ලෙයින් ජනිත වූ දියණියකට පියෙක් වුණත් ඔහුගේ හීනයේ සැරිසරන්නේ අයිලා. ඔහුට ඒ බන්ධනයෙන් කවදාවත් ආධ්‍යාත්මිකව මිදෙන්න බෑ. අවසානයේ සැනසීම හා ආදරය වෙනුවෙන් ඔහු අයිලාව හොයනවා. අයිලා ගැන කතාන්දරය ඔහු ලෝකයටම කියනවා. ජීවිතයේ වියපත් වියේදී ඔහුට අයිලා මුණගැසෙනවා.

ඇස් දෙකට කඳුළක් නොඑන්න හේතුවක් නැහැ. දෙවියනේ.... උයනක බංකුවකට වී ඔහු බලාගෙන ඉන්නවා. මේ දැන්... ඔව් මේ දැන් අර පුංචි අයිලා තමන් ළඟට එයි කියලා. කොච්චර ලොකු වුණත් අයිලා තාම ඔහුගේ හිත ළඟ පුංචි අයිලාමයි. ඒ තමා තාත්තලාගේ ආදරයේ හැටි... අයිලා ඒ වෙද්දී ජීවිතය ගැඹුරින් කියවන පරිණත ගැහැනියක්. එහෙත් ආදරය ළඟ රජවරුත් ඔටුන්න අත්හරිනවා. ඒ තමා ආදරේ හැටි. හිමකැටියක් වගේ තාත්තා ළඟ අයිලා දියවෙනවා අතීත මතකයත් එක්ක.
ආදරය කවදාවත් මරන්න බෑ... මතකය මරන්නත් බෑ... මැරුවා කියලා හිතුවත් භෂ්මාවශේෂ හරි හිත ඉස්මත්තට පැමිණෙනවා.... ඒ තමා සඳ එළිය වගේ වෙච්ච  ගැඹුරු ආදරයේ චිත්‍රයේ පාට. අයිලා ආදරය ගැන ගැඹුරුම කන්න්දරයක් අතිශය සංවේදී ලෙස ගෙනහැර දක්වන භාවමය සිනමා රෑපකාරකයක් විතරක් නෙවෙයි ලෝකයට ආදරය කරන්න උගන්වන මහා පාඩමක්....

ආදරය කියන්නේ ආදරයට... ඉන් එහා කෝ වචන.... ඒ මගේ නිර්වචනය....